lakbima.lk

පිපෙන්නට ඉඩ දෙන්න ළමයින්ට ආදරයෙන්

මේ කතාව මම අද පටන් ගන්නම් පුංචි අත්දැකීමකින්. හුඟක් කල් නෙවෙයි, මේ ඊයෙ පෙරේදා වෙච්ච දෙයක්.
”මලිඳු” කෝ අනේ පැන්සල් පෙට්ටිය. පැන්සලක් මකනයක්වත් නෑ.  අනික අද තියෙන්නෙ ගණිතයයි , සිංහල අකුරුයි.  ඔයා ඇයි මේ ඉංග‍්‍රීසි පොත් ටික උස්සගෙන ඇවිල්ලා.  කෝ දරුවො පන්ති කාඞ් එක.  මොනවත්ම නැතුව මෙහෙම පන්ති ඇවිත් හරියනවද ආහ්..?
මම එහෙම මලිඳුට සැර උනේ එක දවසක් නෙවෙයි. දවස් දෙක තුනක්ම මේ දේ බලන් ඉඳලා ඉඳලා බැරිම තැනයි. ඒත් ඒ වෙලෙත් වෙනදා වගේ ඒ පුංචි එකා නිශ්ශබ්දයි.  කරපු එකම එක දේ හරිම බයාදු විදියට ඇහි පිල්ලම් නොගහා මගෙ දිහා බලාගෙන හිටපු එක විතරයි. ඒ ඇස් වල කඳුලූ.. පොඩි එකෙක්ගෙ කඳුලූ කියන්නෙ ගුරුවරියක් කඩාගෙන වැටෙන ප‍්‍රධානම තැනක්.  ඉතිං ඒ ධර්මතාවය මටත් පොදුයි. මං සැර බාල කරලා ඒ ඇස් වලට එබුණෙ තවමත් උත්තරයක් නැතුව කඳුලූ මැද්දෙන් මගෙ දිහා බලාගෙන ඉන්න මලිඳුගෙ පුංචි අතකින් අල්ලගෙන.
”අඬන්න තරම් ටීච සැර උනේ නෑනෙ මලිඳු.. ඇයි හරියට බඩු ගේන්නෙ නැත්තෙ. අම්මා පොත් බලලා නෙවෙයිද දාන්නෙ. ඉන්නකො අම්මා අද ගෙනියන්න ආවම මං අහන්නම්කො”
තවමත් නිශ්ශබ්ද කඳුලූ වැල් ඒ පුංචි කම්මුල් දිගේ පහලට යනවා මිසක් මලිඳුගෙන් ඉකියක්වත් පිට වුනේ නෑ. සාමාන්‍යයෙන් ක‍්‍රියාකාරි, හරිම හුරතල් දරුවෙක් වෙච්ච මලිඳුගෙ මේ හැසිරීම මට ගෙනාවෙත් ලොකු ප‍්‍රශ්නාර්ථයක්.  ඇයි මේ ?
ඒත් තව විනාඩි දෙක තුනකට පස්සෙ මලිඳුගෙ කටහඬ මට ඇහුනා..
”අම්මා ගෙනියන්න එන්නෙ නෑනෙ ටීච.. එන්නෙ ලොක්කයියා.. අම්මා ගෙදරින් ගිහින්නෙ..”
ඒ විදියට මලිඳු ආරම්භය ගත්තෙ අර පුංචි හිතේ හැංගිලා තියෙන ලොකුම ලොකු කතාවකයි.  පුංචි කටත් උල් කරගෙන ඇස් වල කඳුලූ පුරවගෙන මලිඳු ඒ කතාව කියන්න ගත්තා. මලිඳු කියන විදියට අම්මට තාත්තා හොඳටම ගැහුවට පස්සෙ අම්මා ගෙදරින් යන්න ගිහින්. ඒ වෙද්දිත් සති දෙකක්. පුංචි මලිඳුගෙ පවුලෙ ඉන්නෙ එයයි අයියලා දෙන්නයි.  වැඩි වයසක් නෑ. මලිඳු තවමත් පෙර පාසල්. පොඩි අයියා 9 වසරෙ. ලොකු අයියට අවුරුදු 
16 යි.
අනිත් ළමයින්ට වැඩ දීලා මම මලිඳුව ළඟට ගත්තෙ ඒ කතාව මුල ඉඳන්ම දැනගන්න  ඕනි නිසයි. ටිකෙන් ටික කතාව කියාගෙන යද්දි ඒ ඇස් වල තිබුනු කඳුලූ වියැකිලා ගිහින් දැන් දැන් එයා මට කතාව කියන්නෙ හරියට ආසාවෙන් බලපු කාටුන් එකක් කියනවා වගේ. ඇස් ලොකු කරගෙන අත් වලින් අංගචලන පෙන්වන ගමන් හඬ උස් පහත් කරනවා.
”තාත්තා අම්මගෙ කොණ්ඩෙන් මේම හයියෙන් අල්ලගෙන මේම බිත්තියෙ ගහගෙන ගහගෙන ගියානෙ ටීච”
