lakbima.lk

ඔයත් ඇත්ත ජීවිතේ දී හැබෑම ‘‘පොරක්’’ වෙන්න

අත් වැල් බැඳගෙන එකිනෙකා වෙලාගෙන පවත්වගෙන යන ආදර කතා අද සමාජෙ ඇතුළෙ නැත්තට ම නැති තරම්. ආදරයත් දැන් රැඩිකල්... නවීකරණය වෙලා...
අද සමාජයේ ‘‘ආදරය” කියන හැඟීමත් දැන් දැන් අර සෞම්‍ය ගතිය අඩු වෙලා රැඩිකල් ගතිය වැඩි වැඩියෙන් උලූප්පලා පෙන්වන තැනට ඇවිත්. ඇවිත් නෙවෙයි අපි විසින් ම එතනට ගෙනත්.  ඔය කාරණය දිගේ ඉස්සරහට ම යනකොට අපිට තදින් ම ග‍්‍රහණය වන තැනක් තමයි වර්තමානයේ තරුණ ප‍්‍රජාව. මෙයට පිරිමි හා ගැහැණු පාර්ශව දෙක ම අයත් වනවා. තමන් ‘‘රැඩිකල් පොරක්” කියලා රටට ලෝකෙට, සමාජෙට පෙන්න ගන්න, සමාජයේ කැපී පෙනෙන රැඩිකල් චරිතයක් වෙන්න අපේ වර්තමාන තරුණ තරුණියො දැන් දැන් සෑහෙන අරගලයක යෙදිලා. ඒ ‘‘රැඩිකල් උණ” ට මේ කතා කරන මමත්, කියවන ඔබත් දෙගොල්ලො ම අපි නොහිතන මුත් නොහිතන මානෙකින් හසුවෙලා. ඒකත් ඇත්ත..
මේ රැඩිකල් කතා අස්සෙ පිරිමි පාර්ශවය ගත්තම ඒ කියන්නෙ නූතන තරුණයා ගත්තම , ඔරුබා එක තමයි කොණ්ඩෙ තරමක් දිගට වවලා, රැවුලත් ටිකක් දිගට වවලා, ඉරුණු කලිසමක් ඇඳලා, අයන් නොකරපු පොඩි වෙච්ච ඇෙඟ් සයිස් එක මීඩියම් නම් කොහෙත්ම නොගැලපෙන එක්සල් සයිස් එකේ ශර්ට් එකක් ඇඳලා, දල්වා ගත්තු සිගරට්ටුවක් අතේ තියාගෙන ෆොටෝ එකක් දෙකක් ෆේස්බුක් අප්ලෝඞ් කරන එක. ඔතනට තව, අතේ බැඳගෙන ඉන්න ඇට පොටවල් දෙක තුනකුත් බෙල්ලට දාගෙන ඉන්න කලූ නුලකුත් තියෙන්න ම  ඕන. ඒක තමයි දැන් අපේ තරුණයා දකින රැඩිකල් චින්තනය. සමාජය විසින් තරුණයා යොමු කරලා තියෙන රැඩිකල් චිත‍්‍රය. ඔවුන් කියන විදිහට ඔවුන් චේ ගුවේරගේ, බොබ් මාලිගෙ අනුකරණයක්. හැබැයි ඔය රැඩිකල් තරුණයන් දහ දෙනෙක් අරගෙන ඔවුන් අනුකරණය කරන චේ ගුවේරගෙ, බොබ් මාලිගෙ හෝ වෙනත් චරිතයක දර්ශනය මොකක්ද කියලා අහන තැනකදි බොහෝ විට ඔවුන් නිරුත්තර වෙනවා. හේතුව ඔවුන් ඒ හඹා යන්නේ පුද්ගලයා හෝ පුද්ගල චින්තනය නොව ඔවුන්ගෙ බාහිර පෙනුම විතරක් ම වීම.
