Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිදි කුමාරි ආදරයේ සිහින කුමාරිය

කන්දට මුවා උන සූර්යයගෙ සැර බාල වෙලා.  සිහින් මදනලක් හෙමින් සීරුවේ ඇවිදින් ගතේ දැවටෙනවා. හරිම සනීපයි. මම ඈතට වෙලා එයා දිහා බලාගෙන හිටියා.
”ඈතට වෙලා බලන් ඉද්දි ඔයා මොන තරම් ලස්සනද?”
මද සුලඟට එයා නැලවෙන්නෙ සුලඟ එයාවම හොයාගෙන ආවා වගේ. සමහර විට එයත් එහෙම හිතනවා ඇති.
”සුළඟ දන්නවා නම් ඔයා මේ හැටිම නපුරුයි කියලා සුළඟ කවදාවත් ඔයා අහලකට වත් එන එකක් නෑ.”
මම හදවතින් හිමීට මිමිනුවා. ආයෙත් පාරක් මට එයා ලඟට යන්න හිතුනා. ඒත් ඉදිරියට තියපු අඩිය ආයෙත් පස්සට ගත්තෙ මං ළඟට ගියොත් ඒ ලස්සන නැතිවෙයි කියලා බයට.
”ඔයා හොඳටම දන්නවා මගෙන් ඔයාට අබමල් රේණුවක තරම් වත් කරදරයක් නොවෙන බව. මම ඔයාව හොයාගෙන එන්නෙ ඔයාට තියෙන ආදරේ නිසා බව”
එහෙම දැන ගෙනත් මම ළඟට ආපු ගමන් ඔයා බය වෙනවා. බයෙන් ගුලි ගැහිලා ඇස් පියාගන්නවා, මලානික වෙනවා.
”මං ආස නෑ ඔයාව එහෙම දකින්න. මට  ඕන ඔයා මේ වගේම හැමදාම ආදරෙන් දෑත් විහිදලා ලස්සනට ඉන්නවා දකින්න.”
ලස්සනට පිබිදිලා හිත ආදරෙන් පුරෝගෙන ඔයා මගේ ඇස අග හැමදාම ඉන්නවා නම්.  මම එයා දිහා බලාගෙන කල්පනා කලා.
”මං හිතන්නෙ ඔයාට මාව තේරෙන්නෙ නෑ නෙමෙයි, තේරුම් ගන්න  ඕන කමක් නෑ. ඔයාට මාව වටින්නෙ නැත්තෙ ඒකනේ.”
”මං ළඟට ආවත් දෑස් පියාගෙන මලානික වෙන ඔයාට සුළඟ එක්ක දඟ කරන්න නම් හොඳට පුළුවන්..... මං එනවට තමයි අකමැති.”
මගේ හිත දුකින් පිරුණා එයා තාමත් සුලඟත් එක්ක නටනවා. සුළඟ එක පැත්තකින් එයාට ලංවෙන කොට එයා අනෙත් පැත්තට නැවෙනවා. අනෙක් පැත්තෙන් ළං වෙන කොට මේ පැත්තට නැමෙනවා. දෙපසට වැනි වැනී සුළඟත් එක්ක කොමල වෙනවා. පුංචි ඉරිසියාවක් හදවතේ කොනකට ගොඩ උනා. මං ශබ්ද නොනැගෙන්න හිමින් සීරුවේ ඉස්සිලා එයා දිහා බැලූවා.
එක පොකුරකට ගුලිවෙලා තිබුනු එයාගෙ කෙහෙරැලි සුළෙඟ් විසිරෙනවා. සුළෙඟ් දඟ කරන කෙහෙරැලි ලස්සන පෙම් කවියක් කියනවා.
” සුළඟ වගේ ඇවිදින් මට ඔයාව තුරුළු කරගන්න තිබුනා නම්. එහෙම උනා නම් මගේ සිහින් ඇඟිලි තුඩු වලින් ඔයාව ආදරෙන් පිරිමදින්න තිබුණා. ඒ ආදරණීය ස්පර්ශය ඔයාව උණුසුම් කරාවි.”
