lakbima.lk

අය වැය ගැන ජනතාව ලොකු බලා‍පොරොත්තුවක් තබා ගෙන හිටියා නමුත් ජනතාවට අය වැයෙන් ලැබුණු දෙයක් නැහැ නේද?

එහෙම කියන එක අසාධාරණයි. අපි සංවර්ධනය හා සහන යන දෙකම සමබරව යන අය වැයක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙනවා. එම 2500 ත් සමග මේ රජය යටතේ රුපියල් 12500 කින් වැටුප් වැඩිවෙනවා. සමෘද්ධිය අලුතින් 6000 කට වැඩි වෙනවා. එහෙම බැලුවහම කාටවත් කියන්න බැහැ අය වැයෙන් ජනතාවට ලැබුණු දෙයක් නැහැ කියලා.

නිෂ්පාදිත ආර්ථිකයකට අවශ්‍ය යෝජනා මේ අය වැයේ නැහැ. එතකොට කොහොමද කියන්නේ සාධනීය ලක්ෂණ තියෙනවා කියලා.

සාධනීය ලක්ෂණ මේ අය වැයේ නැහැ කියලා කියන්නේ කුහකයෝ විතරයි. අන්ධයන්ටත් මෙහි සාධනීය ලක්ෂණ පවතින බව පේනවා. කෙටිකාලීන මධ්‍ය කාලීන හා අනාගත ඉලක්ක ජයගන්න පුළුවන් විදියට මෙම අය වැය ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම එකින් එක ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි ඒකට පත්තර ගණනාවක් ඒ වෙනුවෙන්ම පළ කරන්න පුළුවන්. ඔබ කියන දේ හරිනම් විපක්ෂය කෑ නොගහා ඉදියිද අද ඔවුන්ට අපට විරුද්ධව කතා කරන්න දෙයක් නැහැ. අය වැය ඉදිරිපත් කළ මේ සති කිහිපයක ඇතුළත එය පෙනෙන්න තියෙනවා.

මහින්ද රාජපක්ෂ ගත්තු ණය ගැන තමයි ආණ්ඩුව කතා කරන්නේ හැබැයි මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්න මෙන්ම ඔබ ආණ්ඩුව පත්වූ දින සිටම කරන්නේ ඊට වඩා ණය ගන්න එකනේද?

මහින්ද රාජපක්ෂ කාලයේ ණය අරන් කළේ මොනවාද කියන කාරණය හැමෝම දන්නවා. සංවර්ධනය මුවාවෙන් කොමිස් ගැහීම තමයි ඔවුන් කළේ. බිලියන ගණනක චින ණය අරන් ඉදි කළ නොරොච්චෝ‍ලේ බලාගාරය හදපු දවසේ ඉඳන් කැඩෙනවා. ඉතින් මේ පාඩු පියවන්න වෙන්නේ අපිටමනේ. ඒවා පියවන්න ණය ගන්න වෙනවා. අපි ණය ගත්තේ මොනවටද කියන කාරණය තමයි වැදගත් වෙන්නේ. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ රජය අධික ‍පොලියට ණය ගත්තේ. ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ අපිටයි. ඔවුන් ගත්ත ණය ගෙවන්න තිබුණේ ණය අරන් අවුරුදු 5 ක් ගියාට පසුවයි. නොරොච්චෝ‍ලේ වාරික ගෙවන්න වෙලා තියෙන්නේ 2015 සිටයි. ණය ගන්න එක නොවෙයි වැදගත් ගත්ත ණය වියදම් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාබයයි වැදගත්. හම්බන්තොට වරාය හැදුවාට ඒ ගත්තු ණය ගෙවන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ණය බර අපේ ජනතාව පිට පැවරුණා. මත්තල ගුවන් තොටු‍පොළටත් ඒ අනිසංසයම තමයි. ඔවුන් ගත්තු ණය රටට බරක් වුණේ ඒ නිසාම තමයි.

හැමදාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දොස් කියමින් ආණ්ඩුවේ අඩුපාඩු වසා ගන්නවා මිසක් ආණ්ඩුව කරන දෙයක් නැතැයි ඔහු කියනවා.

එතුමා කියන දේවල් නම් අපි එතරම් ගණන් ගන්නේ නැහැ. ඔහු බලය අහිමි වීමෙන් වියරු වැටිලා ඉන්නේ. දැන් ඔහුට පවු‍ලේ ප්‍රශ්න විසඳගන්න බැරුව ඉන්නේ. අපි ඔහුට දොස් කියනවා නොවෙයි අපි සාධාරණ විවේචනයක් කරන්නේ. ඇත්ත කතාව කියන කොට ඔහුට එහෙම පේනවා විය හැකියි. ඔහු කවදාවත් විවාදයකට එන්නේ නැහැ. මොකද ඔහු දන්නවා අපි කියන දේ ඇත්ත කියලා. නමුත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා නොයෙක් දේ කියනවා. මොකද ඔහුගෙන් ඇත්ත අහන්න කෙනෙක් නැති නිසායි. මේ ආණ්ඩුව බොරු සංදර්ශන දැම්මේ නැති වුණාට රට නිවැරදි ආර්ථික ඉලක්කවලට ගෙන ගොස් තිබෙනවා. දැන් දැවැන්ත අයෝජන ගණනාවක් රටට ගෙනල්ලා තියෙනවා. හම්බන්තොට වරාය ආශ්‍රිතව අපි 24 දාට දැවැන්ත පිරිපහදුවකුත් සිමෙන්ති කම්හලකුත් හදන්න මුල්ගල තියෙනවා. එය ඩොලර් බිලියන 4 ක ආයෝජනයක්. වරාය හාදුවා වගේ තුන්ගුණයක ආයෝජනයක් තමයි රටට එන්නේ. අධිවේගි මාර්ග එකක් දෙකක් හදලා ඉවර කලාට ගමේ මාර්ග හැදිලා තිබුණේ නැහැ. රුපියල් කෝටි 8000 ක් වියදම් කරලා අපි ගම්පෙරළිය හරහා ගමේ සංවර්ධනය ක්‍රියාත්මක කරනවා. රුපියල් කෝටි 8000 ක් කියන්නේ සුළු පටු මුදලක් නොවෙයි. කටුනායක කොළඹ අධිවේගි මාර්ගය හදන්න ගියාවගේ දෙගුණයක මුදලක් අපි ගමට ගෙනියනවා. අපි ප්‍රමුඛතාවය හඳුනාගෙන සංවර්ධනය කරලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති වැය ශිර්ෂයට විරුද්ධව ඡන්දයක් ඉල්ලද්දි ඉදිරිපෙළ එය වැළැක්වුවා. ඇයි එහෙම කළේ?

අපි පැහැදිලිවම කියනවා රජයක් ලෙස ඉදිරියට යන්න ඕනා.

ජනාධිපතිවරයා සමග නොයෙක් නොගැළපීම්, විවේචන, චෝදනා තිබුණට ජනාධිපතිවරයාත් මේ රජයේ කොටසක්. ඒ නිසා ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කරලා ආණ්ඩුවක් හැටියට අපිට ඉදිරියට යන්න බැහැ. මොකද රජයක් ලෙස කරන්න අපි භාරගත්තු වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. අමාත්‍යාංශවල වැඩකටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා කරන්න ඕනේ. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජයට පත්වුණොත් ඒවා අසාර්ථක වෙනවා. රජය අඩපණ වෙනවා. රජය අස්ථාවර කරලා අපේ මුලික ඉලක්ක කරා යන ගමන අඩාල කර ගන්න බැහැ. ඒ නිසා තමයි මෙලෙස අපි කටයුතු කළේ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය තරහව සාධාරණයි. ඉදිරිපෙළ නායකයන්ට ඒ ගැන පසුපෙළ මන්ත්‍රීවරුන්ට තේරුම් කර දීලා ඉදිරියට ගෙන යන්න පුළුවන්.

