lakbima.lk

 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බලපෑම් කරන්න යැයි ජනාධිපති සිරිසේන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට පැවැසූ බවට පසුගිය දිනෙක මාධ්‍ය වාර්තා තිබිණ. අවශ්‍ය නම් පරණ ක‍්‍රමයට මැතිවරණ පැවැත්වීමට සංශෝධන ගෙන එන්නට ඉල්ලා සිටින මෙන්ද ඔහු පැවැසූ බැව් ඒ වාර්තාවලින් කියැවිණ.

පළාත් සභා 09 න් නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභා තුන 2017 ඔක්තෝබරයේදී විසුරුවා හැර දැනට අවුරුද්දකටත් වඩා වැඩිය. අනතුරුව වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා විසුරුවා හරිනු ලැබුයේ පසුගිය ඔක්තෝබරයේදීය. ජාතික මැතිවරණ කොමිසමෙහි සභාපති මහින්ද දේශප‍්‍රියට අනුව ඇමැතිවරයා දින තීන්දු කරන්නේ නම් ඔවුන්ට මාස 03ක් ඇතුළත පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකිය.

මෙය ඉතා අප‍්‍රසන්න තත්ත්වයකි. අප ඉන්නේ කුණු වූ දුෂිත පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමට මැතිවරණ විරෝධී ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’’ ඉල්ලා පාරට බහින කොළඹ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඉන්නා රටකය. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වුවහොත් තමන්ගේ මූලික අයිතීන් කඩවන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පෞද්ගලිකව ඉදිරිපත් කරනමුත් මැතිවරණ කොමිසමද ඉන් නියෝජනය වන්නේ යැයි කියූ ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු තවමත් එහි ඉන්නා රටකය. ඔහු වීරයෙකු ලෙස සැලකූ කොළඹ මැද පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද එවැනිමය.

පළාත් සභා මීට පෙර පැවැත්වූයේ 1988 අංක 02 දරන පළත් සභා මැතිවරණ පනතට අනුවය. එම පනත යටතේ පළාත් සභා විසුරුවා හැරුණු දින සිට සති 08 ක් ඇතුළත නාම යෝජනා කැඳවා මැතිවරණද පැවැත්විය යුතුය. මේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පත සහමුලින්ම මෙන් වෙනස් කෙරුණු සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරමින් මේ ආණ්ඩුව 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගත්තේය. එය මැතිවරණ ක‍්‍රමය මුළුමනින් පාහේ වෙනස් කළ හෙයින් ජනාධිපති විසින් නව පනතට අනුව මැතිවරණ කොට්ඨාස අලූතින් නිර්ණය කිරීමේ කොමිසමක් පත් කළ යුතු විය. එම කොමිසම ඔවුන්ගේ වාර්තාව මාස 04 ක් ඇතුළත ඇමැතිවරයාට බාර දිය යුතුය. වාර්තාව ලැබී සති 02ක් ඇතුළත ඇමැතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව එම වාර්තාව නොපිළිගන්නේ නම්, කථානායක විසින් අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කළ යුතුය. එම විමර්ශන කමිටුව මාස 02 ක් ඇතුළත ඔවුන්ගේ තීන්දු ජනාධිපති වෙත බාර දිය යුතුය. එය ලැබුණු විට ජනාධිපති විසින් එය ගැසට් කළ යුතු අතර, ඒ සමග 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත බලාත්මක වේ.

දැනට අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කමිටුව පත්කර මාස 05 කි. ඔවුන්ට ලබා දී ඇති නිල කාලය අවසන් වී මාස තුනකි. එය නීති විරෝධී වූවත් ඔවුන්ගේ තීන්දු කවරේදැයි හා ඔවුන්ගේ වාර්තාවට සිදුවූයේ කුමක්දැයි කිසිවකු ප‍්‍රශ්න කරන්නේ නැත. හැමකටම මහා විරෝධයක්් නගන ජ.වි.පෙ නායකයන් ද නීති තර්ක මත පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක සුමන්තිරන්ද ඒ ගැන ගොළුවත රකිති. පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට බල කරන්නට යැයි ශී‍්‍රල.නි.ප. මන්තී‍්‍රවරුන්ට කියන ජනාධිපති එම වාර්තාව ඉල්ලන්නේ ද නැත.

