Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න

මා පාසලේ පහ වසර දක්වා ලීවේ පැන්සලෙනි. 
බොහෝ විට මට  එය පැන්සලකටත් වඩා පැන්සල් කොටයකි. එයද කෙමෙන් කුඩා වන විට පැන්සලේ කොටයේ උඩට කොහෙන් හෝ ඇහිදගත් පෑන් විල්ලක් සවි කර භාවිතා කළෙමි. එසේම පොත් පත් පවා බෙහෙවින් අරපරිස්සමෙන් භාවිතා කලේ ඉක්මණින් ඉවර කරගත් වහාම නැවත අලූත් එකක් ලභා දෙන්නට මගේ අම්මාට හෝ තාත්තාට ඒ තරම් වත්කමක් නොතිබූ බව හෙවත් මා දුප්පත් එකෙක් බව නිතරම සිහි තබා ගැනීම නිසාය. බොහෝ විට මට පොත් පවා ලැබුණේ මගේ සමහර නෑ සියන්ගෙනි.  අම්මා සහ තාත්තා දෙදෙනාම වැඩ කලේ පුද්ගලික වතු යායක රබර් කිරි කපන්නන් ලෙසය. අදට ද තාත්තා මගෙන් සතපහක් ඉල්ලන්නේ නැත. ඔහු අදට ද එම වතුයායේ රැකියාව කරන්නේ පුරුද්දක් ලෙසය.
කියන්නට ආදේ අමතක කර වෙන යමක් දෙසුවාට සමා වන්න. 
නිතරම පෑන් විලි ගසා නැතහොත් බිම වැටී තිබූ අයිතිකාරයෙකු නැති පැන්සල් කොට මා පාවිච්චි කලේ ලැජ්ජාවකින් නොවේ කීවොත් බොරුය. එහෙයින් බොරු නිහඩතාවක් මවා කා සමගින් හෝ වැඩි කතාබහක් නොකර සිටීම මගේ පුරුද්දය. මන්ද යත් ඔවුන් අසන ප‍්‍රශ්න වලට දෙන්නට තරම් පිළිතුරක් මා සතුව නොතිබීමය.  ඒ හේතුව නිසාමදෝ මට අදට ද සිටින්නේ යහළුවන් ස්වල්ප දෙනෙකි.
දිනක් මගේ ඩෙස්කුව මත කාගේ හෝ පැන්සලක් බැරිවී තිබිණි. එය කෙසේ වූවාද යන්න මට සිතාගත නොහැකි මුත් අනෙකෙකුගේ වස්තුවක් පරිහරණය කර හොර නාමයක් ගා ගන්නට අකමැති වූ මා ඒ පංති භාර ගුරුතුමිය අතට පත් කලේ ඒ දවස්වල අන්සතු වස්තුවක අයිතිකරු සොයා භාර දීමට තරම් දැනුවත් භාවයක් නැතිවීම නිසාද, නැතහොත් අන් හේතුවක් නිසාදැයි මට මතකයක් නැත. අවසන ඈ අයිතිකරු සොයා භාර දී ඔහුට කියවා මට ස්තූතියක් ද කෙරව්වේය. ( මා කියන්නට යන කතාවේ වීරයා ද ඔහුය.) නමුත් පාසල් විවේක කාලයේ වූයේ අනෙකකි. අන් අය මගහැර මා කරා ආ ඔහු අමුතු කතාවක් කීවේය. ඒ පැන්සල මගේ ඩෙස්කුව මත තබා ගියේ මට ගන්නටලූ. එය අන් අයට පේන්නට දීමට ඔහු අකමැති වීලූ. (ඔහු සාමාන්‍ය යෙන් සබකෝලය ඇත්තෙක් නොවේ) එය එදා මට මහත් ප්‍රෙහේලිකාවක් විය. මන්ද කව්රුන් හෝ කාට හෝ තෑග්ගක් පිරි නමනවා නම් ඒ කරන්නේ පංතියේ හෝ පාසල් සමිතියේ ඉස්සරහ පිට බැවිණි. කෙසේ හෝ පන්තියේ සියලූ දෙනාම ඒ පැන්සල දුටු බැවින් අන් අයට හොරෙන් මට වෙන පාටක පැන්සලක් දුනි. ඒ දිනවල කවදාවත් කාටවත් දෙයක් දෙන්නට මට වත්කමක් හෝ ඒ හේතුව නිසාම පුරුද්දක් නොතිබූ මට මේ පරිත්‍යාගය පුදුමයක් විය. නමින් රොමේෂ් වූ මේ මිතුරා පාසලේ පහ වසරේදී අපෙන් සමුගත්තේය. ඔහු පාසලෙන් සමුගන්නාවිට අන් අයට වඩා දුක දැනුනේ මටය. ඒ වන විට පැන්සලට වඩා බොහෝ දේ මට ලබා දී මගේ හොදම මිතුරෙක් වූ ඔහු අදටත් ඉන්නා තැනක් මා නොමදන්නෙමි. ඒ මගේ උපරිම උත්සාහ යොදා ඔහු සොයාගන්නට තැත් කළත් බැරි වූ නිසාම ඔබට කියන කතාවකි.
