lakbima.lk

කෲර හදවත් බිහි කරන සයිබර් අවකාශය

අලුත් පරම්පරාව සයිබර් ලෝකයේ අතරමංවීමේ අවදානම අරබයා සමාජයේ විවිධ පාර්ශ්වයන් කරුණු දක්වනු අපි අත්දකිමු. එවැනි බොහෝ අදහස් නූතන තාක්ෂණය පිළිබඳ අවබෝධයෙන් තොරව නූතන විරෝධී ආඛ්‍යානයකින් යුතු ඒවා වන අතර ඒවා එතරම් බැරෑරුම් ලෙස අවධානයට ලක් කළ යුතු නොවේ. එහෙත් මානව සමාජයේ යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ අරුතින් මේ අලුත් තත්ත්වයන් තුළින් මතුවන දේවල් විග්‍රහ කර බැලීම වැදගත් වෙයි.

සන්නිවේදන තාක්ෂණයේ වේගවත් වර්ධනය විසින් හා සන්නිවේදන මෙවලම් සමාජය තුළ වේගයෙන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ සමාජ සම්බන්ධතා ප්‍රමාණාත්මකව ප්‍රසාරණය වුණි. (කිසිදා මුණ - නොගැසුණු 'මිතුරන්' ඉන්ටර්නෙට් තුළින් ඇසුරු කරති.) නමුත් මේ අලුත් අවකාශය වේගවත් ප්‍රසාරණයට (ප්‍රමාණාත්මක වර්ධනයට) සාපේක්ෂව එහි ගුණාත්මක ප්‍රගතියක් නොමැති බවට විවාදයක් නැත. එනයින් මේ විෂයට අදාළ වෙනත් මානයකින් යම් අදහසක් සාකච්ඡාවට ගැනීමට මෙහි තේමාව කර ගනිමි.

පසුගිය දිනෙක මාධ්‍ය තුළ වූ ප්‍රවෘත්තියක් අනුව කියවුණේ සමාජ මාධ්‍ය ජාල තුළ කාලය ගතකරන හෙවත් සයිබර් අවකාශය තුළ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන අයට වඩා සැබෑ ලෝකයේ සමාජ සම්බන්ධතා (ඓන්ද්‍රීය සමාජ සම්බන්ධතා) පවත්වාගෙන යන අය 'සතුටෙන්' සිටින බවයි.

මීට පාදක වූ සමීක්ෂණය කුමක්දැයි එහි ප්‍රකාශ නොවූ නමුත් අපගේ සාමාන්‍ය අවබෝධය අනුව මේ ප්‍රතිඵලය  සැබෑවක් බව වටහා ගැනීම අසීරු නොවේ. මක්නිසාද සජීවී මිනිස් සම්බන්ධකම් උපදින්නේ ඓන්ද්‍රීය සමාජ සම්බන්ධතා ඔස්සේ වන බැවිනි. සමාජ ජාල තුළ ඇති යහළු මිත්‍රකම්වලට වඩා ඓන්ද්‍රීය 'යහළු - මිත්‍රකම්' වගකීම් සහගත වන බැවිනි. මක්නිසාද එකිනෙකා අතර ප්‍රතිචාර එකිනෙකාට බලපාන ආකාරය පිළිබඳව ඔවුනොවුන් සංවේදී විය යුතු වන බැවිනි. අනෙකාගේ ප්‍රතිචාරය (මිත්‍රශීලී වේවා, එදිරිවාද වේවා) ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බැවිනි.