තවමත් ජාතික මැතිවරණ කොමිසම සහ එහි සභාපති ජනතාවට කියන්නේ ඇමැතිවරයා දින තීන්දු කළ වහා ඔවුන්ට මැතිවරණය පැවැත් විය හැකි බවය. දින තීන්දු වූ විට ඔවුන් මැතිවරණ පැවැත් විය යුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එය රටම දන්නා කරුණකි. ඔවුන් නොකියන්නේ විසුරුවා හැරුණු මේ පළාත් සභා 06 ට පැරණි පළාත් සභා මැතිවරණ නීතිය යටතේ වහා මැතිවරණ පැවැත්වීමේ බලය ඔවුන් සතු බවය. අගමැති ප‍්‍රධාන විමර්ශන කමිටුවේ වාර්තාවට කුමක් වීදැයි නොදන්නා සහ එය කවදා එළි දකීදැයි නොදන්නා හෙයින් 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත බලාත්මක කිරීමේ කි‍්‍රයාවලිය අසම්පූර්ණ වූවකි. පනතක් බලාත්මක කෙරෙනතුරු රික්තයක් පැවැතීමට ඉඩ නොතබා නීති අර්ථකථනය කිරීමේ පනත විසින් එවැනි තත්ත්වයකදී පැරණි නීතිය බලපවත්නා බව පැහැදිලි කර ඇත. එනිසා අවශ්‍ය සංශෝධන ඉදිරිපත්කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බල කරන මෙන් ජනාධිපති කීම විහිළුවකි. ඔහු මැතිවරණ කොමිසමට 1988 අංක 02 දරන පළත් සභා මැතිවරණ පනතට අනුව වහා මැතිවරණය පවත්වන ලෙස කිව යුතුය.

ප‍්‍රශ්නය ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන් මැතිවරණවලට පුදුමාකාර බියක් දැක්වීමෙහිය. යළි ආණ්ඩුව අතට ගැනීමෙන් ලද අලූත් ශක්තිය 2019 අය වැය සමග ඉදිරි කාලයේ පක්ෂය ප‍්‍රාදේශීයව ගොඩ නගා ගැනීමට යොදාගත යුතු යැයි එ.ජා.පයේ ඇතැමුන්ගේ මතය වේ. තවත් අය කියන්නේ ඒ හයිය සමග ගමට යා හැකි නව නායකත්වයක් හදා ගැනීමට කාලයක් අවශ්‍ය බවය. අවසානයේ දෙගොල්ලන්ම කියන්නේ මැතිවරණ අවශ්‍ය නැති බවය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ටද මැතිවරණවලට මුහුණ දීමේ බරපතළ ගැටලූවක් ඇත. උතුරු නැගෙනහිර ජනතාව තවදුරටත් ඔවුන්ව එකම නියෝජිතයන් ලෙස සලකන්නේ නැත. දෙමළ නායකයන්ගේ කොළඹ දේශපාලනය හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූ අතර ගැටුම්කාරී පරතරයක වර්ධනය වී ඇත. එනිසා විශේෂයෙන් උතුරේ විකල්ප නායකත්වය දැන් ගොඩ නැගී ඇත.

ජනාධිපතිගේ ශී‍්‍ර.ල.නි.පයේද දැන් බෙදීම් ඇත. පසුගිය කාලයේ රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමැතිකම් කළ ශී‍්‍ර.ල.නි.ප මන්තී‍්‍රවරුන්ට ඇමැතිකම් යළි අවශ්‍යව ඇති බැවින් ඔවුන් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය සමග සන්ධානයකට සූදානම් නැත. එහෙත් ජනාධිපතිට එය හැර වෙන විකල්පයක්ද නැත. සන්ධානයක් වෙනුවෙන් පොහොට්ටු පක්ෂයට කොන්දේසි ඇත. එහෙයින් තවමත් සන්ධානයක් හැදී නැත. එවැනි තත්ත්වයක ජනාධිපතිටද මැතිවරණ වලට මුහුණ දිය නොහැක. එනිසා ඔහුගේ තාවකාලික විසඳුම වූයේ පළාත් සභා ඔහුගේ සෘජු පාලනය යටතට ගැනීමය.

