lakbima.lk

ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවලින් මහින්දලා ඉවත් නොවන්නේ ඇයි?

මේ දිනවල දේශපාලන වේදිකාවේ හා මාධ්‍යවල උණුසුම් මාතෘකාව බවට යළිත් ව්‍යවස්ථා (නව) යෝජනා මතුවෙමින් තිබේ. මෙම යෝජනා ඉතිහාසය 2014 ජනවාරියේ කමිටු හයක් පත් කිරීම දක්වා වසර තුනකට ආසන්නය. එහි වාර්තා හයක් ඉදිරිපත් වුවත් විපක්ෂය චෝදනා කළේ තම යෝජනා ඊට ඇතුළත් නොකළ බවය.2017 පාර්ලිමේන්තු විවාදයකට ලක් කළ මෙම කමිටු හයේ අතුරු වාර්තාව වැදගත් වන්නේ එහිදී එ.ජා.ප. හැර අනෙකුත් ලොකු කුඩා සියලු පක්ෂ, සන්ධාන සියල්ලක්ම තම යෝජනා ඉදිරිපත් කර තිබිම නිසාය.

එ.ජා.ප. අද වන තෙක් මෙම නව ව්‍යවස්ථා යෝජනා ගැන තම මතය හා යෝජනා පැහැදිලිව ඉදිරිපත් කිරීමෙන් මග හැර සිටින බව අප අමතක නොකළ යුතුය. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවා ඉදිරිපත් කළේ තම පෞද්ගලික මතය හා යෝජනා පමණි. එ.ජා.ප.ය තම යෝජනා පැහැදිලිව  කමිටුවට හා රටට ජනතාවට හෙළි කිරීමෙන් මූණ හංගාගෙන වැළැකී ඉන්නේ ඇයි? අපට ඇති ප්‍රශ්නය එයයි.

රනිල්, ලක්ෂ්මන් කිරිඇල්ල මේ දිනවල මහනායක හිමිවරු ඇතුළු රට පුරා පන්සල්වල චාරිකා කරනු මාධ්‍යවල නිතර පළවේ. ඔවුන් කියන්නේ කුමක්ද? අපි රට බෙදන්නේ නෑ. ඒකීය භාවයට මේ වැඩ පිළිවෙළින් හානියක් නැහැ. ව්‍යවස්ථාවේ බුද්ධාගම හිමි තැන අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියායි. ඊට අමතරව පවසන කරුණු නම් ජාතික ප්‍රශ්නයට මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් සියලු ජාතීන්ට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කරන බවය. රට බෙදන්නේ නැහැ බලය පමණක් බෙදන බවය. මේ කතාව රනිල් හා ලක්ෂ්මන් කිරිඇල්ල රට පුරා කියාගෙන ගියද ඔවුන් (එ.ජා.ප.) විසඳුම කුමක්දැයි ප්‍රකාශ නොකරයි. එය ප්‍රකාශ කළ යුතු අතර දැන ගැනීමට ජන්දය දුන් ලක්ෂ තිහ හතළිහක් පමණ වන අපට හෝ අයිතියක් තිබේ.

මෙහිදී “ඒකීය” යන වචනය ව්‍යවස්ථාවට  ඇතුළත් වේද නැද්ද යන්න නොවේ ප්‍රශ්නය. “ඒකීය” යන වචනය තබාගෙන රට බෙදන්න ඕනෑ තරම් හැකියාව තිබේ. ඔරුමිත්තනාඩු (ඒකීය) යන වචනය ගැන කලින් අදහසක් තිබුණි. ඔරුමිත්තනාඩු යනු ඒකීය නොව “එක්සත්” යන අර්ථයයි. ඊට විවේචන විත් විරුද්ධතා  තදින් මතුවිය. ලක්ෂ්මන් කිරිඇල්ල දැන් පවසන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම “ඒකීය” යන වචනය ඇතුළත් කරන බවය. ඉංග්‍රීසියෙන් ඒකීය යන වචනයේ පැහැදිලි කිරීම සමස්තයක් යන්නය. සිංහල, දෙමළ  හා ඉංග්‍රීසියෙන් “ඒකීය” යන්න යොදන්නට උත්සාහ ගන්නේ ජනතාවගේ ඇස් වසා, කොළේ වසා පෙන්වන්නටය. එය නව ව්‍යවස්ථාවකදී UNITARY යන වචනය ඉවත් කිරීමේ වෑයමකි. ඒකීය යනුවෙන් ඉංග්‍රීසි වචනයක් තිබේද? මේ රවට්ටන්නේ කාවද?

