lakbima.lk

මගීන් බිහිරන් කරන පොදු ප‍්‍රවාහන සේවය

මීට දශක දෙකකට ඉහතදී ස්ව කැමැත්තෙන් ම ගමන් කිරීමට තෝරා ගන්නා ප‍්‍රවාහන සේවය පොදු බස් රථ ප‍්‍රවාහන සේවය යි. අප පාසැල් කාලයේ බොහෝ විනෝදජනක අත්දැකීම්වලට මුහුණ පෑවේ බස් රථයේ ගමන් කිරීමෙනි. කොන්දොස්තර මහතා උසි ගන්වා විහිළු කාරයෙකුට අන්ඳවා අපි උසුළු විසුළු කළෙමු. වර්තමානයේ මෙන් යාචකයාගේ සිට සුපිරි බලවතා දක්වා ම ජංගම දුරකතන එකල නොවීය. එසේ තිබුණා නම් ආර්ථික මට්ටමින් ශක්තිමත් ඉහළ ධනවතෙකු  ළඟ පමණි. එවකට බොහෝ බස් රථවල ගුවන් විදුලි යන්ත‍්‍රයක් සවිකර නොතිබුණ ද පාසැල් කොලූ රෑනෙන් ගීතයක් වරදින්නේ නැත. ගුවන් විදුලි යන්ත‍්‍ර සවිකර තිබූ බස් රථවල පවා දෙසවනට මිහිරක් උපදින ගීත බොහෝ දුරට ප‍්‍රචාරය කිරීමට කටයුතු සලසා තිබුණි.

අළුයම පාසැල් යාම සඳහා ගොඩවන අපට බස් රථයට නැග ගත් විට ඇසෙන්නේ පිරිත් සජ්ජායනය යි. ඉන් අනතුරුව ගීත පටයක් දැමීම හෝ එෆ්.එම්.සේවයකට කරකැවීම ඔවුනගේ සිරිත විය. ගුණදාස කපුගේ, එච්.ආර්.ජෝතිපාල,  සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක, ලතා වල්පොළ, අබේවර්ධන - නෙරංජලා, සනත් - මල්කාන්ති, දයාරත්න - අමරා යුවළ එකල අපගේ සිත් සතන් පුබුදු කළ ගායක ගායිකාවන්ගෙන් අතළොස්සකි. එදා ඒ ගීතවලින් අපට අයහපතක් නොවූවා මෙන්ම බසයේ ගමන් ගන්නා වැඩිමනක් පිරිස ඒ ගීත ශ‍්‍රවණය කිරීමෙන් මහත් ප‍්‍රබෝධයක් ලැබීය. ඒවා ඉතා මිහිරි ය. කර්ණකටුක භාවයෙන් යුතු ගීත ඉතා අල්පය. රසාලිප්ත ලෙස  වින්දනයේ යෙදෙමින් ගමන් කිරීමේ හැකියාව සියලූම මගීනට අත්පත් විය. බස් රථයේ තිබූ ගුවන්විදුලි යන්ත‍්‍රය සතුව පැවතියේ රිය තුළ ඉදිරිපස හා පිටුපස සවිකර තිබූ ශබ්ද වාහනය වන යන්ත‍්‍ර දෙකක් පමණි. එතුළින් පිටකරන ශබ්දය පවා මගියන්ගේ ශ‍්‍රවණයට ගෝචර වන අයුරින් පාලනය කර තිබුණි. ඒ නිසා ඒ හඬ බසයේ කිසිදු මගියෙකුට අයහපත් නොවුණි. ගීත ශ‍්‍රවණය කිරීමෙන් හෝ පොතක් පතක් බැලීමෙන් හෝ තවකෙකු සමඟ සල්ලාපයේ හෝ යෙදෙමින් ගමන් සීමාව තුළදී ඔවුහූ කාලය ගත කළහ.

