Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිය දිවි නසා ගැනීම විලාසිතාවක් වේවි ද?

දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප‍්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. බණ පොතේ උගන්වන්නේ සිය දිවි නසා ගැනීම ප‍්‍රාණඝාත අකුසල කර්මයක් හැටියටයි. එසේම දිවි නසා ගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම මෙන්ම මරණයේ ගුණවැනීමත් බරපතළ පාපයන් හැටියට දැක්වෙනවා.
සියදිවි නසා ගැනීමට එන සිතුවිල්ලමත් ලොකු සැනසීමක්. කෙනෙකුට ගත කරන්නට නියමිත භයානක රාත‍්‍රීන් ගණනාවකින් නිදහසක් ඉන් ලැබෙන නිසා.
 
- ෆෙඕරික් නීට්ෂෙ-
එප්පාවල වසන්ත ප‍්‍රදීප් ගේ ඇතුලෙ එල්ලිලා මැරණ. ලංකාවෙ තමන්ම වීඩියෝ කරපු මුල්ම සිය දිවි නසා ගැනීම ඒක. තමන්ගෙ අතින් තමන්ගෙ මරණය පටිගත කිරීම. ඒක සාමාන්‍ය දිව නසා ගැනීමකට එහා ගිය ඇෙඟ් හිරිගඩු පිපෙන වැඩක්. දිවි නහගන්න කලින් ලියන ලියුම් ගැන කතන්දර ඉස්සර ඉඳන් තිබුණ. ඒත් මොබයිල් එකෙන් මරණය වීඩියෝ කරලා ඒක තමන්ගෙ අවසන් ප‍්‍රකාශය කරපු පළවෙනි වතාව මේක (ලංකාවෙ). මැරෙන්න කලින් වසන්ත ඉංග‍්‍රීසියෙන් තමන්ගෙ ආවේගය පොළොවෙ කුරුටු ගාලා තිබුණ.
‘මට තාම අමතක නෑ. මං මැරෙනවා’
වීඩියෝ දෙකෙන් මාධ්‍ය එලියට දැම්මෙ එක ක්ලිප් එකයි. ඒකත් සදාචාරයට අනුව කැපිලා කෙටිලා. පෙම් සබඳතාවයක් බිඳීම නිසා කියන සරල නිගමනයෙන් ඔක්කොම කෙලවර කරන්න මාධ්‍ය ලොකු සහයෝගයක් දුන්නා.
 