පැන්සල මා නොදැනුවත්ව මා අතට පත් කිරීමට ඔහු උත්සාහ දැරුවේ මන්දැයි මට තේරෙන්නේ අද ය. කුමන අපහසු කම් තිබුණද අන් අයගෙන් යමක් ඉල්ලා පාවිච්චි කරන්නට තරම් පුරුද්දක් මට එදා ද නොවීය. අද ද නැත. ඒ ආඩම්බර කමකට නොවේ නැතිබැරිව හෝ අපහසුවෙන් මට ඉගැන්වීමට උත්සාහ කළ අම්මලාට අපහසුවක් නොවීමටය. වයසින් කුඩාවෙකු වුවද මෙවන් කාරණා සදහා සවිඥාණයක් මට ඒ දිනවලම පිහිටා තිබුණි. මේ හේතුව වටහාගත් මිතුරා එය මගේ අතට අන් ආකාරයකින් පත්වෙන්නට සලස්වන්නට ඇත්තේ මට අපහසුවක් සිදු නොවීම පිණිස විය හැක. මා කෙතරම් දුප්පතෙකු වුවද මට පවා අභිමානයක් තිබූ බව ඔහු තේරුම් ගෙන තිබුණි. එබැවින් අන් අය ඉදිරියේ මට අවමානයක් වීම ඔහු නොඉවසුවා විය හැක. මා මුලින් කී ලෙස ම මා හද ගැඹුරේම ජීවමාන සිතුවමක් ලෙසින් ඔහු අදට ද ජීවත් වන්නේ ඔහු සතුව තිබූ මේ අපමණ ගුණ දාමය නිසාය..
ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න යැයි මා ඔබට කීයේ එබැවිනි. මෙය පුද්ගල අත්දැකීමක් පිළිබද කතාවක් වුවද මින් ඔබට ගත හැක්කක් තිබේ යැයි විශ්වාසයෙන් ඔබට කීවේ එබැවිනි. අද සමාජයේ ද බොහෝ නැතිබැරි මිනිසුන්  ජීවත් වේ. ඔවුන් හට යමෙක් උපකාර කරන්නේ ඔවුන්ගෙන් හෝ ඒ කාරණය නිසා සමාජයෙන් හෝ යමක් බලාපොරොත්තුවෙනි. රොමේෂ් නම් මා මිතුරා සේ අන් අයට වටිනාකමක් දෙන අන් අයගේ වටිනාකම් ආරක්ෂා කරන මිනිසුන් සැබැවින්ම සමාජයේ විරලය. එනම් නිරාමිසව  පරිත්‍යාගයන් කරන්නවුන්, අන් අයගේ ගරුත්වය රකින වුන් සැබැවින්ම මිනිසුන්ය. අපහට සොයාගන්නට අපහසුද එවන් මිනිසුන්ය. නිහඩව ම සමාජයට මහත් සේවාවක් ඉටු කරන මෙවන් මිනිසුන් නිහඩව ම මිය යන්නේ විශ්වය පුරාම මහත් හිස්තැනක් ඉතිරි කරමිනි. ඒ තැන ගන්නට සැබෑ මිනිසුන් හිඟ වුවත් පුස් වෙඩි සේ ”පොහ්” ගා පත්තු වී යන්න වුන් නම් සමාජයේ ඇති පදම් දැකිය හැක...
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
 
මහේෂ් රත්නායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.