lakbima.lk

ගෑස් සිලින්ඩරය දැක දෑත නළ‍ලේ තබා වඳිති

කොල්ලා කෙල්ල පස්සෙන් යන්නේය. කෙල්ල ගණන් ගන්නේ නැත්තේය. කෙල්ල ගස්සන්නේය. අ‍පෝ මෙයාගේ ගෑස්. කොල්ලා එහෙම කියන්නේය. ඒ කියන්නේ සිලින්ඩර ගෑස් ගැන නොවේය.

යහපාලනය ආවේය. ගූගල් ගෑස් බැලුමක් උඩ ඇරියේය. ඒ ඩිජිටල් ඇමැතිය. දෙවරක්ම උඩ යැව්වේය. ගෑස් බැලුම බිම වැටුණේය. ඇමැතිගේ ගෑස්ද බැස්සේය.

යහපාලන ඇමැතිවරු සිටියේ ගෑස් පිටය. මාධ්‍ය හමු පවත්වන්නේය. ප්‍රශ්න අහන්නේය. ඒ මාධ්‍යවේදීන්ය. ඇමැතිගෙන් ලැබුණේ සැර උත්තරය. කවුරුත් ගණන් ගත්තේ නැත්තේය. හිටියේ ගෑස් පිටය. හදිසියේ ආණ්ඩුව පෙරලුවේය. හැමෝගෙම ගෑස් බැස්සේය.

පන්ස‍ලේ පින්කමක්ය. සෙනඟ ‍පෝලිමේය. යන්නේ සාධුකාර දීගෙනය. ආච්චිලා, සීයලා, හැරමිටි බිම දමන්නේය. සාධු නද දෙන්නේය.

‍පෝලිම දවසින් දවස දිගු වන්නේය. සාධු නද තව පැතිරෙන්නේය. අසූ මහ ශ්‍රාවකයන්ගේ ධාතු යැයි බැතිමතුන් සිතුවේය. දැන් ධාතු ප්‍රදර්ශන හැම තැනමය. බුද්ධ කාලයේ නොසිටි ශ්‍රාවකයන්ගේත් ධාතු ප්‍රදර්ශනය. මිනිස්සු හිතුවේ එහෙමය. මණ්ඩපයට ළං වුණේය. මල් මාලා දමා ඇත්තේය. හඳුන්කූරුද දල්වා ඇත්තේය. ආවතේවකරුවෝද හැම තැනමය. බැතිමතුන්ට ඒ අයත් ගෑස් දමන්නේය. මණ්ඩපයට ළංවෙනවිට සාධු හඬ දෙගුණ වන්නේය. කාසි විසි කරන්නේය. කෝ.... කෝ.... ධාතු කරඬුව යැයි බැතිමතුන් විමසන්නේය. මේ තියෙන්නේ යැයි ආවතේවකාරයෝ කියන්නේය. විපරමින් බලන්නේය. මල් මාල දමා සරසා ඇත්තේය. ඒ ගෑස් සිලින්ඩරයක්ය. බැතිමතුන් තවත් විපරම් කරන්නේය. ඇයි ගෑස් සිලින්ඩරයක් යැයි අසන්නේය.

කට වරද්ද ගන්න එපා කියන්නේය. ඒ ආවතේවකාරයන්ය. ආච්චිලා, මුණුපුරන්ටද උපදෙස් දුන්නේය. ආන් පුතේ ගෑස් වහන්සේ යැයි කියන්නේය. සාධුකාර දීපන් කියන්නේය.

ගෑස් සිලින්ඩරයකට වඳින්නේ ඇයිදැයි අසන්නේය. ඒ කොල්ලො කුරුට්ටන්ය. ගෑස් නැත්නම් අපේ උන්නාන්සේ සේවය කරන්නේ කොහොමදැයි අසන්නේය. ඒ පන්ස‍ලේ දායකයෝය. නායක පදවියේ වැඩ, ධර්ම ප්‍රචාර, මේ සියල්ල ගෑස් නිසාය. දායකයා උස් හඩින් කියන්නේය. ඇයි සමාජ සේවා වැඩත් කළේ ගෑස් නිසාය. තවත් දායකයෙක් කීවේය.

ආච්චිලාට ඒ ඇසුණේය. දෑත නළ‍ලේ තබා ගත්තේය. අනේ මතු මත්තෙත් අපේ හාමුදුරුවෝ ගෑස් සිලින්ඩරයක්ම වේවායි කීවේය. අපේ හාමුදුරුවන්ට කළ උපකාරයෙන් ගෑස් සිලින්ඩරය නිවන් දකීවායි සීයලාද කියන්නේය.

දැන් අලුත් යෝජනාවක් ඇත්තේය. ඒ නොසනඩාලයන්ගෙන්ය. ගෑස් ලාංඡනය වහා ඉවත් කළ යුතුය. වටාපතක් ලාංඡනයට දැමිය යුතුය. වටේම අකුරු කෙටිය යුතුය. ඒ චරථ භික්ඛවේ චාරිකං කියාය. ආච්චිට ඒ ඇසුණේය. කොල්ලාට හැරමිටියෙන් තඩි බෑවේය. කොල්ලා දිව්වේය. ඒ අම්මෝ ආච්චිගේ ගෑස් කියාගෙනය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.