හිත එක පාරටම ගල් ගැහිලා නැවතුනා. ”ඔයාගෙ නපුරු කම” ඔයා වටේටම කටු අමුණගෙන නේද ඉන්නෙ.
සුළඟට කටු ඇති නටු නැති මලකට ලංවෙන්න පුළුවන් උනාට මට ඒ රුදුරු කටු වලින් බේරිලා ඔයාට ළංවෙන්න බෑ කියලා ඔයා හොඳටම දන්නවා. ඒ උල් කටු මගේ හදවත සිදුරු කරලා දාවි.
”කමක් නෑ. කටු ඇනිලා සීරුණු දෙන්............. රිදෙන්නෙ මටනේ” මගෙ ආදරේ වෙනුවෙන් ඒ රුදුරු කටු පහරවල් මට දරා ගන්න පුළුවන්. 
”මට නපුරු උනාට කමක් නෑ. මං ආදරෙයි නේ. ඒ කටු පහරවල් දරාගෙන මං ඔයා ලඟට එනවා.”
මං හිත දැඩි කරගෙන එයා ළඟට පියමං කරන්න පටන් ගත්තා. හිමින් හිමින් අඩි තිය තිය මං එයාට ළං උනා. ළං වෙන්න ළං වෙන්න මගේ හදවතේ ගැස්ම වැඩි උනා. දෑත දෙපය වේව්ලන්න පටන් ගත්තා.
මගේ ආදරේ මං දිනනවා. මං දැඩි අධිෂ්ඨානයෙන් එයාට ළං උනා. හීන් සීරුවේ එයාගෙ මෘදු දෑතින් අල්ල ගන්න උත්සාහ කරා. ඒ ක්ෂණයෙන්ම ආයෙත් එයා හැකිලිලා මැලවිලා නින්දට වැටුනා. මෙතෙක් වෙලා දසන් දක්වා සුන්දරව හිනා වුනු එයා එක් වරම පරවෙලා ගියා.
”ඔයාගෙ නපුරු කම”
මගේ නෙතු අගින් කඳුළු බිදුවක් මෝදු වෙනවා මට දැනුනා.
මං ගියාම ඔයා ආයෙත් විකසිත වෙයි. සුළඟත් එක්ක ආදරෙන් බැඳිලා ලෝකෙටම ලස්සන දෙයි. 
මට ඒ ඇති.
මං දුකින් ආපහු හැරුනා.
මං ආපහු එන අතරේ මගේ නිදි කුමාරිය මෙහෙම කිව්වා.
ඒත් මට ඒක ඇහුනෙ නම් නෑ
අපි බොහොම දුරයි. ළං වෙන්න තියෙන ඉඩ අඩුයි. මං කටු අමුණ ගෙන ඉන්නෙ ඔයාට රිදවන්න නෙමෙයි. මගේ වටේ කැරකෙන බඹරුන්ගෙන් බේරිලා ඉන්න. ඔයාට  මං ළඟට එන්න දැන් අවසර නෑ. මං සුළඟට මගේ ගතේ දැවටෙන්න අවසර දීලා ඉවරයි. ඔයාගාව වෙන මලක් පිපෙයි. ලස්සන සුවඳ හමන මලක්. ඒ මල ඔයාගෙ මුළු ජීවිතයම සුවඳවත් කරයි. වර්ණවත් කරයි . ඔයාට සුළඟ වගේ ඇවිදින් මගේ ගතේ දැවටෙන්න වරම් නෑ.  ඒක තේරුම් ගන්න.
”මාත් හදවතේ කොනකින් ඔයාට ආදරෙයි. ඒත් අපි බෝම දුරයි.
 
පින්තූරය - වේත්යා මධුවන්ති විදානපතිරණ
කථාව - අසිරු වේදිත කරුණාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.