lakbima.lk

මිල සූත්‍රයක් ඇත්තේය. මාසෙන් මාසෙට වැඩි වන්නේය. ඒ තෙල් මිලය. එකවරම වැඩි වෙනවාට වඩා එය හොඳය. ජනතාව සූත්‍රයට කැමැතිය වැඩිවීම ඇඟට දැනෙන්නේත් නැත්තේය. නිදාගෙන නැගිටිනවිට තෙල් මිල වැඩිවෙලාය. ඒ සූත්‍රයේ හැටිය. ඒක හීන් නූල් සූත්‍රයක්ය. සමහරු එහෙමද කියන්නේය.
සූත්‍රය ඉතා හොඳයි කීවේය. ඒ සල්ලි භාර ඇමැතිය. එහෙම කියා ඇත්තේ කැබිනෙට්ටුව ඇතුළේය.  ඊයේ පෙරේදා මයික් මල්ලිලා, ඇල්ලුවේය. ඒ ඇමැතිට මයික් එකය. මිල සූත්‍රය නොදන්නේය. ඇමැති එහෙම කීවේය. ඒක දැන ගත්තොත් මොළය අවුල් වන්නේය. ඇමැති එහෙමද කීවේය.
එතකොට කලින් සූත්‍රය හොඳයි කීවේ මොළේ අවුල් වුණාට පස්සේය. නොසන්ඩාලයෝ එහෙම කියන්නෝය.
මොළේ අවුල් නැත්තේ එක්කෙනෙක්ගේය. ඊට සහතිකයක්ද දුන්නේය. ඒ දකුණේ මුතුහෙට්ටි ගමගේය. පිස්සු නැතැයි ඔප්පු  වුණේ මට විතරක්ය. ඔහු වරින් වර කීවේය. ඒ ආඩම්බරෙන්ය.
ඇමැතිලාගේ කතා ඇහෙන විට කොහොමත් අවුල් වන්නේය. ඒ ජනතාවගේ මොළේය. දැන්නම් අමුතුවෙන් අවුල් වෙන්න දෙයක් නැත්තේය. සමහරු එහෙමද කියන්නේය.
තෙල්වලට විතරක් නොවේය. හැම දේම සූත්‍රයක් ඕනේය. ජනතාව ඉල්ලන්නේ එහෙමය. එකවරම වැඩිවනවාට වඩා වරින් වර බඩු මිලත් වැඩි කළ යුතුය. ඒ සූත්‍රයෙන්ය. දේශපාලකයෝ නම් හොඳ හොඳ සූත්‍ර දන්නේය. වැඩිහරියක් දන්නේ හීන් නූල් සූත්‍රය.
බස්නාහිර මහ ඇමැති යස වැඩක් කරන්න ගියේය. ඒ මොළේ තියන්න පුටු ගේන්නය. ආණ්ඩුකාරයා හරස් වූයේය. ඔහුටත් ඕනේ නැති දෙයක් නැත්තේය.    එහෙ මෙහේ තබා මොළේ තැලුනොත් වග කියන්නේ කවුදැයි ඒ අස්සේ සමහරු අසන්නේය.
දැන් තවත් වැඩක් හෙළි වුණේය. ඒ පුටු ගේන්න හැදූ තැනමය.  මුළු ශාලාවම සුවඳ කරන්න හදන්නේය. දේශපාලනයෙහි  කරන ගඳ වැඩ වහ ගන්නට මේවායින් බැරියැයි කියන්නේ නොසන්ඩාලයෝය. ඕඩරය සුවඳ වතුර ගේන්නය. වියදම කෝටිය පැනලාය. එය ඉතා හොඳ යෝජනාවක්ය. ආණ්ඩුකාරයා ඒකටත්  හරස් වේදැයි සැකය.
සුවඳ පතුරවන්නේ  මන්ත්‍රීලා ගඳ නිසාදැයි නොදන්නා අය අසන්නේය. මන්ත්‍රීලා නම් ගඳ නැත්තේය.  කරන වැඩනම් ගඳය. එහෙම කියන්නන්ද ඉන්නේය.
පළාත් සභාව විතරක් නොවේය. දියවන්නාවද සුවඳ කළ යුතුය. ඇයි රටම ගඳ ගස්සන්නේ  එතනින්දැයි  කොල්ලෝ කුරුටේටෝ අසන්නේය. යෝජනාවක් කළ යුතුය. දියවන්නා වැවේ වතුර සිඳිය යුතුය. සුවඳ වතුරෙන් වැව පිරවිය යුතුය. ඇතුළේ සිට එනවිට උතුමන්ට දියවන්නාවෙන් නාගෙනම ආ හැකිය. අමුතුවෙන්  නාන්න ඕනේ නැත්තේය. වැඩක් කලොත්  නාන්නේය. එහෙම කියන්නේ ඊර්ෂ්‍යාකාරයෝය.
වියදම ගැන බියක් නැත්තේය. සල්ලිභාර ඇමැතිට එය කජ්ජක්ය. ළමයි හදනවාටත් බද්දක් ගසා හෝ එතුමා සල්ලි එකතුකර දෙන්නේය. ඒ නිසා දියවන්නාව සුවඳ කිරීම කළ හැකිය.
බඩු මිල ඉහළ යන්නේය. ඒ රොකට්ටුවක් වගේය. ජනපතිත් දැන් සූදානම්ය. ඒ රොකට්ටුවක් උඩ යවන්නටය.  රොකට්ටුව ස්කෝලෙ ළමයෙක්ගේය. සල්ලි දෙන්නේ ජනපතිය. තෙල්මිල නගින වේගෙන් මේ රොකට්ටුවනම් යවන්න බැරිය. එහෙම කියන්නෝද ඉන්නේය.
ළඟදී හොඳ ප්‍රකාශයක් කළේය. ඒ සගිස්කුරුතේ භාර ලොක්කාය. කීවේ ‍පොලිස් කොමිසම ගැනය. ඒක මහලු මඩමක්ය. ඔහුගේ කතාවට පිළිතුරුද ආවේය. රටේ අනාගතය තරුණ පරපුරටය. මහ ලොක්කෝ නිතරම කියන්නේ. ඒත් දෙවැනි ලොක්කා අයින් වෙන්නෙත් 2035දීය. එවිට ඉන්න කොල්ලොත් නාකි වෙලාය.

සගිස්තුරුත ලොක්කා කිව්ව විදියට අයින් කළ යුතුය. ඒ මහල්ලෝය. මුලින් කොමිෂන්වලය. ඉන්පසු දියවන්නාවේය. එහි වැඩියෙන් ඉන්නෙත් හැට පැන්නෝය. පෙති ගසා සරමට බැස රෝහලට දුවන්නේ ඒ නිසාය.
දියවන්නාවේ හැට පැන්න අය අයින් කළොත් ඉතිරි වන්නේ දහපහළොස් දෙනෙකි. අයින් කර  බැලූවිට සගිස්කුරුත ලොක්කාත් අයින් කරපු ගොඩේය. ඒ වැඩෙත් නරක නැතැයි කොල්ලෝ කියන්නෝය.

Page 3 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.