අපි කුඩා කාලේ අපේ දෙමව්පියෝ අපිව හදන්නෙ සමාජයේ හොද තැනකට අපිව අරගෙන යන්න. පුංචි කාලෙ පන්තියෙ ටීචර් ඇහුව ම අපි කියන්නෙ ලොකු වෙලා අම්මා වගේ වෙනවා, තාත්තා වගේ වෙනවා කියලා. කාලෙත් එක්ක අපි වැඩිහිටි වෙද්දි ඇත්ත, අපිට තේරෙනවා අපිට අම්මා වගේ වෙන්න බැහැ, අපිට තාත්තා වගේ වෙන්න බැහැ කියලා. අපි අපි ම වෙනවා. අපි තෝරගන්නවා ගමන් මාර්ගයක්. සමහර වෙලාවට අපිට තේරෙන්නෙ නෑ අපි මේ යන්නෙ හරි පාරක ද, අපිට වැරදිලා ද කියලා. ඒත් අපි යනවා. අපි කැමතියි අවධානමක් ගන්න. දැන් ඔබ කියයි අවධානමක් නැතුව කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නෙ කියලා. එතකොට අපි දැන දැනත් අපිට වරදින තැනක් එනවමයි කියලා අපි අපේ ජීවිතේ තවත් ඒ අවධානම ඇතුළෙ මෙහෙයවන්න ම  ඕනද? වර්තමානයේ අපේ තාරුණ්‍යත් ඒ වගේ. හොඳින් ම දන්නවා මෙතනින් අපිට වැරදෙයි අපි අපි තුළම අතරමං වෙයි කියලා. ඒ උනත් අතාරින්න ලෝභයි. අපිට  ඕන අනිකාව අනුකරණය කරන්න. අපිට  ඕන අනිකා දුවන ගමන ම හතිදාගෙන දුවන්න. මම රැඩිකල් කියලා කියාගන්න ගොඩක් අය අද එතන. මතක නෑ අපිට වගකීම් තියෙනවා කියලා. මතක නෑ අපිට මෙහෙවරක් තියෙනවා කියලා. සිගරට් එකට, කුඩු ටිකට ගංජා ටිකට ආත්මය පවා අපි දැන් පාවා දෙන්න ලෑස්ති වෙලා. ඉතිං තවත් අනාත නිවාස, වැඩිහිටි නිවාස රට තුළ වැඩිවෙන එක අහන්නත් දෙයක්ද..?
ඔතනදි ගැහැණු පාර්ශවය කියලත් විශේෂයක් නැති තරම්, කොටට ඇඳලා ක්ලබ් එකකට යන එක, පෙම්වතුන් දෙතුන් දෙනෙක් ඇසුරු කරන එක, මත්පැනට හුරුවෙලා  ඕනවටත් වඩා ප‍්‍රමාණයටත් වඩා සමාජශිලි වන එක තමයි ‘‘පොශ්” කියන්නෙ කියලා අපේ තරුණියො දැන් හිතන්න අරගෙන. ඒක ඛේදවාචකයක් වෙන්න පටන් අරන් තියෙන්නෙ අපිටත් නොදැනිමයි.
අද ගැහැණු පිරිමි විශේෂයක් නැතුව, බෙදීමක් නැතුව ‘‘මතට තිත වෙනුවට තිතට මත” කියන සංකල්පය රට තුළ පිහිටුවන්න පටන් අරගෙන.  මනුස්සකම් වලින් පෝෂණය වෙන්න  ඕනේ සාමජය අද මත්ද්‍රව්‍ය වලින් පෝෂණය වෙන්න පටන් අරගෙන. අපි නොදකින පැතිකඩක ඇත්තම තත්ත්වය තමයි ඒ.
