Coss Ear2
lakbima.lk
COSS Ear 1

නොමිනිසුන් මැද මිනිස් දුවකගේ කතාව

‘‘අයියේ.. බයිට් වගයක් කරනවා.බලමුද පොඞ්ඩක්..”
තොග බඩු කඬේ ඇතුළෙදී එක පාරම ගැස්සී ගියෙමි. එය සුන්දර යුවතියක් කඬේ මුදලාලිගෙන් ඇසූ බැව් නිනව්වට ආවේ..  ඔහ විසින් ‘ගත්තුවා වගයක් තියනවා නංගී පස්සේ බලමු’ යන උත්තරය දුන් පසුවය.
‘‘හරි අයියේ ගිහින් එන්නම්” කියා ඈ හැරුණි. 
ත‍්‍රී ක්වාටර් ඩෙනිමකි, ඊට ගැලපෙන ම සපත්තු යුගලකි. ඇගේ ස්කූටි හෙල්මටය අස්සේ දඟකරන කෙහෙරැුල්ල හැරුණු ක්ෂණයට පැත්තකට විහිදී ගියාය. ස්කූටියේ මැද විශාල බෑගයක් තබා ගෙන ඈ ටවුමේ කඩ පීරමීන් වාහන අතරින් නොපෙනී ගියාය. නමුත් ඇය මා හදවතේ තවමත් ස්කූටියට වඩා වේගයෙන් ඔබ මොබ යමින් තිබේ. මගේ බැල්ම දෙස පුදුමයෙන් බැලූ මුදලාලි..
‘‘ මල්ලි දන්නැද්ද ඔය කෙල්ලව..?” පව් අසරණ එකී.. මහත්තයා ආමි එකේ ඉදලා. යුද්ධෙ අන්තිම කාලෙ බ්ලාස්ට් එකකට අහුවෙලා. ඩිසේබල් වෙලා. අංශබාගෙ වගේලූ.”
සතියකට පසුත් මම ඈව සෙව්වෙමි.
මේ ඇගේ කතාවයි.
‘‘මේ කතාව දන්නේ අතලොස්සයි. මේ ටික කියන්නෙත් ඔය අයියා හොඳ කෙනෙක් බව පේන නිසයි. කතාව නම් ගම් එක්ක පල කරන්න නම් එපා. මේ ප‍්‍රශ්න ඇති.. අපි අපේ පාඩුවෙ ඉන්නවා. ජීවීතේ පුළුවන් විදිහට විඳිනවා. මං දන්නෑ මට මේ හයිය කොහෙන් ආවාද කියලා. මටම පුදුමයි. බොහෝමයක් ගෑණු ප‍්‍රශ්න වලින් තෙම්පරාදු වුණාම හිතාගන්න බැරි එඩිතරකමක් ගෑණු අපට එනවා. මං බඳිනකොට යන්තං දහනවය පිරුණා විතරයි. ඒලෙවල් කලා. රිසාල්ට් අදටත් බලලා නෑ. අපේ ගෙදරින් අයියාට අකමැති වුණු නිසා අපි පැනලා ආවා. අම්මයි තාත්තයි දෙන්නම හොඳ තැන් වල ඉන්න අය. නමුත් මට ඒ දෙන්නවම එපා වුණා. තාත්තා නමගිය පත්තරේක ලොකු පෝස්ට් එකක ඉන්න කෙනෙක්. අම්මා මානව සම්පත් කළමණාකරණවරියක්. එයාලාට ජීවීතේ අහුවෙලා තිබුණෙ නෑ. මට ජීවීතය දුන්නෙත් නෑ. මං ඒලෙවල් වලට ආට්ස් තෝරගත්තාම මට බැන්නෙ සතෙක්ට වගේ. එයාලා පාර්ටිස් වලට විතරයි ජෝඩුව වගේ රටට පේන්න ගියේ. ලොකු ලොකු තැන්වල. මං ඒවාට කැමති නෑ. මං යන්න බෑ කිව්වාහම සාමාන්‍ය පෙළ කරන කාලෙ තාත්තා ගහලත් තියනවා. හිත් පිත් තියන මනුස්සයෙක්ද කියලාත් මට හිතුණු වාර අනන්තයි. ඒත් තාත්තා පත්තරේට දාන ආටිකල් මං අදටත් බලන්නේ හිනා වෙවී.’’