මලිඳු එයාගෙම කොණ්ඩෙන් ඇදගෙන බිත්තියෙ ඔලූව වද්දගෙන ඒ කතාව මට පැහැදිලි කරද්දි ඒ වචනයක් වචනයක් ගානෙ මගෙ පපුව හිරවුනා කියන්න මලිඳු නොදන්නවා ඇති.
”ඉතිං මලිඳු අම්මට ගහන්න එපා කිව්වෙ නැද්ද... අයියලා ගෙදර හිටියෙ නැද්ද...”
ඒ මං ඊ ළඟට අහපු ප‍්‍රශ්නය.
”නෑනෙ.. ලොකු අයියයි පොඩි අයියයි මූදෙ මාදැල් අදින්න ගිහින්නෙ. මං විතරයි හිටියෙ.. ගහන්න එපා කියලා ඇඬුවා ටීච මං.. ඒත් තාත්තා මාවත් අල්ලා විසික් කලානෙ. මේ තූලත් උනා...”
කකුල් දෙකේම දනිස් දෙක අතගාලා මට පෙන්වන ගමන් මලිඳු ඒම කිව්වා. ඒ දනිස් වල සීරිම් පාරවල්.
මං ඒ දනිස් දෙක අත ගෑවෙ මගෙ පපුවත් හීරිලා යද්දි. මේ තාම පොහොට්ටුවක්. පිපෙන්න හිතලවත් නැති හරිම පිවිතුරු පොහොට්ටුවක්. ඒ හිතට මේ දේවල් බර වැඩි ඇති. තවමත් මේ අම්මගෙ උණුහුම හොයන වයස. අවුරුදු විසිගානක් ගෙවිලා ගියත් අදටත් ගෙදර දොරෙන් අම්මේ ගාගෙන ඇතුළට එන්න පුරුදු වෙලා ඉන්න මමත් තවමත් අම්මගෙ උණුහුම හොයනවා. අම්මගෙ තුරුල හොයනවා. ඒත් මලිඳු අද පන්ති ඇරිලා යන්නෙ අම්මව පේන්න නැති ගෙදරකට. අම්මේ කියලා කතා කලත් අම්මා පේන්න එන්නෙ නැති ගෙදරකට.
සති දෙකම මලිඳු පෙර පාසල් ගිහින් නැහැ කියලා මම දැනගත්තෙ මලිඳුගෙ ලොකු අයියගෙන්.
”මල්ලිව ලෑස්ති කරගෙන අරං යන්න තේරෙන්නෙ නෑ ටීච. එයාගෙ පොත් දන්නෙත් නෑ. තාත්තා ගෙදරත් නෑ හැමදාම බොනවා..”
ඒ කතාව තවත් පැත්තක්.
ඒත් මලිඳු තනියම පොත් දාගෙන පුලූවන් විදියට මගෙ පන්ති එනවා. ඒ ආදරේ හොයාගෙන වෙන්න ඇති.  මට දැනුනේ ඒමයි.
මේ පුංචි හිත් මේවා කොහොම දරාගන්නවා ඇතිද. ලොකු හිත් වලට වගේ හැමදේටම ඔරොත්තු දෙන්න මෙ පුංචි හිත් වලට බැහැ. හරි පරිස්සමෙන් ඔප මට්ටම් කරන්න  ඕන මේ හිත් වලට අනවශ්‍ය මතකයක් කා වැදුනොත් ඒ කා වැදෙන්නෙ සදහටමයි. ආයෙම ඒ දේ වෙනස් කරන්න අමතක කරවන්න සෑහෙන්න අමාරුයි, අසීරුයි.
කාටද ප‍්‍රශ්න නැත්තෙ.  මේක ලියන මට වගේම මේක කියවන ඔයාටත් ප‍්‍රශ්න ඇති කන්දක් තරමට. ඒත් ඒ ප‍්‍රශ්න හැම එකටම විසඳුම් නියතයි. පිළිතුරක් නැති ප‍්‍රශ්නයක් හට නොගන්නා සේම ප‍්‍රශ්නයක් නොමැතිව පිළිතුරක් සොයන්නත් බැහැ.
ඔයාටත් ඉන්නවා ඇති හය හතර නොදත් අහිංසකයෙක්. ඒ නිසා ක‍්‍රියාකලාපය වචන භාවිතය ගැන අනිවාර්යයෙන් ම දෙපාරක් තුන් පාරක් නෙවෙයි සිය දහස් පාරක් හිතලා කටයුතු කරන්න. පුංචි උන් කියන්නෙ පුංචි උන්ට. ඒ හිත් තලන්න නරකයි. උන් හොයන්නෙ ආදරේ. මලිඳුගෙ කතාවත් ඒ වගේ..
සැලකිලිමත් වෙන්න. ඒ පොහොට්ටු බලෙන් පුප්පන්න අපිට බෑ. ඒවා ඉබේ පිපෙන්න  ඕන. ආසාවෙන් හරිම නැවුම්ව. එතකම් ඒවා ආරක්ෂා කරගන්න.
 
හිරූ ප‍්‍රනාන්දු (දිගැසි)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.