lakbima.lk

පස්ස බලා පස්ස බලද්දී බඩු මිල පස්ස පෙන්නලා

ජනතාවට දැන් ඇතිවෙලාය. ඒ දේශපාලකයන්ගේ පස්ස බලලාය. ඡන්දෙන් පස්සේ ජනතාවට පෙන්වන්නේය. ඒ පස්සය. ඒ අස්සේ කොල්ලෝ ටිකක් පෙන්නුවෝය. ඒ පිදුරංගලදීය පෙන්නුවේ පස්සය. වැඩේ ගැස්සුණේය. කොල්ලන්ගේ පස්ස  ලෝකයාම දැක්කේය. පස්ස දැන් උසාවියට ගියේ ය.
උඩ පැන්නොත් බිම වැටෙන්නේය. එවිට බිම ඇනෙන්නේය. ඒ පස්සය. ඒ නිසා නුවණැති අය ප්‍රවේශම් වන්නේය. ඒ උඩ පනින්නේ නැතිව ඉන්නය. සමහරු උඩ පනින්නේය. ඒ තනතුරු නිසාය. තනතුරු නැතිදාට වැටෙන්නේය. ඒ  බිමටය.
මේ දවස්වල උඩ පනින්නේය. ඒ ට්‍රම්ප්ගේ ඩොලරයයි. ඩොලරය උඩ යනවිට පස්ස බිම ඇන ගන්නේ අපේ රුපියලය.  රුපියල දැන් බාල්දුවෙලාය. ඒ සමහර දේශපාලකයන් වගේය. වීරවංශත් එහෙම කීවේය. ඒ මැතිසබේ ලොක්කා ගැනය. ලොක්කත් දැන් රුපියල වගේය. බාල්දු වෙලාය.
කාන්තාවගේ හැඩය   එන්නේද පස්සෙන්ය. ලෑලි වගේ පස්සවල්ද ඇත්තේය. කොල්ලා පස්සෙන්ම එන්නේ නම් කෙල්ල ගස්සන්නේය. ඒ පස්සය. එවිට කොල්ලා විසි වී යන්නේය.
පස්ස එතරම් වටින්නේ නැත්තේය. කවුරුත් හිතුවේ එහෙමය. එහෙත් පස්සට වටිනාකමක් දුන්නේය. ඒ මහ ඇමැතිය.  මන්ත්‍රීලාට පස්ස තියන්න පුටු ඕඩර් කළේය. එකක් ලක්ෂ 6 පැනලාය. ඒ පිටරටින්ය. පස්ස තියන්න ලක්ෂ ගාණක පුටු ගෙන ඒම පත්තු වුණේය. ඒ අසා රත්වුණේය. ඒ ආණ්ඩුකාරයාගේ ඉහ මොළය. වහාම නතර කළේය. ඒ පුටු ගෙන ඒමය. පරීක්ෂණ කළේය. හරි අපූරුය. පුටු ගේන්න කිව්ව කෙනෙක් නැත්තේය.  යෝජනා කළ කෙනෙක්ද නැත්තේය. ඒත් ඕඩරේ ඇත්තේය. ලංකාවේ හැටි එහෙමය. සියල්ල ඕපපාතිකය. කැකිල්‍ලේ රජු නොහිටියේ වාසනාවටය. හිටියානම් හිස ගසා දමන්නේය. ඒ පුටු ඕඩරේ හෙළි කළ මාධ්‍යකාරයන්ගේය.
පුටු ඕඩරේ කළ අය ඇන ගත්තේය. ඒ පස්සය. ආණ්ඩුකාරයාගේ තීරණය වැරදිය. මන්ත්‍රී උතුමන්ගේ පස්ස වටිනා බව ඔහු නොදන්නේය. මහ ඇමැතිනම් එය දන්නේය. ඕඩරේ දුන්නේ ඒ නිසාය. පස්ස වටින්නේ ඇයිදැයි සමහරු අසන්නේය. මන්ත්‍රීගේ මොළේ තියෙන්නේ එතනය. නොසන්ඩාලයෝ එහෙම කියන්නෝය.

පළාත් සභාවේ විතරක් නොවේය. දියවන්නාවේද එහෙමය. මොළේ එතනය. පඩි වැඩි කර ගත්තේය. කෝටි ගණන් වාහන ගෙන්වා දුන්නේය. සුරසැප විඳින්නේය. ළඟදී ඇමැතියෙක් කට ඇරියේය. වැඩියෙන් වියදම් නොකර ඉන්න කිව්වේය. ඒ ජනතාවටය. ඒකත් හරිය. ජනතාව මුරුංගා කොළ කන්නේය. ඒ කන්න නැතිවට නොවේය. ඇමැති උතුමන්ට සුරසැප දෙන්න සල්ලි ඉතිරි කරන්නය. හරිම සන්තෝෂය.
ඇමැති උත්තමාවියක් සත්‍ය හෙළි කළේය. ඒ මුරුංගා කොළ ගැනය. ආණ්ඩුව අපහසුවට පත් කරන කතාය. ඒක ඇත්තය. ජනතාවට සුර සැපය. කන්න නැහැ කියන්නේ හතුරෝය. සල්ලි උතුරන්නේය. පඩිද  වැඩි වන්නේය. බදුද වැඩිවන්නේය බදු කොච්චර ගැහැව්වත් ගාණක් නැත්තේය. තවම නොගහන්නේ හුස්ම ගන්නවාට විතරය. ඒකත් ගැහැව්වොත් සතුටුය. ජනතාව එහෙම කියන්නේය.
මිනිස්සු හිටියේ පිදුරංගල පෙන්වූ පස්ස බලාගෙනය. ඒ අස්සේ ගෑස් වැඩි කළේය. ආප්පෙත් ඉහළ ගියේය. පිදුරංගල පස්ස බලා පස්ස බලනවිට දේශපාලනඥයෝ ජනතාවට පස්ස පෙන්නල ඉවරයි
මෙහෙම ගියොත් වැඩක් ඇත්තේය. රටම පිදුරංගලට නැගිය යුතුය. පස්ස පෙන්නිය යුතුය. තමන්ගේ පස්ස තමන්ම විකා ගත යුතුය. ඒ සතුට වැඩිකමටය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.