කොහොම වුණත් ජනාධිපති වැය ශිර්ෂයට ඡන්දයක් නොදීම නිසා පසුපෙළ කලකිරිලා නේද ඉන්නේ. ඔවුන්ගේ මේ කලකිරීම ඉදිරියට අවාසියක් නොවෙයිද?

නැහැ එමෙ ප්‍රශ්නයක් අපට නැහැ. සියලු මන්ත්‍රීවරු ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ඉඳගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතුය කියන වැඩපිළිවෙළෙයි. එහෙම වෙන්න නම් ගැටුම් අවම කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන්න ඕනේ. අපේ ප්‍රධාන ඉලක්කය තමයි ඊළඟ අවුරුදු පහේ මේ රට සංවර්ධිත රටක් කරන එක. ඒ වෙනුවෙන් අපි ආරම්භ කළ ව්‍යාපෘති ඉස්සරහට අරන් ගිහිල්ලා පාක්ෂිකයා ශක්තිමත් කරලා අපේ පක්ෂයත් ශක්තිමත් කරමින් ඉදිරියට යන එක තමයි කළ යුත්තේ. ඉතින් මේ කාරණය අවබෝධ කරගත්තාට පස්සේ මන්ත්‍රීතුමන්ලා ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා.

රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණා ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය අතර අලුත් අවබෝධයක් නිර්මාණය වෙමින් තිබෙනවා කියලා. ඒ කියන්නේ ජනපති එජාප අර්බුදය අවසන් කියන එකද?

ඔව් එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මේ දේශපාලනය කියන්නේ සදාකාලික මිතුරෝ හා සදාකාලික හතුරෝ නැති තැනක්නේ. මේ ජනාධිපතිවරයා කියන්නේ අපි හදපු ජනාධිපතිවරයෙක්. ඔහුට අපිත් සමග කටයුතු කරන්න බාධාවක් වෙන්න බැහැ. අපිටත් ඔහුත් සමග කටයුතු කරන්න බාධාවක් වෙන්න බැහැ. තිබුණ බාධාත් ඉවත් කරගෙන සාකච්ඡා කරලා අපිට නැවත එකඟතාවකට පැමිණිය හැකි හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේත් අවශ්‍යතාවක් පවතින බව පෙන්නුම් වෙනවා නම් අපිට ගැටලුවක් ඇති වෙන්න බැහැ.

ජනාධිපතිවරණයේදී නැවත මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ අපේක්ෂකයා හැටියට එනවා කියන එකද මේ ඉගි කරන්නේ.

මෙහෙමයි අපි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එතුමා අපිත් එක්ක එකතු වෙලා ජනාධිපති අපේක්ෂකයා වෙන එකට අපි එකඟ නැහැ. පක්ෂයක් විදියට ඒකට අපි සුදානමුත් නැහැ. එතුමාට ජනාධිපති අපේක්ෂකයා වීමේ හැකියාව තිබෙනවා හැබැයි ඒ එක්සත් ජතික පක්ෂයෙන් නොවෙයි විපක්ෂයේ සහයෝගයෙනුයි. අපි අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව එතුමාට කියලා තියෙනවා. අපි එක අවස්ථාවක් එතුමාට දුන්නා.

ජනාධිපති අපේක්ෂකයා කියන කාරණයෙන් පරිබාහිරව එතුමාත් සමග ඉදිරියේදී වැඩකටයුතු කිරීම සම්බන්ධයෙන් අපට බාධාවක් නැහැ. එකඟතාවයකට පත්වීම හා එක්ව කටයුතු කිරීම අපට ගැටලුවක් නොවෙයි.

ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ පැමිණෙන බවට වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂය ‍පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අවාසියක් කියා හිතන්නේ නැතිද?