‘‘පවුලක් ගෙනි යන්නේ කොහොමද? ආදරය ඉහිර නොයවා තියාගන්නේ කොහොමද..? ”
‘‘අයියා මට ළං වුනේ සාමාන්‍ය පෙළ කාලෙම.එයා දුප්පත්.. ඇත්ත ඒත් එයාට මාව තේරුම් ගන්න පුළුවන් හොඳ හිතක් තිබුණා. අපි බඳිද්දිත් එයා ආමි එකේ. යුද්දේ අන්තිම කාලෙ තමයි මගේ ජීවීතේ හැඬු කඳුලින්ම ගෙවුණු කාලෙ. අන්තිමට බ්ලාස්ට් එක නිසා අයියා පැරලයිස් වුණා. විශ‍්‍රාම වැටුප විතරක් ජීවත්වෙන්න නම් ඇති. ඒත් මං තව පොඩි එවුන් දහයක් දොළහක් ජීවත් කරවනවා මේ බිස්නස් එකෙන්. පුදුමත් හිතෙනවා ඇති නේද..?  පුදුම වුනාට මේ ජීවීතේ හැටි. අද ගිහින් ටවුමේ ඉස්කෝලේ පාරෙ ළමා නිවාසෙ ගාවට ගිහින් බට්ටී අක්කා එක්ක එන්න කිව්වා” කියලා කෑ ගහන්න. පොඩි වුන් රොත්තක් ඒවි. ඒක මගේ සතුට..’’
‘‘අයියාගේ හැම වැඩක්ම උදේ හවස කරලා ඉතුරු වෙලාවෙ තමයි මම බයිට් එහෙම හදන්නේ. අපේ අම්මලා මට බතක් මාළුවක් උයා ගන්න වත් පුරුදු කරලා තිබ්බේ නෑ. වැරදි වැරදී මේ හැම එකම ඉගෙන ගත්තේ. බය නැතුව මං කියනවා ටවුමේ කඩවල රසම බයිට් තියෙන්නේ මගේ ඒවා. පිරිසිදුම ඒවා මගේ ඒවා. මේකත් මහපුදුම බිස්නස් එකක්. මේක අල්ලන් හිටියේ පල්ලිය පාරෙ නානා කෙනෙක්. මට නොකරපු දෙයක් නෑ. ඇසිඞ් ගහන්න පවා හදලා තියනවා. මගේ වෙලාවද මන්දා තවම මට ඉදිකටු තුඩක තරම් සීරීමක් වුනේ නෑ. එක සැරයක් ගේ වටේම කැලෑ පත්තරත් ගහලා තිබුණා.’’
‘‘ළමයි ගැන හිතුවෙ නැද්ද එතකොට..”
‘‘අයියාගේ තත්වෙත් එක්ක ළමයි හදන්න බෑ. හැමෝම කියන ‘මාත් ගෑණියෙක් මටත් හැඟීම් දැනීම් තියනවා..’  කියන තැන මමත් ඉන්නවා හැබැයි ඒවා පාලනය කරගෙන. මට දැන් විසි අටක්. මට මගේම දරුවො වගේ අර දරුවො ටික.. මං වගේ තනිවුණු ගෑණු දැක්කම සමහර පිරිමි නලියනවා. කතා කලත් නක්කලේට.. පුංචි හිතවත් කමක් පෙන්නලා එන්නේ ඇඟට. හරි අමාරුයි ජීවත් වෙන්න..
බයික් එක ගත්තා. ගෙදර තරමක් හදා ගත්තා. හැමදේම පුලූ පුලූවන් විදියට විසඳ ගන්නවා. ජීවිතය ගෙවෙනවා ඉතින්. එච්චරයි ඉතින්’’ කියා සිනාමුසු මුහුණකින් ඇගේ කතාව අවසන් කළාය.
ඇය එච්චරයි ඉතින් කියා කතාව අවසන් කලාට එය අවසන්ම නැත.
තව ජීවීත පිටු එහෙමමය.
පිටු පෙරලන බහුතර ජීවීත අතරේ ඇය ඇෙඟ් ජීවීත කතාව ලියාගෙන යන්නීය.
(සත්‍ය කතාවක් ඇසුරෙනි)
 
උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.