සයිබර් අවකාශය තුළ බොහෝ දෙනා සමාජ, දේශපාලන, සංස්කෘතික කාරනා අරබයා, අනෙකාගේ ප්‍රතිචාරය කෙබඳු වේවා තම සිතැඟි හා ආවේගයන් හෝ අදහස් මුදු හරින්නේ නිවැරදි මූලාශ්‍ර සහිතව හෝ සංයමයකින් යුතුව හෝ නොවේ. ඇත්තෙන්ම ඉතාම අන්තවාදී හා මුළුගැන්වුණු පෞරුෂයන් සහිත පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ වෛරදී අදහස් ප්‍රකාශ කරන්නේ සයිබර් ගිනි අවිවලින් වෙඩි තබන ලෙසිනි. අප ඓන්ද්‍රීයව යම් පුද්ගල සමූහයක් අභිමුව ඒ ආකාරයෙන් අදහස් මුදාහරින්නේ නැත. මක්නිසාද අනෙකාගේ ප්‍රතිචාරය පිළිබඳව අපි ඊට පෙරාතුව යම් පමණකින් සැලකිල්ලට ගන්නා බැවිනි.

අනෙක් අතට මෙලෙස සයිබර් අවකාශයේ හෝ Face Book වැනි සමාජ ජාලවලට ඇබ්බැහිවීම නිසා සමාජය හා සමග විය යුතු සෘජු සම්බන්ධතා මගහැරෙන විට සමාජයට මුහුණ දීමේ අභියෝගයෙන් පුද්ගලයන් පලා යයි. සමාජය සමග යහපත් ලෙස සබඳතා පවත්වාගෙන යාම යනු අභියෝගයකි. ගුණාත්මක සමාජ සම්බන්ධතාවන් නඩත්තු කිරීම අභියෝගයක් වන්නේ ඊට දැනුම හා සමාජ න්‍යායාත්මක අවබෝධයක් අවශ්‍ය වන බැනිනි. එනිසා එය මහන්සි විය යුතු කාර්යයකි. සමාජය මගහැරීමේ පෞරුෂයක් සහිත තරුණයන් හට මෙම සයිබර් අවකාශය යනු ඔවුන්ගේ හුදෙකලාවට තවත් තල්ලුවකි. පාස‍ලේදී, විශ්වවිද්‍යාලයේදී, කාර්යාලයේදී, මගතොටේදී මුණගැහෙන, ගනුදෙනු කරන අය හා සමග සෘජු ලෙස මුහුණ දීම පවා මගහැරෙන විට සමාජය හා පුද්ගලයෝ එකිනෙකා හුදෙකලා වෙයි.

ඓන්ද්‍රීය සමාජ සම්බන්ධතා තුළ වගකීමක් හා වගවීමක් තිබේ. එවැනි සමාජ සම්බන්ධතා තුළදී එකිනෙකාගේ හැඟීම් එකිනෙකාට අභිමුඛ වන විට අපට ඒවා නොතකා සිටිය නොහැක. අනේ‍යා්න්‍ය අවශ්‍යතාවන් හිදී කඩිනම් උපකාරය අපට මගහැර යා නොහැක. එහෙත් සයිබර් අවකාශය තුළ ඇති විභවය නම් අපට ඒවා මගහැර යා හැකි වීමයි. එහිදී අපට අපගේ ආවේගය මුදාහැර එතනින් හමාර කළ හැකිය.

පහසු උදාහරණයකින් මෙය තේරුම් ගත හැක. 'ඓන්ද්‍රීයව' යමෙකු හෝ යම් සමූහයක් විනාශ කිරීමට නම් ඉතා කෲර 'හදවතක්' තිබිය යුතුය. එය 'පහසු දෙයක්' නොවනු ඇත. එහෙත් සයිබර් අවකාශය තුළින්  එවැනි දරුණු අදහසක් ප්‍රකාශ කිරීමට එතරම් 'අපහසු දෙයක්' නොවනු ඇත. මන්ද එහි ප්‍රතිඵලය හා ප්‍රතිවිපාකය අපට දුරස්ථ එකක් වන නිසාය. සමීප හා ක්ෂණික ප්‍රතිචාර නොවන නිසා ඒවයේ බරපතළකම හෝ එයින් උපදින වරදකාරී හැඟීම් 'ආසන්න දේවල්' නොවන නිසාය.

තාරක වරාපිටිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.