‘අයියෝ මෝඩයෙක්’
අප‍්‍රකාශිත සමාජ ප‍්‍රතිචාරය වුණේ ඒක. වසන්තගෙ දිවි නසා ගැනීම සීරියස් විදිහට බාර ගන්න කවුරුවත් ලෑස්ති වුණේ නෑ. කාටවත් වසන්තව ඇහුනෙ නෑ. පුළුවන් තරම් ඉක්මණට සරල හේතුවකින් ඒ මරණය මුවා කරන්න හේතුවක් තිබුණ. ඒ අපිත් සිය දිවි නසා ගනීද කියල දැනෙන අවිඥාණක භීතිය. ඒ ප‍්‍රවෘත්තියෙ තවත් අපිට අමතක කාරණා තිබුණ. වසන්තගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මීට කලින් දිවි නසාගෙන තිබුණ. ඒ ඇරුණම ඒ දවස්වල එප්පාවල හෙඞ් ලයින් වදින විදිහෙ දිවි නසාගැනීම් එකදිගට සිදුවෙමින් තිබුණ.
දිවි නසා ගැනීමක් කියන්නෙ පුද්ගලික මනෝ ව්‍යාධියකට වඩා පුද්ගලයාට බාහිර සමාජ බාධකයක් ගැන ප‍්‍රකාශනයක් කියල එමිල් ඩුර්කයිම් කිව්වෙ දශක ගානකට කලින්. ඒත් අපේ මාධ්‍ය හා දැනුවත් සමාජය මේ දිවි නසා ගැනීම් මොකක් හරි සමාජ අර්බුදයක් ගැන එක දිගට සිද්ද වෙන ප‍්‍රකාශයක් විදිහට බාර ගන්න තාම ලෑස්ති නෑ. මිනිසාට ජීවිතාශාව සහ මරණාශාව කියල මූලික ආශාවන් දෙකක් තියෙනවා කියල සිග්මන්ඕ ෆ්‍රොයිඞ් කියනවා. මේ ආශාවන් දෙකේම උවමනාව ආතතියෙන් නිදහස් වෙන එක. ලිංගිකව පීඩිත සහ ගැටුම්කාරී බිමක දිවි නසා ගැනීම් වැඩි වෙන හැටි ගැන එයා කතා කරනවා.
අවුරුදු තිහක යුද්ධයක් ඇතුලෙ විශාල මිනිස් සංහාරයක අත්දැකීම් දැන් එලියට ගලන්න පටන් අරගෙන. දිවි නසා ගැනීම්, භූතාවේශ සහ පිටසක්වල ජීවින් ගැන කතා දවස ගානෙ පත්තරවල. භූතාවේශයක් වගේම පිටසක්වල ජීවින් දැකීමත් දිවි නසා ගැනීම වගේම තමන් වෙනුවට වෙන කෙනෙක්, වෙනස් ජීවිතයක් ප‍්‍රාර්ථනා කිරීමේ වෙනස් විධි. අපි හරියට මිනී වළ දාලා නෑ. රටක් විදිහටම අපි තාම මරණයේ ආතතිය ඇතුළෙ.
සියදිවි නසා ගැනීම කියන එකට ලෝකෙ විෂයක් විදිහට වෙනම අධ්‍යයන කලාපයක් පවා තියෙනවා. සියදිවි නසා ගැනීම පිළිබඳ විද්‍යාවෙ පියා විදිහට සළකන එඞ්වන් ෂ්නිඞ්මෑන් කියන්නෙ ‘සියදිවි නසා ගැනීම තමන් විසින් තමන්ව විනාශ කර ගන්නා සවිඥාණක නැත්නම් දැනුවත් ක‍්‍රියාවක්’ කියල. එහෙම තියෙද්දිත්, පෙම් හබ, මානසික අවුල් වගේ පුද්ගලික හේතුවකට මේ ජීවිතයක් ඇතුලෙන්ම කරන ගැඹුරු පුපුරුවා හැරීම ලඝු කිරීම (ලංකාවෙ මාධ්‍ය සහ ජනතාව කරන විදිහ) චාටර්. ඒක අපේ මානසික සීමාව.
එක එක කාල වල සියදිවි නසා ගැනීම ගැන වෙනස් අදහස් තිබුණ. ඒ අදහස් නැවත කියවීම වැදගත් වෙන්නෙ අද සියදිවි නසා ගැනීම ගැන කියන කතන්දර එන තැන් හොයා ගන්න. ග‍්‍රීක යුගයෙදි ප‍්‍රභූවරයෙක් හරි දාර්ශනිකයෙක් හරි සියදිවි නසා ගැනීම පුදුම වැඩක්. ඒත් සාමාන්‍ය පොදු ජනතාවගෙන් එකෙක් දිවි නහ ගත්තොත් ඒක බාල වැඩක් වුණා. රෝම යුගයෙදි නම් ඇතිවෙච්ච දුෂ්කරතා නිසාම දිවි නසා ගැනීම ගැන පොසිටිව් විදිහට බලන්න පවා ගත්ත.
දිවි නසා ගැනීම අපරාධයක් වෙන්නෙ ඒකට විරුද්ධව ක‍්‍රිස්තියානි දෙවියන්ගෙ නීතිය ගෙනාවට පස්සෙ. දස පණතෙ හයවෙනි ආඥාවෙන්ිතමා විසින් තමා නොමැරිය යුතුය’ කියල මිනිස්සු තමන්ටම මාංචු දා ගන්නවා. සියදිවි නසා ගැනීම නිකං සාමාන්‍ය මනුස්ස පාපයක් නෙමෙයි, ඒක දෙවියන් අතේ මනුස්ස ජීවිතේ ගැන තීරණ ගැනීමට ඇති බලය අභියෝග කරන්නක් කියල සාන්ත ඇක්වයිනාස් කියනවා. ඒ කියන්නෙ සිය දිවි නසා ගැනීමේ ක‍්‍රියාව තුළ පුද්ගලයෙක් දෙවියන්ව චැලෙන්ජ් කරනවා කියන එක. එක විදිහකට ඒක වීරකමක්.
‘අර්නස්ට් හෙමින්ග්වේ’ ඩබල් බැරල් තුවක්කුවෙන් ඔලූ කෑලි බිත්තියෙ හිටින්න වෙඩි තියා ගනිද්දි එතන තිබුනා ස්ටයිල් එකක්‘
එල්ලිලා මැරුණු ගොඩාක් සිද්ධිවලත් මේ ‘ස්ටයිල්’ එක තිබුණ. තුන්කොන් පේ‍්‍රමයක අයිතිය වෙනුවෙන් රූස්ස ගහක මුදුනේ තුන්දෙනක් ගෙල වැල ලා ගැනීමේ සිද්ධියෙදි ඒ ගොල්ලො කතා වෙනවා, ‘අපි පත්තරේ වැටෙන විදිහට මැරෙමු’ කියල. වසන්තත් වීඩියෝවෙන් සහ බිම ලියන ඉංග‍්‍රීසි අකුරු වලින් ලොකු මාධ්‍ය ප‍්‍රචාරණයක් ඉල්ලනවා. ඒක ළග නෑයන්ට විතරක් කියන පණිවිඩයක් නෙමෙයි. පුද්ගලික සීමාවෙන් එලියට ගිහින් මේ මරණ සමාජ ගනුදෙනුවක්, ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටිනවා.
ජීවිතේ ගොඩක් දේවල් වලට වඩා වෙනස් විදිහට දිවි නසා ගැනීම කියන්නෙ හොඳින්ම දැනුවත් ක‍්‍රියාවක්. ඒ ක‍්‍රියාවට අපිටත් ගොඩක් හේතු තියෙන නිසාම සහ එසේ කරාවි යැයි බයෙන් අපි දිවි නසා ගැනීම විරල රෝගී තත්වයක් වගේ කරනවා. ඒත් බලාපොරොත්තුවක් නැති දේශයක, අනාගතයක් වෙනුවට අතීතයක් විතරක් තියෙන රටක, හොරු හාරන්න කලින් ආණ්ඩුව නිධන් ටික හාරන්න  ඕන කියලා පුරාවිද්‍යා චක‍්‍රවර්තිවරුන් දේශනා කරන බිමක, හීනයක් වත් නැතුව ජීවත් වෙනවා වෙනුවට මැරෙන්න තෝරා ගන්න එක අසිහියෙන් ගත් තීරණයක් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනවා...
 
ඒක අරගලකාරී ප‍්‍රකාශනයක්.
මේ දිවි නසා ගැනීම් ආදර ප‍්‍රශ්න නිසා සිද්ධ වීම කියන්නෙ කාරණය සැහැල්ලූ කරන දෙයක් නෙමෙයි. පුංචි ආදර අවුලකින් පවා ජීවිතේ නැති කර ගන්නවා කියන්නෙ තවත් අල්පමාත‍්‍ර ආතතියක් පවා දරන්න බැරි තරම් ජීවිතේ හෙම්බත් වෙලා කියන එක. එකම ගැලවීම, එකම සැනසීම විදිහට දකින්නෙ තමන්ට සමීප සම්බන්ධය විතරයි. ඒ වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන්න ලෑස්ති තරමට ජීවිතේ පුංචි වෙලා. සමාජය හැකිළිලා.
දිවි නසා ගැනීමකින් හැම තිස්සෙම දෙන්නෙක් මැරෙනවා. ඒකෙ තේරුම ඒකයි.
 
-ආතර් මිලර්-
සමාජයක්, පද්ධතියක්, සමස්තයක් තියෙනවා කියන එකට විරුද්ධව නැත්තං ඒකෙ වෙනසක් වෙනුවෙන් ගහන ආත්මීය කැරැල්ලක්. ඒත් අපි ඒක බාර ගන්න ලෑස්ති ඒ පුද්ගල ජීවිතේ ඇතුලෙ ප‍්‍රශ්නයක් විදිහට විතරයි. ඒ තරමට අපිට ජීවිතය පේන්නෙ නෑ. අපි දකින්නෙ මරණය විතරයි. අපි කියවන්නෙ මරණයේ ප‍්‍රවෘත්තිය විතරයි. ජීවිතේ පණිවුඩය අපිට මගහැරෙනවා.
කිසිම දවසක මෝඩයෙක් දිවි නහ ගන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. දැන උගත් නැතිකම දිවි නසා ගැනීමට හේතුවක් කියල හිතහදා ගත්ත අයට අර මං මුලින් කියපු වසන්ත උත්තරයක් දෙනවා. එයා සේවය කරන්නෙ පරිගණක ආයතනයක. මොබයිල් එකෙන් තමන්ගෙ මරණය වීඩියෝ කරන්න තරමට එයා මොඩර්න්. තමන් මැරෙන එක වීඩියෝ කරලා මැරෙන්න තීරණය කරන එක කෘමි නාශක බීලා මැරෙන ගොවියෙක් ගැන සිද්ධියකට වඩා වෙනස්.
මේ විදිහට මැරෙන හැටි වීඩියෝ කරන එක රැුල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ තමන්ගෙ පෙම්වතියන්ගෙ නිරුවත වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාන්න පටන් ගත්ත රැුල්ල වගේම මරණය පටිගත කිරීම දැන් විලාසිතාවක් වෙන්න ගනීවි.
සමාජ කොන්දේසි වලට එරෙහිව මේ විරෝධය පටන් ගන්න තැනදිම අපි පුද්ගල ගැටළුවකින් එහා සමාජ අවුලක් විදිහට මේක තේරුම් නොගන්නවා කියන්නෙ ඒක ලොකු ව්‍යසනයක් විදිහට අපිට මුණගැහෙන කල් බලන් ඉන්නවා කියනවා එක. තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. මේක මරණයක් නොව මරා දැමීමක් කියන තැනට එන්න අපිට තව කොච්චර මරණ  ඕනද? 
 
බෝසාධි තෙව්නුලී වික‍්‍රමසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.