හදිසියේ ආණ්ඩුකාරවරුන් පත් කිරීම ඒ වෙනුවෙනි. එය එලෙස යැයි වඩාත් පැහැදිලි වනුයේ ඔහු පත් කළ පුද්ගලයන් සියල්ලෝම රනිල් විරෝධීන් වන බැවින්ය. මෙතෙක් ඉතිහාසයේ වැදගත් ස්වාධීන පුද්ගලයන් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කර ඇත්තේ කලාතුරකිනි. එහෙත් මෙවැනි පත් කිරීම් ජනාධිපති සිරිසේනගෙන් මිස වෙන කිසිවකුගෙන් නොවුණි.

මේ පත්වීම් ජනාධිපතිගේ දේශපාලනයට අවශ්‍ය පත්වීම් බැව් හැංගිය නොහැකි පත්වීම්ය. අනෙක් සියලූ කාරණා එබැවින් ද්විතීකය. එහෙත් සැබෑ ප‍්‍රශ්නය මතු වන්නේ ඔවුන් පත් කෙරෙන්නේ විශේෂයෙන් විසුරුවා හැරුණු පළාත් සභා 06 ටත් සමගින් වීමෙහිය. ඡුන්දයෙන් පත් කළ පළාත් සභාවක් නොමැති විට පළාතේ බලධාරියා වනුයේ ආණ්ඩුකාරවරයාය. ඔහුට හෝ ඇයට  ඕනෑම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, ආයතන ප‍්‍රධානියෙකුට සෘජුව නියෝග ලබා දීමේ බලයක් ඇත. එවගේම මුදල් අනුමත කිරීමේ හෝ නොකිරීමේ බලයද ඇත. එනිසා මේ පළාත් ආණ්ඩුකාරවරුන් කි‍්‍රයාත්මක වනු ඇත්තේ ඒ සියලූ බලය ජනාධිපතිගේ වුවමනාවන් ඉටු කිරීම වෙනුවෙනි. ජනාධිපතිට පමණක් නොව, ඔහුගේ උපදේශකයන්ට, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානීන්ට පවා ආණ්ඩුකාරවරුන්ට වැඩ පැවැරීමේ දේශපාලන අවකාශයක් ඉන් හැදෙනු ඇත.

එනිසා ජාතික මැතිවරණ කොමිසම පවතින නීතිය කි‍්‍රයාත්මක නොකර හොර ගල් අහුලන තාක් කල්, එ.ජා.ප. නායකයන් හා අනෙක් දේශපාලන පක්ෂ නායකයන්ද කොළඹ සිවිල් සංවිධාන නායකයන් යැයි කියා ගන්නා කණ්ඩායම්ද කලක් තිස්සේ පෙළෙන ‘‘රාජපක්ෂ භීතිකාවෙන්’’ මිදෙන තාක් කල් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිට වැදගත් වන අතර, ඒ වෙනුවෙන් මැතිවරණ නොපැවැත්වීම මේ රටේ ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ යැයි ඇට්ටකුනා වූ කොළඹ මැද පන්තිය පිළිගනු ඇත. රාජපක්ෂ ඊට එරෙහිව ජනතාවගේ ශක්තිය නොසොයා යළි පාර්ලිමේන්තුවේ ගණන් බැලීමට උත්සාහ කිරීමත් මේ තත්ත්වය එසේ පවත්වා ගැනීමට ඒ හැමට වාසි වනු ඇත.

කුසල් පෙරේරා

 

Page 1 of 3

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.