lakbima.lk



 
සුන්දරත්වයට හානි පමුණුවන ගැටලුවලට ප්‍රතිකර්ම සොයා බොහෝ අය දිවයන්නේ  රූපලාවන්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක සොයාගෙනය. මුහුණේ හට ගන්නා කුරුළෑ, ලප කැළැල්, හිස කෙස් සම්බන්ධ ගැටලු ආදී  වශයෙන් රූපයට වින කරන ගැටලු සඳහා සාර්ථක විසඳුම් ඇත්තේ රූපලාවන්‍ය ප්‍රතිකර්ම තුළ පමණකැයි ඔවුන් තුළ ඇති විශ්වාසය ඊට හේතු වනවා විය හැකිය.
එතැන් පටන් තමන්ගේ රූපය හා සම්බන්ධ ගැටලුවට දිගින් දිගටම රූපලාවන්‍ය ක්‍රමවේද අනුගමනය කළද කිසිදු ප්‍රතිඵලයක් නැතිවා පමණක් නොව තත්ත්වය උග්‍ර අතට හැරුණු විටදී වෙනත් විකල්පයක් සොයන්න ඔවුහු පෙළඹෙති.
මෙසේ බොහෝ අය චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකුට යොමු වන්නේ ගොඩින් බේරා ගන්නට තිබූ දෙයක් බොහෝ උත්සන්න කරගත් පසුවය.
මෙවැනි රූපලාවන්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔබ දැනුවත්විය යුතු වන්නේ කුරුළෑ, පැල්ලම්, ලප, හිසකෙස් ගැටලු ආකාරයට ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගී තත්ත්වයන් හෝ හෝමෝන වෙනසක් වැනි ගැටලුවක්ද පෙන්විය හැකි නිසාය. එවැනි තත්ත්වයකදී පිටතින් පෙනෙන්නට ඇති කුරුළෑවලට, ලප කැළැල් ආදියට යම් ආ‍ලේපනයක් ගැල් වූ පමණින් සියල්ල නිමා වන්නේ නැත.  එහිදී රූපලාවන්‍ය ගැටලුවක් ආකාරයට ඉස්මතු වූයේ කවර තත්ත්වයක්දැයි නිශ්චිතව හඳුනාගෙන රෝග  නිධානයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය.
කුරුළෑ
 කුරුළෑ හට ගැනීම යොවුන් වියේ  කාටත් සාමාන්‍ය  තත්ත්වයකැයි සිතා කුරුළෑ  ඔහේ හැදෙන්නට ඉඩ හැර ඉබේ සුව වී යනතුරු බොහෝ අය ඊට කරන ප්‍රතිකාරයක් නැත. එසේත් නැතිනම් පිටතින් යම් ආ‍ලේපනයක් පමණක් ගල්වා කුරුළෑ හට ගැනීම නතර වෙතැයි අපේක්ෂා කරති.
තරුණ වියේ ඉතා  සෞම්‍යව සුන්දරව පැවැති මුහුණ මේ කුරුළෑ නිසාම අවලස්සන වී යන අවස්ථා බොහෝය. මෙය පාසල් දරුවන්ට විශාල මානසික වදයක් බවට පත්වන අතර ඉගෙනීම් කටයුතුවලට පවා එය බාධාවක් විය හැකියි.
එහෙත් මේ ආකාරයට කුරුළෑ එක දෙක හට ගන්නා මුල් කාලයේදීම ඒ සඳහා වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර  කරා යොමුවිය හැකි නම් මුහුණේ සුන්දරත්වයට හානි පමුණුවන කැළැල් ඇති නොවන ආකාරයට ප්‍රතිකාර ලබා ගත හැකිය.
ගැහැනු දරුවන්ට සුව කළ නොහැකි තරමට කුරුළෑ හට ගැනීම රෝග ලක්ෂණයක් ආකාරයටද ඉස්මතු වන අවස්ථා තිබේ.
ඩිම්බකෝෂ ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන්  මෙන්ම  හෝමෝන අසමතුලිතතාවයන්  නිසාද එලෙස දරුණු ආකාරයට කුරුළෑ හට ගත හැකිය. එවිට පිටතින් දකින්ට  ඇති කුරුළෑවලට ප්‍රතිකාර කිරීම පලක් නොවන අතර අභ්‍යන්තරයේ පවතින රෝගී තත්ත්වය හඳුනාගෙන ඊට ප්‍රතිකාර  ගන්නට සිදුවේ.
මුල් අවස්ථාවේදී පවතින  බ්ලැක්හෙඩ්ස් හෝ වයිට් හෙඩ්ස් මෙන්ම නොව කුරුළෑ ගෙඩි ආකාරයෙන් පිට දමන විටදී ඒවා ඉබේ සුව වනතුරු නොසිට ප්‍රතිකාර කරා යොමුවීම වැදගත්ය. එහිදී ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ හෝ හෝමෝන ප්‍රතිකාර මගින් වළවල් හෝ කැළැල් ඇති වී මුහුණ අවලස්සන වන්නට පෙර බේරා ගත හැකිය.
බරපතළ ආකාරයෙන් හටගත් කුරුළෑ සඳහා නිසි ප්‍රතිකාරයක් නොලැබිම නිසා බොහෝ කැළැල් වළවල් සුව කර ගැනීමට චර්ම රෝග සායනයන්හිදී ප්‍රතිකාර ලබා ගත හැකිය.
කෙටිකල් පීලිං සහ ‍ලේයර් ප්‍රතිකාර වැනි වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකර්ම මගින් එවැනි තත්ත්වයන් වුවද සුවකර ගත හැකිවෙයි.
එහෙත් මුහුණේ වළ ගොඩැලි  සතියෙන් දෙකෙන්මග හරවා ගත හැකි ආ‍ලේපන නොමැත
පිශ්ටන්ටේෂන්