සාරධර්ම කියන දේවල් පිරිහෙන්න අරගෙන. මනුෂ්‍යත්වය කියන දේ වියැකෙන්න අරගෙන. සමාජය ගැන, සමාජශීලිත්වය ගැන ලොකු කතන්දර එහෙමත් නැත්නම් අපේ අය කියන විදියට ‘‘පොර ටෝක්” සයිබර් අවකාශය තුළ මුදාහරින අය තමන්ව තමන් විසින් ම විශාල චරිතයක් කරලා පෙන්වන්න පටන් අරගෙන. ඒත් ඔවුන්ගෙ ඇතුලාන්තය තනිකරම පුස්සක් පමණක් බව දකින්න පුලූවන් වෙන්නෙ ඔවුන්ගෙ සයිබරයෙන් පිට පියවි ලෝකය තුළ යි. වර්තමානයේ තරුණයා, තරුණිය කියන හුඟක් චරිත ඇත්තට ම චරිතයක් වෙන්න උත්සාහ කරන්නෙ සයිබර් අවකාශය තුළ විතරක් ම වීමත් මෙයට හේතුවක්.
ඔය රැඩිකල් කතා අස්සෙ, රැඩිකල් ආදරය, රැඩිකල් ඌණතාවය අස්සෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාත් කැපී පෙනෙන චරිතයක්. ඔවුන් වළිකන්නෙ, පාරට බහින්නෙ තමන්ගේ අධ්‍යාපන අයිතිය රැකගන්න, එය ඔවුන්ගෙ ආරයට නිවැරදි වුවත් තමන් අන්තරේ චරිත කියලා රටට ලෝකෙට පෙන්නුවත්, තමන්ට වගේම අනිත් දරුවන්ටත් ඉගෙනගන්න අයිතියක් තියෙන බව පිළිගන්න ඔවුන්ට තැනකදි අමතක වෙනවා. නිදහස් අධ්‍යාපනය රැකලා දෙන්න කියලා කියුවට නිදහස් අධ්‍යාපනය රටට හදුන්වා දිපු කන්නංගර මහතාගෙ ජන්ම දිනය කවදාද කියන එකත් සමහරවිට අපේ ශිෂ්‍යයන්ට අද මතක නෑ. තමන් පාරට බැස්සාම තමන්ට ඉගෙන ගන්න බදු මුදල් ගෙවන සමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාව කොච්චර ද කියලා පිළිගන්නවත් අද රටේ ශිෂ්‍යයා කියන චරිතය කැමැති නැහැ. බොහෝ විට බොහෝ අයට අවශ්‍ය වන්නේ කුමක් හෝ පැතිකඩකින් තමන් චරිතයක් කියන කාරණය සමාජයට ධාරණය කර දෙන්නයි. හැබැයි ඒ හැමතැනකදිම තමන් චරිතයක් වෙන්න දගලන විටක ඒ අයිනක ඉඳගෙන තමන්ව හදපු දෙමාපියන්ට, සමාජයට වෙන හානිය ගැන ඔවුන් වගකීම් ගන්න සූදානම් නෑ. ඉතිං හැදු වැඩූ දෙමාපියන් අමතක වෙන රටක අපි අපේ සමාජයට ආදරය කරයිද?
ආදරය කරන්න  ඕන, ගරු කරන්න  ඕන. මුලින් ම ඒ තමන් විසින් තමන්ට. තමන් තමන්ගෙ හදවතට චරිතයක් වුණු දවසට අපිට පුලූවන් වෙයි රටට වැඩක් ඇති චරිතයක් විදියට අරගල කරන්න, සාරධර්ම රැකගෙන රැඩිකල් චරිතයක් වෙන්න. සමාජජාලා අඩවි වලින් එළියට ඇවිත් ඇත්ත ජීවිතේ තුල ‘‘පොරක්” වෙන්න..
අරගල කරපන්, පෙරළි කරපන් ඒ හැම එකාගේම සුබසිද්ධිය වෙනුවෙන්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සාරධර්ම පිරිහිච්ච සමාජයක් බිහිකිරීම නෙවෙයි රැඩිකල් කියන්නෙ. අන්න ඒ දේ තේරුම් අරගෙන, ඇත්තටම තමන්ට චරිතයක්, පොරක් වෙන්න පුලූවන් බව තමන්ටත් වගකිමක් තියෙන බව හරියට ම දැනගෙන හරි තැනින් අරගලය පටන් ගනින්, ආදරේ කරපන්.. එදාට අපි හැමෝම දිනුම් !

ශෂී හෙට්ටිආරච්චි
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.