නැහැ. අපට ‍පොදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ගියවර ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්නේ. ‍පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නොවිය යුතුයි කියලා දෙයක් නැහැ. අපට අනෙකුත් කුඩා පක්ෂ ඒ වගේම විද්වතුන් වෘත්තීය සමිති නොයෙක් සිවිල් සංවිධානවලට එකඟ වෙන්න පුළුවන් ‍පොදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් හොයා ගන්න එක ගැටලුවක් නොවෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේ ලොකු තරගයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද?

අපි අපේ අපේක්ෂකයා හරි වෙලාවට ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් කියන එක මට සියයට සියයක් විශ්වාසයි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එක පැත්තකින් ඉදිරියට එන බව කියනවා. ගෝඨාභය රාජපක්ෂ තව පැත්තකින් එන බව කියනවා. ඇයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හංගන්නේ.

අපි අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නිසි වේලාවට. අපේ උපාය උපක්‍රම අනෙක් අයගේ උපාය උපක්‍රමවලට වඩා ගොඩක් වෙනස්. 2015දීත් පරාජය කරන්න බැරි බව කියපු විධායක ජනාධිපතිවරයා පරාජය කළේ එවැනි සැලසුම් ක්‍රියාත්මක කරලා. මුහුද හත්ගව්වක් තියෙද්දි මේවා ඉදිරිපත් කරලා අපි වරද්ද ගන්නේ නැහැ. අපි නිසි වේලාවට දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

ලසන්ත වීරකුලසූරිය

 

  1. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  2. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ
  3. අප්‍රේල් 5දා ගලඋඩ සටනේදී අයවැය දිනයිද? පරදියිද?
  4. අයවැයේදී ජනාධිපතිතුමාව බේරගත්තේ අපේ අගමැතිතුමයි
  5. මේ අය වැයේ ජාතික සංවර්ධන ඉලක්ක මොකුත්ම නැහැ
  6. මේක සුපර් මෑන් අය වැයක්
  7. විධායක ක්‍රමය අහෝසි කරන්න මහින්දත් කැමතියි
  8. ජනතාව ඉල්ලන්නේ මහින්ද මිස ‍පොහොට්ටුව ‍නෙවෙයි
  9. රන්ජන්ගේ කතාව මුළු පාර්ලිමේන්තුවටම ප්‍රශ්නයක්
  10. ජනපති අපේක්ෂකයා ජවිපෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
  11. විජේදාස කියූ කතා ගැන කනගාටුයි
  12. කුඩු ගහන මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා
  13. ජාතික ආණ්ඩුවට එන අය ඉස්සරහට බලාගන්න පුළුවන් - ජේ.සී. අලවතුවල
  14. ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවලින් මහින්දලා ඉවත් නොවන්නේ ඇයි?
  15. පොලිස් විරුවන්ට සිදුවන නොසැලකිල්ල ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය
  16. පාර්ලිමේන්තුව උණුසුම් කළ කතානායකගේ සම්පූර්ණ කතාව
  17. ආයෙත් ජාතික ආණ්ඩුවක් නම් හැදෙන්නේ නෑ
  18. හොරට නිදාගෙන ඉන්න හාදයන් ඇහැරවන්න අමාරුයි
  19. ඇමතිවරු වැඩිකරගන්න ආණ්ඩුව කරන උප්පරවැට්ටිය
  20. අපේ එකම අරමුණ අපේම ජනාධිපතිවරයෙක්
  21. ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොලැබුනොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා
  22. සුමන්තිරන් - සම්පන්දන් කියන්නේ එල්.ටී.ටී.ඊ.කාරයෝ නොවේ
  23. රනිල්ගේ සුමන්තිරන්ගේ ගැටවලට අහුවෙන්න එපා - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
  24. මැතිවරණයට බිය දේශපාලන පක්‍ෂ
  25. මහින්ද ශ්‍රීලනිපයේ බව අපි පිළිගන්නවා - එතුමත් ඒ බව කියනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.