lakbima.lk

මතකයන් තියා යන සුන්දර මිනිසා

උදේ ඉඳන් පොළොව තෙමපු අඩන අහස ගැන නොහිතාම සුපුරුදු පරිදි ෂෝට ගහගෙන මගේ බාටා දෙක දාගෙන එළියට බැස්සේ යෙහෙළියක් මුණගැහෙන්න යන්න. වැස්ස වෙලාවට එළියට බහින්න ඒ වහින වැස්සට තෙමෙන්න මම කොච්චර ආසද කියනවනම් අපේ අම්මා කියන්නෙත් මම ගෙම්බෙක් වෙන්න ඇති කියලා ගිය ආත්මේ. කොහොමෙන් කොහොම හරි මම අඩි උස්සලා ගියේ යෙහෙළිය හමුවෙන්න දියත දිහාවට. එතන එක පෙළට සුදු පාට වහලවල් තියෙන කඩ පේළිය. සතියේ දවස් වලට කඩ නැති නිසා ඒ තැන් දියත පහු කරන් යන බොහෝ අයට විඩාව නිවාගන්න හෙවන දෙනවා. මමත් ගොඩක් වෙලාවට එතනට ගිහින් පිටුගණන් කුරුටු ගාන්න පුරුදු වෙලා ඉන්නවා. 
අදත් එතනට ගියේ එහෙම පුංචි බලාපොරොත්තුවකුත් හිතේ තියාගෙන. නොහිතපු විදිහට එක පාරට මහා හුළඟක් එක්ක වරුසාවක් කඩා වැටුණේ දියතේ දෙදා ජදමරඑ එකේ හිටපු කාටත් දෙපාවල හයිය මතක් කරන ගමන්. හතර අතට හුළඟට කැරකෙන වැස්සෙන් සුදු වහලේ යට හිටපු අපිට ලොකු ගැටලූවක් නැතත් හතර පැත්තෙන් වටවෙලා නොතිබ්බ නිසා හිරිකඩ වලින් බේරෙන එක සැහෙන්න අමාරු වුණා. කෝකටත් සූදානම් සරීරෙන් ගෙදරින් එළියට බැස්ස මගේ අතේ, ආච්චි ගේ භාෂාවෙන් මහා පතරංග ජාතකේ වගේ ලොකු කුඩයක් තිබ්බා. වැස්සේ තෙමෙන්න ආස මම කුඬේ දිගෑරියේ මගේ පාළු මකපු ජංගමේ හිරිකඩින් බේරගන්න. 
මම ජංගමේ බේරගන්න හිරිකඩ එක්ක ඔට්ටු වෙද්දී සටන අස්සෙන් දැකපු කෙනෙක් නිසා මගේ හිත එක තැන නැවතුණා. මම වැස්ස මැද්දෙම නොදැනීම ඒ පැත්තට යැවුණා. පුංචි කාලේ ඉදන්ම මම හරිම ආදරේ කරපු දෙන්නෙක් තමයි මගේ සීයලා දෙන්නා. මොකද පොඩි කාලේ ඉදන් අම්මා වැඩට ගියාම මාව බලාගත්තේ කෝට්ටේ ආච්චි සීයයි. ආච්චි බනිද්දි මාව බේර ගන්නේ, තව අම්මට හොරෙන් කඩචෝරු ගෙනත් දෙන්නෙත් කෝට්ටේ සීයා. මම ගමේ යන්නත් බලන් ඉන්නේ ගොඩක්ම ගම්පහ සීයව බලන්නම තමයි. මොකද අපේ සීයට කඩයක් තිබ්බා ඒකේ හැමදාම උදේට ගේන සීනි බනිස් කන්න මම මාර පෙරේතයි. තව එහෙ තිබ්බ චොකලට් රෝල් එහෙමත් ඉක්මනට ඉවර වෙන්නේ මං ගියහම තමයි. ඒ වෙනුවට දවල්ට මම සීයා නින්දක් එහෙම දාන්න ගිය වෙලාවට , පත්තරේ බලන වෙලාවට කඬේ බලාගන්න බිල් එහෙමත් ලියන්න මම පුරුදු වෙලා හිටියා.
වැස්සෙන් සෑහෙන්න තෙත බරිත වෙලා හිටපු ඒ සීයා දැක්කාම මටත් ගමේ සීයා මතක් වුණා. මම ඉක්මනට ගිහින් සීයා හිටපු තැනට කුඬේ ඇල්ලූවා සීයාවත් ටිකක් හරි වැස්සෙන් බේරගන්න හිතාගෙන. ගමේ සීයගේම හැඩ හුරුව තිබ්බ අලූත් සීයත් මාත් එක්ක හිනා වුණේ හරිම ආදරණීය විදිහට. කොහොම හරි අන්තිමට වැස්සත් පරාජය භාර අරගෙන හෙමිහිට වලාකුළු අකුලාගෙන යන්න ගියේ සද්දයක් නැතුවම. පතරංග කුඬේ අකුළලා එකේ තිබ්බ වැහි වතුර විසි වෙනකම් හයියෙන් එහාට මෙහාට ගැසුවේ පොඩි කාලේ ඉදන් තිබ්බ පුරුද්දට. ඒක දිහා බලන් හිටපු සීයා මට කතා කළා. මගෙන් විස්තරත් ඇහුවා. මමත් ඉතින් උත්තර දුන්නා. හොඳට සිංහල විතරක් නෙමෙයි ඉංග‍්‍රීසිත් හොඳට කතා කරන අලූත් සීයා පළාත් සභාවේ ලොකු තනතුරක් දරපු කෙනෙක් කියලා විතරමයි මට කිව්වේ. 
