lakbima.lk

පුතෙකුගේ හෘද සාක්ෂිය

එදා පාන්දර තාත්තට අමාරු වුණා. පළවෙනි වතාවට මට ජීවිතේ මරණීය වේදනාව දැනුණා. ගෙදර හැමෝම යටිගිරියෙන් කෑ ගහනවා. අහළ පහළ ගොඩක් දෙනා තාත්තගෙ කාමරේට පිරුණා. මම තාත්තගෙ පපුවට අත තියන් ඉද්දි තාත්තා තාත්තා ව අරන් ගිය බව මට දැනුනා. තේරුණා. අනිත් අයටත් දැනෙන්නැති. ඒත් විශ්වාස කරන්න නැතුවැති. එහා ගෙදර පවුලේ වාහනය ක්ෂණයෙන් ගිලන් රථයක් බවට පත්වුණා. නාරම්මල ඉස්පිරිතාලෙට හරවද්දි ම තියන වංගුව ගනිද්දී ම බල්ලෙක් වාහනේට හැප්පුණා. වාහනේ රෝහල් පාරට දාන තප්පරේට මම පිටිපස්ස හැරිලා බැලූවා. බල්ලා නැගිටලා අපූරුවට ගියා. අයි සී යූ එකට තාත්තා ව දැම්මා. ඩොක්ටර් නාඩි ඇල්ලූවා. පපුව තුන් හතර සැරයක් තෙරපුවා. ඩොක්ට මම දිහා බලලා කටේ තොල් දෙපැත්තට පෙරලලා ඔළුව දෙපැත්තට වැනුවා.

”හොස්පිට්ල් ගේන්න විනාඩි 20කට විතර කලින්”

නර්ස් කෙනෙක් යාන්තමින් කිව්වා. මේ ලෝකෙ තියන වේදනාත්මක ම හැඬුම සුදු අම්මගේ මුවින් පිට වුණා. මම සුදු අම්මා ව බඳා ගත්තා. සුදු රෙද්දෙන් වහලා තිබුණු තාත්තගෙ නළල හොයාගෙන ගිහින් සුදු අම්මා අවසාන වතාවට සිප ගත්තා.

නාරම්මල හොස්පිට්ල් එකේ ඞී එම්  ඕ අලූත් ලේඩි කෙනෙක්. එයාට මිනිය කපන්න බෑ කිව්වා. අලූත් ලූ. මෝචරිය පැත්තට මම තනියම ඇවිදගෙන ගියා. මැරුණු මිනී දැම්මත් ගොඩක් පරෙවි පැටවු ඉපදෙන සහ ජීවත් වෙන තැනක් ඒක. අඩි සද්දෙට උන් තටු ගහලා බිතක්කනකට ඉගිලෙද්දී අමුතු ගුප්ත බවක් දැනුනා. ටිකකින් මෝචරිය ඇරියා. මම තාත්තාගේ මාපොට ඇඟිල්ලෙන් ඇල්ලූවා. පස්සෙ අත. එන්න එන්න ම සීතල වෙනවා. මම එළියට ඇවිත් ළඟ තිබුණු ගහක මුලක් උඩින් ඉ`දගෙන කකුල් අතරින් පොළොව දිහා බැලූවා. පොලිසියේ මාමා කෙනෙක් ‘‘යං පුතා’’  කියල පිටට තට්ටු කරා. පොලීසියෙන් කට උත්තර ගත්තා. ඒ මහත්තයට  ඕන වුණේ ස්වාභාවික මරණයක් ද කියල දැනගන්න. මේ සම්බන්ධයෙන් මොනා හරි කියන්න දෙයක් තියනවා ද ? සැක කරන්න එහෙම කවුරුත් නෑ නේ ? මට කියන්න හිතුණා. මට සැක තාත්තා ව කියල. මොකද එයා බෙහෙත් බිව්වේ නෑ.