පිශ්්ටන්ටේෂන් නමින් හැඳින්වෙන මුහුණේ කළුපැහැ පැල්ලම් හට ගන්නටද විවිධ හේතු බලපෑ හැකිය. ගල්වන ලද ආ‍ලේපනවලට බලපෑමෙන්්, හමේ රෝගී තතත්වයන් නිසා   නොව හෝමෝන ගැටලු හේතුවෙන්ද මේ ආකාරයට  පිශ්ටන්ටේෂන් ඇතිවිය හැකිය. එවිට වෛද්‍ය විද්‍යානුකූලව එවැනි කළු පැහැ  පැල්ලම් ඇති වන්නට හේතුව හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළ යුතු වේ.
බෙල්‍ලේ සහ අත්යට කළු පැහැවීම
දියවැඩියාව අධික තරබාරු බව නිසා මෙන්ම සමහර පිළිිකා තත්ත්වයන් හේතුවෙන්ද බෙල්‍ලේ  අත්අට ආදී  තැන් කළු පැහැ විය හැකිය. එවිට එවැනි තත්ත්වයන් සඳහා චර්ම රෝග ප්‍රතිකාර ඵලක් නොවෙන අතර  ශරීරය අභ්‍යන්තරයේ පවතින රෝගී තත්ත්වය පාලය කරන්නට  ප්‍රතිකාර ගන්නට සිදුවේ.
අධිකව රෝම වර්ධනය
අධිකව වර්ධනය වූ රෝම රූපලාවන්‍යගාරයදී හෝ තම නිවසේදීම තාවකාලිකව ඉවත් කර ගැනීමට බොහෝ අය ඊට යොදන ප්‍රතිකර්මයයි. එහෙත් එලෙස අධිකව රෝම වර්ධනය වන්නට  බලපාන අභ්‍යන්තරික හේතු  ඇති නිසා පළමු කොටම අදාළ හේතුව හඳුනා  ගත යුතුය. මේ ආකාරයට අධිකව රෝම වර්ධනය වීම අවමකර ගන්නට චර්ම රෝග සායනයන්හිදී ‍ලේසර් ප්‍රතිකර්ම සිදු කරන බව බොහෝ අය දන්නේ නැත. එවැනි ‍ලේසර් ප්‍රතිකර්ම පස් හය වතාවක් සිදු කරන විටදී අධිකව සිදුවන රෝම වර්ධනය  ස්ථිරවම නතරකර ගත හැකිය.
හිසකෙස් අධිකව ගැලවී යෑම
 හිස කෙස් ගැලවී ගොස් තට්ටය සෑදීම  වළක්වා ගන්නට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය හැකිනම්  මාස හයක් පමණ කාලයක් සිදුකරන ප්‍රතිකාර මගින් යහපත් ප්‍රතිඵල ළඟා  කරගත හැකිය. එහිදී වෙනත් ප්‍රතිකාර සමග සාදාගත් රුධිර පට්ටිකා සාන්ද්‍රණය  නැවත එන්නත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය හිසකෙස් වර්ධනයට වෛද්‍ය  විද්‍යාවේ පවතින සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.
ස්ටේ‍රච් මාර්ක්
 ගර්භණී භාවයත් සමග හට ගන්නා ස්ටේ‍රච් මාර්ක් සඳහාද බොහෝ කාන්තාවන් නොයෙක් ප්‍රතිකාර සොයා යති. එවැනි ස්ටේ‍රච් මාර්ක් නැතිකර ගන්නට නොයෙක් ආ‍ලේපන ගල්වමින් රුපලාවන්‍ය ප්‍රතිකර්මවලට කාන්තාවන් යොමු වුවද ඒ සඳහාද විශේෂිත වූ ප්‍රතිකාර චර්ම රෝග සායනයන්හිදී සිදුකරන බව ඔවුන් නොදන්නවා විය හැකිය.

Page 1 of 12

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.