“ඒකීය” යන්න ‍ලේබලයක් බවට පත් වෙමින් තිබේ. 2013 සුමන්තිරන් හා ඇතිකරගත් සිංගප්පූරු ගිවිසුමේ (පසුකාලීන ආර්ථික සිංගප්පූරු ගිවිසුම නොවේ) ඒ යෝජනා දහය තුළ ඒකීය යන්න නැත. එහි සඳහන්කර ඇත්තේ “බලතල” යන්නයි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නිතරම පවසන්නේ ‍ලේබලය ප්‍රමාණවත් නොවේය යන්නයි. රනිල් හා සම්පන්දන් නිතර පවසන්නේ “අප උත්සාහ ගන්නේ රට බෙදන්න නොවේ, එක්සත් නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක්” යන්නය. බලය පමණක් බෙදීමය. බලය බෙදන විට යුද, නාවික හා ගුවන් හමුදා ප්‍රධාන ආරක්ෂක  අංශ ‍පොලීසිය මහ ආණ්ඩුවට අයත්ය. විදේශ කටයුතු, තානාපතිවරු කොළඹ සිටීම. මුදල්, ආගමන විගමන, (එක පාස්‍පෝට් බලපත්‍රයයි රටටම) මේවා මහ ආණ්ඩුවටයි. අනික්වා අපට දෙන්න. මේ ඉල්ලීම්වලට එ.ජා.ප. එකඟද? ඇයි එයට උත්තරයක් රටට නොදෙන්නේ.

13 වන සංශෝධනයෙන් ඕනෑවටත් වඩා දෙයක් පළාත් සභා හරහා ලැබි තිබෙන බව සියල්ලන්ම දන්නා කරුණකි. 13+ (තර්ටින් ප්ලස්) ගැන මහින්දත් කී බව ඇත්තකි. එහෙත් ඒවා ඉටු කළ නොහැකි බව ඔහු පවා දනී. ප්‍රාදේශීය  ‍පොලිස් බලතල දුන් විට කුමක්වේද? අද වන විට උතුර නැගෙනහිරදී ‍පොලීසියට මුහුණ දීමට සිදුව ඇති බලපෑම් හා අවහිරකම්, දේශපාලනඥයන්ගේ බලපෑම් කෙතරම්ද? ‍පොලිස් බලතල ඔවුනට දුනහොත් කුමන තත්ත්වයක් වේද? රටට මත්ද්‍රව්‍ය විශාල ලෙස ගෙන එන්නේ උතුරෙන් හා නැගෙනහිරින් බව (මුහුදු මගින්) ප්‍රසිද්ධ රහසකි. පසුගියදා කේරළ ගංජා තොගයක් අල්ලා ගත් පසු ගෙන ආ අය නිදහස් කළේ උතුරේ දේශපාලනඥයෙකුගේ බලපෑමෙන් බව වාර්තා විය. 13 සංශෝධනයේ සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට එ.ජා.ප. කැමතිද?

මුළු රටටම බලපාන ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ මහ ආණ්ඩුව සතු අයිතිය හා බලය ඉවත් කරලීමට කරන ඉල්ලීම්වල එ.ජා.ප. එකඟදැයි ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි. විපක්ෂ නායක පසුගියදා ප්‍රකාශ කර තිබුණේ “ව්ඥඹ ඛිධදඵබඪබභබඪධද ඹඪබඩ ඪද උදඪබඥඤ උදඤඪමඪඤඥඤ ඹ්චදඬච” යනුවෙනි. සියල්ලම යටි අදහස් සහිත ප්‍රකාශයි. උතුරු නැගෙනහිර එකතු කිරීමේ අදහස හා යෝජනාවට එ.ජා.ප. එකඟද නැද්දැයි පිළිතුරක් තවමත් නැත. සම්පන්දන් පැහැදිලිව කියන්නේ උතුර නැගෙනහිර යනුවෙන් වෙන් කිරීමක් නොව  සංවර්ධන කටයුතුවලදී උතුර නැගෙනහිර එකතු කරන්න යන්නය. එය ඔවුන්ගේ ස්ථාවරය බවය. රට බෙදන්න එපා බලය බෙදන්න යන්නය. උතුර නැගෙනහිර එකක් ලෙස සලකන්නට බවය.