තාත්තා ව කුරුණෑගල යැව්වා. ඞී එම්  ඕ වාර්තාව ලිව්වා. පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමෙන් වළකින්න කියල ගහලා තිබුණු බෝඞ් එක ළඟින් කෙනෙක් එළියට ආවා.

”ඇතුළෙ බොඩි එක කාගෙද ?” මම ඉස්සරහට ගියා.

”ඇස් දන්දෙනව ද ?” ලොකු තාත්තා දුවගෙන මම ළඟ ආවා. 

”අප්පේ පුතේ. ඇහැක් දන් දෙනවා කියන එක මහා පුණ්‍ය කර්මයක්. හා කියන්න.” මම බෑ කිව්වා.

”ඇස් ගනිද්දී කපලා කොටලා ගන් නෑ. කොහොමත් දැන් බොඩියේ පාට්ස් තැන් තැන්වල. ඇස් දන් දෙනව නම් කියන්න. එතකොට මිනිය ළඟින් තියන්න අක්ෂිදාන සංගමයෙන් බෝඞ් එකකුත් දෙනවා.”

අර මනුස්සය ආයෙත් කියවනවා. මම බෑ කිව්වා. තාත්තා බලපු ඇස් දෙකෙන් වෙන කෙනෙක් ලෝකෙ බලනවට මම කැමති නෑ. ඒ ‘‘රතු පාට ඇස් ”

ඒ වැඩ ටික ඉවර කරලා මල්ශාලාවට එද්දී ගමේ ප‍්‍රභූ කෙනෙක් අඩූ ම ගානට තියන පෙට්ටියක්  ඕඩර් කරලා. ඒක තාත්තා ව තියෙන්න සුදුසු එකක් නෙමෙයි. මම ඊට වඩා හොඳ එකක්  ඕඩර් කරා.

”නුවර එළියෙ මලූත් දානව ද මල්ලි ?”

”එපා. තාත්තා ළඟ කොහොමත් මල් සුවඳ තිබුණා අයියෙ. අද විතරක් නැති වෙන්න විදියක් නෑ”

ඒත් මිනිය ගෙදරට ගේද්දි තාත්තා ව නුවරඑළි මල්වලිනුත් සරසලා තිබුණා. අම්මා මාව බදාගෙන ඇඬුවේ අපි තනිවුණා පුතේ කියල. මල්ලි කෑ ගගහා දුවන්න හදන එක නවත්ත ගත්තෙ එහා ගෙදර නැන්දා. නංගිට වැඩි තේරුමක් නෑ. ඔය විදියට මළගෙදර වැඩ කටයුතු අවසන් වුණා.

මම උසස්පෙළ ලියන්න තව මාස තුනයි. වම් ඇහේ දකුණු පැත්තට වෙන්න නඟනයක් ආවා ඇහේ එළියෙන් නෙමෙයි ඇතුලෙන්. කෙම් ක‍්‍රමවලින් සුව වෙයි කියල හිතුවත් එහෙම උනේ නෑ. ඇස් අරින්න බැරි තරමට නඟනය වර්ධනය වුණා. අවසානේ ඒක මස් වැදැල්ලක් වුණා. ගමේ කට කතා පැතිරෙන්න ගත්තා පරණවත්තෙ ලොකු ළමයා තාත්තගෙ ඇස් දන් දුන් නැති නිසා ඇහේ නඟනයක් ඇවිත් ඇහැ අරින්න බෑ කියන තැන ඉදන් ඇහැ කණ වීම දක්වා ඒ කටකතාව ප‍්‍රවර්ධනය වෙලා තිබුණා. ඇස් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට පෙන්නලා පොඩි සර්ජරි එකකින් නඟනය අයින් කරා. කණ්ණාඩිය බලන මොහොතක් පාසා මට පේනවා තාත්තාගේ ඒ රතුපාට ඇස්.

 රන්දික රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.