සීයා ලොකු ගමන් මල්ලකුත් තියාගෙන හිටිය නිසා මම ඒ ගැනත් හෙමිහිට අහන්න අමතක කළේ නැහැ. සීයා එයාගේ පරණ මිතුරෙක් එක්ක දඹුල්ලේ යන්න ආවා කියලයි මට කිව්වේ. කොහොමෙන් කොහොම හරි 10.30 ට එනවා කිව්ව යෙහෙළිය එනකොට 1ටත් කිට්ටුයි. ඉතින් අලූත් සීයා එක්ක කතාකරන්න කුළුපග වෙන්න  ඕනෙ තරම් වෙලාව තිබ්බා. අපි කතා නොකළ මාතෘකාවක් නැති තරම්. චිත‍්‍රපටි ගැන, වාහන ගැන, යාළුවො ගැන විතරක් නෙමෙයි කෙල්ලෝ ගැනත් අපි අත්දැකීම් බෙදාගත්තේ හරියට කාලෙක ඉඳන් දන්නා අඳුනන අයවගේ. සමහර විහිළු වලට මහා සද්දෙන් අපි හිනා වුණේ හරියට එක වයසේ අඹ යහළුවෝ වගේ, මට මගේ ගමේ සීයා එක්ක කොට්ටම්බා ගහ යට ඉඳන් කරන කතාබහ මතක් වුණා. අලූත් සීයා කියපු විදිහට මගේ නමේ තේරුම නුවණ ඇති , පසළොස්වක පුරහඳ වගේ අහිංසක කියන එකලූ. ඒකට මටත් බකස් ගාලා හිනා ගියේ  ඕක කියන වෙලාවේ මගේ අතිජාත පාප මිත‍්‍රයෙක් එහෙම හිටියනම් අහන්න වෙන කුණුකතා ටිකයි චරිත සහතික ටිකයි ගැන මතක් වෙලා.
දන්නෙම නැතුව පැය තුනකුත් ගෙවිලා. ඒක දන්නෙත් පිටත් වෙන්නේ දැන් බව කියමින් මිතුරිය ගත්ත ඇමතුම ට පිළිතුරු දෙන්න ජංගමේ දිහා බලපු නිසා. මිතුරිය එයාට පේන්න ඉස්සරහට එන්න කිව්ව නිසා ඉක්මනට එන්නම් කියලා කුඩෙත් අරගෙන ටිකක් ඉස්සරහට අඩිය තිබ්බා. මිතුරිය ආවට පස්සේ අපි කතා බහ කරන් යනකොට ඇහැ කොනකින් මම සීයා දිහා බලාගෙන ම තමයි හිටියේ. සීයට ආපු ඇමතුමකට පිළිතුරු දෙන ගමන් සීයා හෙමිට නැගිටලා යන්න පිටත් වුණා. හරියට මාව අමතක වෙලා වගේ. ” සමහර විට යාළුවා එන්න ඇති”, මගේ හිත එහෙම කිව්වා. 
”සීයේ යනවද ? ”, ළඟ හිටිය මිතුරිය ගැනත් අමතක වෙච්ච මම වචන එකතු කරන් පුළුවන් උපරිම සද්දෙන් ඇහුවා. 
”සීයට ඇහුණේ නෑ චානුක”, මගේ මිතුරිය මට කිව්වා.
ළඟට ගිහින් වැඳලා සීයත් මගේ සීය වගේමයි කියන්න මට  ඕනේ උණාට, මට නැගිට ගන්න බැරි වුණා. මම සීයා යන දිහාව දිහා ටිකක් බලන් හිටියේ මම කලින් කතා කරපු එක අලූත් සීයටවත් ඇහෙයි කියලා හිතාගෙන. අඩුම තරමේ අලූත් සීයාවත් මං ගාව නවතීවි කියලා හිතේ තිබ්බ පුංචි ආත්මාර්ථකාමී හැඟීම නිසා වෙන්න ඇති.
ගමේ සීයාගේ කඬේ දකිනකොට, ආච්චිව දකිනකොට, එහෙ ඉන්න හැමෝගෙන්ම කඳුළු හංගගෙන ඉන්න වෙන නිසා වෙනදට ගමේ යන්න පොරකන මම ගමේ යන්න දැන් අදිමදි කරනවා. මිතුරියත් එක්කත් කතා බහ ඉවර කරපු මම සීසීකඩ විසිරෙන හිතත් වත්තම් කරගෙන bus halt එක දිහාවට යන්න හැරුණා...
 
චානුක නදුන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.