සම්පන්දන් ඇතුළු අය  ඉල්ලන මේ උතුරු නැගෙනහිර එකතු කිරීමේ ඉල්ලීම සාධාරණ නොවන්නේ වෙන වෙනම පළාත් සභා දෙකක් තිබෙන හෙයිනි. මේ එක් කිරීමේ යෝජනාව ගැන එ.ජා.ප.  නායකයන් තම අදහස ප්‍රකාශ නොකරන්නේ ඇයි? පළාත් සභාවල අත්තනෝමතික ක්‍රියාවන්, ජාතික වශයෙන් අවදානම් හා විරෝධී තීන්දු තීරණ පාලනය කරන්නේ පළාත් ආණ්ඩුකාරවරයායි. ඔහු මහ ආණ්ඩුවේ නියෝජිතයායි. නව යෝජනා මගින් ආණ්ඩුකාරයා මහ ඇමැති යටතට පත් කරන්නට අපේක්ෂා කරයි. ඒකීය බව පමණක් නොව මහ ආණ්ඩුවේ බලය ඉන් අහෝසිවේ. යම් යම් මූල්‍ය බලතල ඉල්ලයි. ඒවාට එ.ජා.ප. එකඟදැයි පැවැසිය යුතුයි.

උතුරු හා නැගෙනහිර ජාතිවාදී දේශපාලනඥයන් හැම විටම එහි ජනතාව අතර ජාතිවාදී හැඟීම් වෙනුවට මහජාතිය සමග මහ ආණ්ඩුව සමග එක්ව සංහිඳියාවෙන් කටයුතු කිරීම වළක්වන්නට හැම විටම උත්සාහ ගන්නා බව අමුතු කතාවක් නොවේ. පසුගියදා උතුරේ ඇතැම් හමුදා කඳවුරු ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉවත් කරන්නට යන විට ඊට එරෙහිව පළාතේ දෙමළ ජනතාවම විරෝධය දැක්වූ සැටි වාර්තා විය. උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු ලෙස මොහාන් විජේවික්‍රම හා ඩී. ඒ. චන්ද්‍රසිරි හමුදා නිලධාරීන් කටයුතු කළේ ජනතාවට ඉතා සමීපවය. එනිසා ඔවුහු ඒ පළාත්වල ඉතා ජනප්‍රිය වූහ. මේ තත්ත්වය දරා ගත නොහැකි වූ උතුර නැගෙනහිර දේශපාලනඥයන් කළේ ආණ්ඩුවට බලපෑම් කර ඒ නිලධාරීන් ඉවත් කිරීමය.

දැන් මේ යෝජනාවලිය තුළ මතුව ඇති අවදානම් තත්ත්වය හා පසුබිම නම් බුද්ධාගමට තැන දෙනවද, ඒකීයද නැද්ද යන්න ‍ලේබල් කිරීම නොවේ. ඔවුන් කියන්නේ යෝජනාවලිය තුළින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය යන්න ඉවත් කොට හැම අනික් ආගම්වලටද සම තැන් දෙන බවය. හකීම්ට මේ වන විටත් බලතල දී තිබෙන්නේ ඒ සඳහාය. එමගින් ඉබේටම බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහෝසි වේ.