එහෙත් වර්තමානය වනවිට එය මහත් වූ විපර්යාසයකට භාජනය වී ඇති බව බැලූ බැල්මට පෙනෙන කාරණාවකි. තාක්ෂණයේ දියුණුවත්, අන්තර්ජාල පහසුකමත්, ජංගම දුරකතන භාවිතයත් නිසා සියල්ල ක‍්‍රමයෙන් පරිහානියට පත්වන අයුරු දක්නට ලැබේ. පොදු ප‍්‍රවාහන සේවය තුළ ගමන් ගන්නා මඟීන් මේ වන විට කෙනෙකුට කෙනෙක් නොහඳුනන, නොරුස්සන, කලහකාරී මඟීන් බවට පත් වී හමාරය. සාමාන්‍යය තද බදයක වුව ස්ත‍්‍රී  පුරුෂ ගැටුම් දැකීමට ලැබේ. මේ තරමට ම ශ‍්‍රී ලාංකිකයන්ගේ සංහිදියාව පරිහානියට පත්ව ඇත. ඉවසීම මගියන්ට මෙන්ම කොන්දොස්තර හා රියදුරු මහතාට ද නැති ගානය. කාලයට වේගයෙන් පියාසර කිරීමට ඔවුහූ නිතරම උත්සහ කරති. ඉදිරිපස හා පිටුපස බස් රථවලට පණිවුඩ යවමින් මහා මාර්ගය ඔවුන් සතු දේපලක් සේ පරිහරණය කරයි.

ස්මාර්ට් ජංගම දුරකතන මෙරට බොහෝ වැසියන් අතර සුළභව පරිහරණය කරන නව තාක්ෂණික උපකරණය යි. අන්තර්ජාල පහසුකම් සතු ලොව  ඕනෑම දෙයක් ක්ෂනිකව නැරඹීමට හැකියාව තිබීම නිසා මොවුහු මේවාට ඇබ්බැහි වී සිටිති. වර්තමානය වන විට පොදු ප‍්‍රවාහන සේවයක ගමන් ගන්නා මගීන්ගෙන් 85% පමණ ජංගම දුරකතනය මතම තම දෑස් යොමා සිටියි. ඔවුන් අවට සිදුවන්නේ කුමක්දැයි පවා ඔවුහූ නොදනිති. අවම වශයෙන් තමාගේ අනිත් පසෙහි අසුන්ගෙන සිටින්නේ කවුරුන්ද යැයි ඔවුනට වගේ වගක් නැත.

මේ සියලූ සිදුවීම් හමුවේ වර්තමාන පොදු සේවයේ දක්නට ලැබෙන මුලිකම ගැටලූව බස් රථ තුළ සවිකර ඇති නොයෙකුත් මාදලියේ ශබ්ද වාහිනී  යන්ත‍්‍ර හා ඒවායෙන් නිකුත්වන ශබ්දය යි. මේ වනවිට පොදු බස් රියකට නැගීමට පවා බොහෝ මගීන් අකමැතිය. එතරම් ම ඔවුනට මේ ශබ්දය පිලිකුල්ය. බස් රිය තුළ සිටින මගීන්ට පමණක් නොව අවට පරිසරයට ද මෙය මහත් බාධාවකි. ශබ්දය ¥ෂණය කරන තවත් මුලික අංගයක් ලෙස මේවා සැලකිය හැක. අළුයම සිට රාත‍්‍රිය දක්වාම නොනවත්වා  මහා ශබ්දයෙන් ගීත  ප‍්‍රචාරය කිරීම ඔවුනගේ කන්වලට දැන් හුරුවී තිබේ. එය දෛනික ක‍්‍රියාවක් බවට ඔවුන් පත් කරගෙන තිබේ. පෙර ශබ්ද  වාහනය වන යන්ත‍්‍ර දෙකක් සවිකළ බස් රථවල මේ වනවිට ඒවා හතරක් බවට වැඩි වී තිබේ. සමහර බස් රථවල ඊට අමතරව රිය තුළ පියස්සේද තැනින් තැන කුඩා ස්පීකර් යන්ත‍්‍ර  සවිකර තිබෙණු දක්නට ලැබේ. නව මාදලියේ ඛෑෘ බල්බ අලවා තැබීම දැන් නවීනතම මෝස්තරය යි. අඩ නිරුවතින් රඟන නලඟනන් කිහිප දෙනෙකු හා තැබෑරුමක පහසුකම් සැලසුයේ නම් මෙරට පොදු ප‍්‍රවාහන සේවය ජංගම රාත‍්‍රී සමාජ ශාලාවක් වනවාට සැක නැත. මෙය බහුලව ම දක්නට ලැබෙන්නේ පුද්ගලික බස් රථවලය.

