lakbima.lk

ආච්චිලා සීයලා හුරේ දමා 2050ටත් නායක සීයාම ඉල්ලති

එ.ජා.ප.යට අලුත් නායකයෙක් ඉල්ලුවේය. විශ්වාසභංගයක්ද ගෙනාවේය.  ඒත් දිගටම නායකයා එතුමාය. එය ප්‍රීතියක්ය. ඒ පාක්ෂිකයාටය. තමන්ට සිටින්නේ නොසැලෙන නායකයෙක්ය. පාක්ෂිකයෝ ප්‍රීතිඝෝෂා කරන්නෝය.
පාක්ෂිකයන් සිටියේ පණ බයෙන්ය. ඒ නායකත්වයෙන් එතුමා යයි කියාය. සමහරු බලාගත් අත බලාගෙනය. උදේට කෑවත් සමහරු රෑට නොකෑවේය. ඒ හිතේ දුකටය.
දැන්නම් ස්ථිරය. පාක්ෂිකයෝ සතුටින්ය. නායකයා යන්නෙ   2030දීය. තව වසර 12කින්ය. ජනතා අපේක්ෂාවත් ඒකමය. හරිම ප්‍රීතියක්ය. 2030 පුවත අසා මල් වෙඩි ඉබේ පත්තු වුණේය. පක්ෂයේ ලාංඡනයේ සිටි අලියාද එළියට පැන්නේය. කුංචනාද කළේය. ඒ අසා කැ‍ලේ අලිද අලි වැටවල්කඩා දැම්මේය. ඒ ප්‍රීතිය වැඩි කමටය. සතුට වැඩිකමට නාබර අලි ගෙවල් කීපයක්ම කඩා දැම්මේය. 2030 ගැන අසා කැ‍ලේ අලින්ටත් සන්තෝෂේ  ඉන්න බැරුවාය.
2030 උදාවන්නේය. 2018 සිටි පාක්ෂිකයෝ දැන් වයසය. නායකයා එනතුරු කට්ටියම බලාගෙන ඉන්නේය. ඒ සංවත්සරයටය.  ප්‍රීතිඝෝෂා නැගුණේය. නායකයා එන්නේය. ඒ දෙතුන් දෙනෙකුගේ වාරුවෙන්ය. අතේ හැරමිටියක්ය. වාරුවෙන් ආවත් අතරමග නැවති හති අරින්නේය. නායකයාගේ කට වැඩ කරන්නේය. ඒ ඒ දවස්වල නංගිලා මල්ලිලාට කවන්න හැදූ චුයින්ගම් එකක්  ඉතිරි වී හපන්නේය.
වාරුවෙන් ගොස් මුලාසනේ වාඩිවන්නේය. මේ සෙනග මොකදැයි අසන්නේය. ඇයි සර්, සංවත්සරයනේ කියන්නේය. මොන සංවත්සරයදැයි අසන්නේය. සර් අපේ පක්ෂයේ යැයි කියන්නේය. මොන පක්ෂයේදැයි අසන්නේය. හරි පුදුමයක්ය එතුමාට දැන් මතකයක් නැත්තේය.
ඒ අතරේ තවත් පැරණි සාමාජිකයෙක් ගෙන එන්නේය. ඒ හතර දෙනෙක්  ඔසවාගෙනය. එතුමා බෙරිහන් දෙන්නේය. මරන්න ගෙනියනවාදැයි අසන්නේය. සංවත්සරයට කියමින් බූරු ඇඳක නිදි කරවා වේදිකාවේ තබන්නේය. විපරමින් කවුරුත් බලන්නේය. මේ ඒ දවස්වල  තිරිහන් වෙන්න පෙති ගසා ඉංජක්ෂන් ගසා ගත් ඇමැතියාය.  නිවේදකයා සංවත්සරයට එන අය ගැන කියන්නේය. දැන් නායකයා පුටුවේම නිදිය. ඔන්න අපේ අනාගත නායකයා එන්නේය. ප්‍රීති ඝෝෂා නැගෙන්නේය. අපේ පක්ෂය නිතරම තරුණයන්ට තැන දෙන්නේය.  නිවේදකයා එහෙම කියන්නේය. බිම් මට්ටමේ නායකයාද එන්නේය. ඒත් හැර මිටියක් අතේ තියාගෙනය. එතුමා තවත් මිටි වෙලාය.  ඒ කතා කරනවිට උඩ පැනලාය.
තවත් අය ‍පෝලිමේ එන්නේය. බොහෝ අය හැරමිටි ගහගෙනය. වඩිගපටුන නැටුමක්දැයි කොල්ලෙක් අසන්නේය. නැහැ වැඩිහිටි සමිතියේ සංවත්සර යැයි නොසන්ඩාලයෙක් කියන්නේය. ආච්චිලා කීප දෙනෙක්ද එන්නේය.
අනාගත නායකයාගේත් දැන් දත් හැලිලාය. නායක තුමා ළඟින් හිඳගෙන කතා කරන්නේය. දෙන්නේ මල්‍ලේ ‍පොල් උත්තරය. කොහේ ඉදන්ද ආවේ අසන්නේය.  පදිංචිය කොහේදැයි අසන්නේය. නායකයාටත් දෙවැනියා අඳුරාගන්න බැරිය.
නායක සීයාට ජයවේවා කොල්ලන් කෑගසන්නේය. ඒ ප්‍රීතිය වැඩි කමටය. සද්දේ වැඩි අරුන් කියන්නේ මොනවාදැයි නායකයා අසන්නේය. දැන් කන් ඇසීමද අඩුය.
සංවත්සරය පටන් ගන්නේය. යෝජනාවක් ගෙන එන්නේය. අපේ නායකයා අපට හොඳ කියන්නේය. 2050 වෙනතුරු අපේ නායකයා ඔබතුමා යැයි කියන්නේය.  වාඩි වී සිටින ආච්චිලා සීයල අත ඔසවා කැමැත්ත පල කරන්නේය.
එය ප්‍රීතියක්ය.  එතුමාට ඇසුණේය. වාරුවෙන් මයික්‍රෆෝනය ළඟට ගියේය. අපි 2050දී අලුත් පරපුරකට පක්ෂය දෙනවා කියන්නේය. ඒ අසා බිම් මට්ටමේ නායකයාද අත්පුඩි ගසන්නේය. ඒ හැරමිටිය පුටුවට හේත්තු කරලාය.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.