lakbima.lk

පොලීසිය නටන විට හොරු බෙර ගසන්නෝය

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේය. ඒ පැරණි කියමනක්ය. හොරෙන් හොරෙන් මොනවා කළත් ඒවා කවදා හරි එළිවෙන්නේය. අර කියමනේ තේරුම ඒකය.
ගමේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුකුළු කරන්නේය. ගමේ සී.සී.ටී.වී කට්ටියට එය හසු වන්නේය. අරකිගේ නැටිල්ල පේනවා නේදැයි එවිට අසන්නේය. ඒකි දහඅට සන්නියම නටලා හමාරයි වගෙයි. එහෙම කියන්නේ වැඩේ දුරදිග ගියාමය. අන්න අරූ අරකිත් එක්ක නටන්නේය. ඒ කියන්නේ පෙරහරක නැටුමක් නොවේය. කෙල්ලයි කොල්ලයි කතා කළාටය.
ඉස්සර ගම්වල තොවිල් නටන්නේය. ඒ හූනියම් කපන්නය. නැතිනම් පෙරේතයන් එළවන්නය.
එවිට කපුවා නටන්නේය. ඒ ආරූඪයෙන්ය. දැන්නම් එළවනවානම් පෙරේතයන් ඉන්නේය. ඒ රට කන උන්ය. පුහුල් කපනවා නම් අද වෙනම වගා කරන්න ඕනේය.
දහඅට සන්නියද ඉස්සර නැටුවේය. ඒ ගම්වලය. දැනුත් නටන්නේය. ඒ මැති ඇමැතිලාය. රට උලාකන්නය.
ඉස්සර බිංකුංඩන්ද නැටුවේය. ඒ ‍පොළොවේ පුංචි හිලකය. බිංකුංඩෝ බොල බිංකුංඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් කියන්නේය. දැන් නම් බිංකුංඩෙක් දකින්න නැත්තේය. දැන් වැඩිපුර ඉන්නේ කුඩ්ඩන් සහ රට කන අංකුංඩන්ය.
වඩිග පටුනත් නැටුමක්ය. පෙරහරවල නටන්නේය. මොනර නැටුමත් ඒ වගේය. පෙරහරේ යන්නේය. කැ‍ලේ ඉන්න මොනරුත් නටන්නේය. ඒ පිල් විදහාගෙනය. නමුත් පස්ස එළියේය. අපේ සමහර අයත් එහෙමය.
පෙරහරේ අලි ඇතුන් යන්නේය. ඒ සන්සුන් ගමනින්ය. තවත් අලි ඉන්නේය. පෙරහරේදී නටන්නේය. ඒ බෙර තාලෙටය. පෙරහරේ නැට්ටුවන් නටන්නේය. ඉඳහිට පිනුම්ද ගහන්නේය. සෙනඟ වැඩි තැන්වල වැඩියෙන් නටන්නේය.
නාහෙට අහන්නේ නැති අය ගම්වල ඉන්නේය. ඒකා ඕනෑවට වඩා නටන්නේය. ගමේ අය එහෙම කියන්නේය.
සමහර අය කරන වැඩක් නැත්තේය. ඒත් කාලයයි මුදලයි වැය වන්නේය. නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියන්නේ එවිටය. අපේ ආණ්ඩුවත් එහෙමය. නොසන්ඩාලයෝ එහෙම කියන්නෝය.
ආන් අරකි නටන්න ගිහින්ය. ගම්වල එහෙම කියන්නේය. එහෙම කියන්නේ හොඳට ඇඳගෙන තරුණියකටය. ඒ පෙරහරේ නැටිල්ලක් නොවේය කියන්නේ වෙන දෙයක්ය.
නුවර පෙරහර අවසන් වුණේය. නැට්ටුවන්ට සම්මාන දුන්නේය. ඒ ජනපති අතින්ය. ඒක රජකා‍ලේ සම්ප්‍රදායක්ය. වැඩේ ඉතා හොඳය. ඒත් කොස්සක් ඇත්තේය. ඒ එක නැට්ටුවෙක් මගහැරුණේය. ඔහු හොඳට නැටුවේය. ඒ නටපු නැටිල්ලට නැට්ටුවෝද බය වුණේය. බෙර කරුවන්ට බෙරේ ගහගහන්න බැරි වුණේය. නැටුම ඒ තරම් වේගවත්වය. පෙරහර බලන්න ආ අය සාධුකාර දුන්නේය. අලුත් නැට්ටුවා කවුදැයි බැලුවේය. පෙරහරේ යන අලි ඇතුන්ද හොල්මන් වූවේය. කුංචනාද කළේය.
මෙන්න ලංකාවේ ‍පොලිස්පති නටන්නේය. ඒ තාලෙට පාද තබාය. ඇතාටත් හිනා ගියා වගේය. බැතිමතුන් සාධුකාර දුන්නේය. ