Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජීවිතය දෙස අලූත් ඇසකින් බලමු

ආගමක ප‍්‍රධාන කාර්ය භාරයන් අතරින් එකකි මිනිසාව යම්කිසි අවසන් නිශ්ඨාවක් කරා මෙහෙයවීම. ඒ අනුව ආගම් අදහන පුද්ගලයින් මුල් කාලීනව සොබාදහම සම්බන්ධිත බිය පහකර ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් ආගම භාවිත කළහ. එමෙන්ම පසුකාලීනව මිනිසාට ජීවිතයේ පැවැත්ම සහ නැවැත්ම කෙසේ සිදු වේද යන ගැටළුවද ඇති විය. ඒ හේතුකොටගෙන ආගම් තුළින් මිනිසාව යම් අවසන් නිශ්ඨාවක් කරා මෙහෙයවීම සිදු වූ අතර ආගම්හි විමුක්ති සංකල්පය යනුවෙන් එය හ`දුනා ගැනුණි. බුදු දහමේ පරම නිෂ්ඨාව හෙවත් විමුක්තිය වනාහි නිර්වාණය යි. 
සසර දුකින් මිදීම, කෙලෙසුන්ගෙන් මිදීම, කෙලෙස් දුරු කිරීම ආදිය විමුක්ති සංකල්පයේ අරුත් වන අතර නිවීම, නැවැත්ම, නොපැවැත්ම ආදිය නිවන යන සංකල්පයේ අරුත් වෙයි. අප මෙම සංසාරයේ ඉපදෙමින් මිය යමින් සිටීම නවත්වා ගැනීම නිර්වාණය සාක්ෂාත් කරගැනීම ලෙස සරල අරුතින් දැක්විය හැකිය. සසර දුක නැති කිරීම අවබෝධයෙන් විය යුත්තකි.
බුදු දහම ථෙරවාදී සහ මහායාන යනුවෙන් සම්ප‍්‍රදායන් ද්විත්වක් ඇසුරින් බෞද්ධයන් විසින් හදුනා ගනී. බුදු දහම තුළ මෙම භේදය ඇති වූයේ නොයෙක් ආචාර්ය වාද සහ මතාන්තර නිසා යැයි කියවෙතත් මෙහිදී එම කරුණු මොනවාද යන්න විමසීමෙන් ව්‍යුක්තව බුදු දහම තුළ විමුක්ති සංකල්පය ථෙරවාද සහ මහායාන යන ප‍්‍රභේද ද්විත්වය ඔස්සේ බිහිවන ආකාරය විමසා බැලීමට යොමු වේ. පළමුව ථෙරවාදය තුළ නිර්වාණ සංකල්පය අර්ථ ගැන්වෙන්නේ කෙසේද යන්න විමසීමට යොමු වන්නේ නම්, ථෙරවාදය වනාහී ආදිතම බෞද්ධ සම්ප‍්‍රදාය ලෙස හ`දුනා ගත යුතුය. ගෞතම බුදුන් දේශිත ධර්මය පිරිසිදුව ආරක්ෂා වී ඇත්තේ මේ තුළය. ථෙරවාදී ධර්මය බෙහෙවින්ම කුසල මාර්ගයට යොමු වූවකි. සත්‍යාවබෝධය සදහා අවශ්‍ය නිදහස් චින්තනය, පෞරුෂය, ආත්ම ශක්තිය ආදිය ඇති වන්නේ කුසල මාර්ගයෙනි. ඒ අනුව ථෙරවාදී අරමුණ වන්නේ කෙලෙස් දුරුකර සසර දුක නැති කිරීම උදෙසා කුසල් මාර්ගයට යොමු වී රහත් බවට පත්ව නිවන් දැකීමයි. ඒ සදහා රාග, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් දුරු කරමින් කිසි`දු දෙයකට ඇලෙන්නේ හෝ විරුද්ධ වන්නේ නැතිව සෑම දෙයක්ම ඇති සැටියෙන් දැකීම සහ ඒ තුළින් දුකින් මිදී සසර ගමන කෙළවර කරගත යුතුය. 
සරලව කියන්නේ නම්, ථෙරවාදී ක‍්‍රමය මැදුම් පිළිවෙතයි. එනම්, ශරීරයට දුක් දීම සහ ශරීරයට සැප දීමෙන් මිදී මැද පිළිවෙතක් අනුගමනය කිරීමයි. ථෙරවාදී මෝක්ෂ මාර්ගය ප‍්‍රඥා මූලික ය. දස කුසල් ඇසුරුකොට පවින් වැළකී කුසල් වඩා, ක්ලේෂයන්ගෙන් දුරු වීම මොවුන් අරමුණු කරයි. මෙම අභිමතාර්ථ සාධනය කරගැනීමට පුද්ගලයා පෞද්ගලිකව කැප විය යුතුය. බාහිරින් ලැබිය හැක්කේ යම් මාර්ගෝපදේශකත්වයක් පමණි. ප‍්‍රඥාව මූලිකව ලෝකය දෙස බුද්ධිගෝචරව බැලීමෙන් යථාවබෝධය අරමුණු කරන ථෙරවාදය ධර්මාවබෝධයෙන් තොර වූවන් සංවේදන දොරටු හයෙන් පමණක් ලෝකය දකින බව පවසයි. එසේ නොවී ක්ලේෂ රහිතව සතිපට්ඨානය නොහොත් නිවැරදි සිහි කල්පනාව වඩමින් නිර්වාණ මාර්ගයට යොමු විය යුතු බව මේ තුළ මූලිකව දැක්වේ. තමන් වෙනුවෙන් සත්‍ය සොයා යාමේ වගකීම තමාටම හිමිවන ථෙරවාදය තුළ ඒ ස`දහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතු වෙයි. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝධයද සහිත විය යුතුය. ථෙරවාදීන් අනාගතයේ බිහි වෙතැයි සැලකෙන පසේ බුදුවරු විශ්වාස නොකරයි. ථෙරවාදය තුළ චතුරාර්ය සත්‍යට අමතරව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබ`ද විග‍්‍රහ කෙරෙයි. අරි අට මගෙහි ගමනය මෙන්ම ත‍්‍රි ශික්ෂා අනුගමනය කිරීමෙන් ප‍්‍රඥාව දියුණුකොට ජාති, ජරා, මරණ ආදියෙන් වැළකී නිවන් මගට පැමිණීම ථෙරවාදී අරමුණයි. සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ලෙස ථෙරවාදී විමුක්තිය ලබා ගන්නා මාර්ගඵල අවස්ථා හතරක් වේ.
ථෙරවාදී බුදු දහම හැ`දින්වෙන තවත් නාමයක් වන්නේ හීනයානය යන්නයි. හීන යන්න කුඩා, දුර්වල, පිරිහුණු යන අරුත් ගනී. මෙය මහායාන යන වචනයට සපුරා විරුද්ධ වචනයක් වූ අතර හීනයානය යන්න භාවිතා කරන්නේ මහායානිකයන් විසිනි. එසේ හ`දුන්වන්නේම ඔවුනට මහායානය උසස් යැයි හ`දුන්වා දීමට අවශ්‍ය නිසාය. මහායානය යන  නම නිර්මාණය වන්නේ සත්වයන් විශාල ප‍්‍රමාණයක් එකවර සංසාර සාගරයෙන් එතෙර කළ හැකි විශාල යාත‍්‍රාව යන අරුතිනි. ථෙරවාදයට අනුව සසරින් එතෙර වීමේ හැකියාව කලාතුරකින් කෙනෙකතුට පමණක් ඇතැයි දක්වන අතර ඒ නිසා ථෙරවාදය (හීනයානය) කුඩා ඔරුවකට මහායානිකයන් විසින් සම කරති. ථෙරවාදී නිර්වාණය ස්වකීය උත්සාහය හරහා ළගා කරගත යුතු අතර රහත් බව ලැබීමෙන් පසුව හැකියාවක් වේ නම් අනුන් කෙරෙහි ක‍්‍රියා කිරීමක් සිදු විය.