මෙම බස් රථවල ධාවන සමය තුළ ශ‍්‍රවණය කිරීමට සලස්වන්නේ දෙසවනට අමිහිරි වර්තමාන පරාජිත පෙම්වතුන්ගේ විලාපයන් ය. සුභාවිත ගීතය හෝ ශ‍්‍රවණයට මිහිරක් ගෙන දෙන පඳරුත් සහිත ගීත බිහිවන්නේ ඉතාමත් අතලොස්සකි. ඒවාද ප‍්‍රචාරණය වන්නේ ඉබි ගමනෙනි. වර්තමානය වනවිට නවීන තරුණ පරම්පරාවගේ බින්න රුචිකත්වය එය යි. බොහොම සරළ අමු අමුවේ හඬා වැළපෙන ගිරිය කඩා ලතෝනි දෙන ප‍්‍රසංග වේදිකාවල ගීත ඇතුළත් ගීත තැටි මේ වනවිට පොදු ප‍්‍රවාහන සේවයේ කැසට් යන්ත‍්‍ර අතික‍්‍රමණය කර ඇත. පුද්ගලිකව මට නම් බසයකට නැගීම පවා පිළුකුල්ය. එහෙත් දුගී දුප්පත් ශ‍්‍රී ලාංකීය පුරවැසියෙක් වන මට ද  උරුම පොදු බස් රථම පමණකි. බස් රථවල බොහෝ පිරිස ගමන් කරන්නේ මේ ඝෝෂාකාරී ශබ්දය දරා ගැනීමට නොහැකිව බව මා පුද්ගලිකවම දන්නා කාරණයකි.

එහෙත් අපට එයට විරෝධ විය නොහැක. විදෙස් රටවල මෙවැනි කටයුතුවලදී මගියන්ගේ පක්ෂය ගනිමින් කතා කරන ප‍්‍රබල සංවිධාන තිබුණත් මෙරට දේශපාලනික කරලිය තුළ ඒවාට ඉඩක් නොමැත.

මෙම තත්ත්වය සැබෑවටම තේරුම් ගත් බස් හිමිකරුවන් ශබ්ද දුෂණය කරන කැසට් යන්ත‍්‍ර  වෙනුවට බස් රිය තුළම කුඩා පුස්තකාලයක් පවත්වාගෙන යාමට කටයුතු සලසා ඇති බව සමහර ප‍්‍රදේශවලින් මේ වනවිට වාර්තා වී ඇත. වෙසෙසින්ම මෙය අගය කළ යුතු ක‍්‍රියාවකි. සාහිත්‍යය කෙරෙහි ඇල්මක් නොදක්වන ගීතයක් රසවිදීමට පවා නොදැනෙන මෙවන් අවදියක ඔවුහූ සත්පුරුෂයෝ වෙති. ශ‍්‍රී ලංකාවේ සියලූම පොදු බස් රථ සඳහා ම මේ ක‍්‍රියාව ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූවත් රජය සතු බස් රථවල හෝ මෙය ක‍්‍රියාත්මක කරන්නේ නම් මගියන්ට කොතරම් පහසුවක් වේවිද?. එහෙත් මෙවැනි දේ පිළිබඳ රජය දැනුවත් බාවයක් ඇත්දැයි අපි නොදනිමු. ළමා මනසේ චින්තනය මේ වනවිට මිය යමින් පවතී. සියලූ සිතුම් පැතුම් ගූගල් සමාගමට භාර දී ඔවුහු බලා සිටිති. සමහරවිට බසයකට ගොඩවන වත්මන් තරුණ තරුණියන්ට මේ ඛේදවාචකය නොපෙනෙන්නේ ඔවුන්ද විසිහතර පැයේම කන්වලට ඇබ ගසාගෙන සිටිනා නිසාවෙනි. බාහිර ලෝකයේ සිදුවන දේ පිළිබඳ ඔවුනගේ දැනුවත් භාවය ඉතාමත් අල්පය. ස්මාර්ට් දුරකථනය මේ වනවිට දෙමව්පියන් හා සියලූ භාරකාරත්වය පවරාගෙන අවසන්ය.

අධික ශබ්දය මානසික පීඩනයකි. ගීතය මොන ආරක වුව ද එය බසය තුළට පමණක්වත් සීමා වූයේ නම් යහපත් ය. එහෙත් එයද සිදුනොවේ. කන් බෙර දෙදරා යන තරමටම ඒවා ඉහළය. අනාගතයේදී මෙම ශබ්ද උපාංග තව තවත් දියුණු වෙනවා මිසක පහළට ඇද නොවැටේ. මේ නිසා අනාගතයේදී මේ තත්වය තවත් උග‍්‍ර අතට පත්වනවාට සැක නැත. එසේ තව දුරටත් මෙයම සිදුවන්නේ නම් පොදු ප‍්‍රවාහන සේවාවලින් ගමන් ගන්නා අසරණ මගීන් ඉක්මනටම බිහිරන් වන කාලය අත ළගය.

අශෝක කුලතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.