වර්තමාන ආණ්ඩුව සුළු ජාතීන් හා වටේ ඉන්නා අනෙක් අය හා එක්ව මුල සිටම උත්සාහ කළේ ද දැන් කරන්නේද මහ ජාතියේ ඇස්වලට වැලි ගසමින් සංඝයාවහන්සේව නොමග යවමින්ද රට කැබැලිවලට බෙදන්නටය. මේ සඳහා ශූර කපටි උපාය මාර්ග පාවිච්චි කරයි. රනිල් රට පුරා මහානායක හිමිවරුන්ටද  කියන්නේ මේ ව්‍යවස්ථා නව නිර්මාණය මුළු පාර්ලිමේන්තුවේම 225 එක් වී කරන දෙයක් බවය. එවිට ‍පොහොට්ටුව වේවා ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වේවා පිට ඉඳන් දක්වන විරෝධතා  ප්‍රකාශ පරස්පරවේ. මේ නිසා මුල සිටම මා ප්‍රකාශ කළේ මේ ව්‍යවස්ථා සංශෝධන කපටි හා වංචනික ක්‍රියා මාර්ගයට සාකච්ඡාවලට නොයා සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය යන්නය. පාර්ලිමේන්තුවට ගෙන ආ විට පරද්දන කතා ඵලක් නොවේ. පාර්ලිමේන්තුවේ  සාකච්ඡා වාර්තා පිටකරන්නට සිදුවේ. ඒවා හැම පක්ෂයකටම අයිති වගකීමක් ඇති ඒවාවේ. මට හැඟෙන ප්‍රශ්නය නම් මේ යෝජනාවලියට මේ තරම් විරුද්ධ මහින්දලා, ජී.එල්.ලා උදය ගම්මන්පිලලා ඇතුළු කණ්ඩායම් තව දුරටත් පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡා යෝජනා කතා බහේ රැඳී සිටීමය.

මේ වෙලාවේ රටට ව්‍යවස්ථා සංශෝධනයක හදිසි අවශ්‍යතාවක් ඇති කරන්නේ කවුද? සම්පන්දන්ලා, හකීම්ලා, රිෂාර්ඩ් බදියුදින්ලාගේ සහය තව දුරටත් නැතිව කෙළින් ඉන්න බැරිකම නිසා එ.ජා.ප. දේශද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයට උත්සාහ ගනී. රටේ දරිද්‍රතාවය ජීවන වියදම හා විරැකියාව ආදියට වඩා ව්‍යවස්ථා සංශෝධනය එජාපයට වැදගත් හෙයිනි. මනෝ ගනේෂන් පැහැදිලිව ප්‍රසිද්ධියේ පවසන්නේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බවට තමන් ඇතුළු අනෙක් පක්ෂවලට මෙන්ම ජාත්‍යන්තරයටද ‍පොරොන්දු වී ඇති බවයි. එනිසා එය ඉටු කළ යුතු බවයි.

1972 දී හා 1978 දී බැරි වූ දේශද්‍රෝහී ක්‍රියාව නව ව්‍යාජ මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය. වටහා ගැනීම සියලුම රටට ආදරයක් ඇති දේශපාලනඥයන් පමණක් නොව රට වැසියන්ගේද යුතුකමකි. අද රනිල් - ලක්ෂ්මන් කිරිඇල්ල වැනි අය හාමුදුරුවරු ජනතාව පමණක් නොව තම එ.ජා.ප. පාක්ෂිකයන්ව පවා රවට්ටන තැනට කටයුතු යොදමින් සිටිති. ජ.වි.පෙ. කියන්නේ තමන් සිටියදී රට බෙදන්නට ඉඩ නොදෙන බවය. එහෙත් වර්තමාන  ආණ්ඩුවට අසීරු හැම අවස්ථාවේම සහය දෙමින් යමින් උපකාර කරන ජ.වි.පෙ. කතා විශ්වාස කළ හැක්කේ කාටද යන්න ප්‍රශ්නයකි.

මා නිතරම කල්පනා කරන්නේ මහින්ද - ජී.එල්. ඇතුළු පක්ෂ හා නායකයන් තවදුරටත් රනිල්ගේ හා කිරිඇල්ලගේ මුළු පාර්ලිමේන්තුවේම 225 එකමුතුව යන ගැටයට අසු වී ඇත්තේ යැයිද යන්නය. ඉන් ඉවත් නොවන්නේ ඇයිද යන්නය. ඔවුන්ට උතුරු නැගෙනහිර ජනතාවගේ සිත් දිනා ගැනීමේ යටි අදහස් නිසාදැයි විටෙක මට සිතේ.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම

සකස් කළේ : මර්වින් දෙනගම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.