නමුත් මහායාන විමුක්තිය වචනාර්ථයෙන්ම සාමූහික ප‍්‍රයත්නයකි. කෙනෙකු තම ජීවිතය අන් අයගේ යහපත වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපකර ක‍්‍රියා කරයි නම්, ස්වකීය යහපත වෙනුවෙන් වෙනම ක‍්‍රියා කිරීමක් අවශ්‍ය නොවන බවත් ස්වකීය යහපත නිරුත්සාහයෙන්ම ළ`ගාවන බවත් මහායාන මතයයි. ථෙරවාදීන් මෝක්ෂ මාර්ගය මිස සංසාර මාර්ගය අනුගමනය නොකරති. නමුත් මහායානිකයන් එය ආත්මාර්ථකාමී හැ`ගීමක් ලෙස දකින අතර ඔවුන් එයට ප‍්‍රතිපක්ෂ වෙති. රහත් බව පැතීමෙන් නොනවතින මහායානිකයන් බුදු බව ප‍්‍රාර්ථනා කරති. බුදු බව ලැබීමට නම් බෝධිසත්ව ආත්මයන් පසු කරමින් පාරමිතා පිරීමට සිදුවන අතර එම සෑම ආත්ම භවයකදීම අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම මහායාන බුදු දහම අනුගමනය කරන්නන්ගේ අරමුණ වේ. බෝධි සත්ව භාවය ලබා ගන්නා තැනැත්තා පළමුවෙන්ම සිදු කරන්නේ තමා යන සංකල්පයෙන් බැහැර වීමයි. නිර්වාණය මේ ආකාරයට සාක්ෂාත් කර ගන්නා බෝධි සත්වයන් ලෝකය අත් නොහරී. දුක් වි`දින සත්වයන්ට උදව් කිරීම ස`දහා සංසාරයේ නැවත නැවත උපදී. නැවත ඉපදීම හේතුකොටගෙන මෙම බෝධිසත්වයන් සංසාරය තුළ බොහෝ දෙනෙකුට ධර්මාවබෝධය ලබා දෙයි. මෙය ථෙරවාදී බෞද්ධයාගෙන් සිදුවන සමාජ සත්කාරයට වඩා විශාල සමාජ සත්කාරයක් ලෙස මහායාන බෞද්ධයා විග‍්‍රහ කරයි. ශුන්‍යතාව පිළිබද ධර්ම කරුණු මහායානය තුළ අන්තර්ගතවන අතර ක්ෂණික අවබෝධය සිදුවීම මේ තුළ ලැබිය හැකි යැයි විශ්වාස කෙරෙයි. මහායාන බුදු දහම තුළ බෝධි සත්වයන් ඇදහීම බුදුන් ඇදහීමටත් වඩා ජනප‍්‍රිය වේ. ඒ අනුව මහායානය තුළ ඇත්තේ යමෙකුට රහත් වීමට මග පෙන්වීමක් නොව බෝධි සත්වයෙකු වීමට මග පෙන්වීමකි. 
මේ අනුව දැක්විය හැකි වන්නේ ථෙරවාදය තුළ විමුක්ති මාර්ගය ලෙස මෝක්ෂ මාර්ගයත් මහායානය තුළ විමුක්ති මාර්ගය ලෙස සංසාර මාර්ගයත් තෝරා ගන්නා බවයි. බුදු දහම ස්වච්ඡුන්දතාව සහිත දහමක් වශයෙන් මෙම  ඕනෑම මාර්ගයක් තෝරා ගන්නෙකු උදෙසා කිසිදු බලපෑමක් නොකරයි. පුද්ගලයාට සිය නුවණින් විමසා බලා නිර්වාණය ළගා කරගත යුතු මාර්ගය තෝරා ගැනීමට හැකියාව ඇත. වර්තමානය වනවිට ථෙරවාදී බුදු දහම අදහන පුද්ගලයින්ද තම නිර්වාණ මාර්ගය ලෙස මහායානික පිළිවෙත දැන හෝ නොදැන භාවිත කරති. බුදුන්වහන්සේගේ ජීවිතය ඇසුරින් මෙම මාර්ග ද්විත්වයම සාධාරණීකරණය කිරීමට තොරතුරු, තර්ක ඉදිරිපත් කිරීමේ නිදහස සහෘදයා සතු ය. කෙසේ නමුත් සටහන් කළ යුත්තේ බුදුන්වහන්සේ සංසාරය දිගුකර ගන්නා ඉගැන්වීමක් සිදු නොකළ බවයි. උන්වහන්සේ පිරිණිවන් පෑ අවස්ථාව නුවණින් විමසා බලන්නෙකුට ආදර්ශයෙන්ම එය පැහැදිලි වේ.
 
කේ.එච්.එස්.ආර්.එම්.ජයවර්ධන පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.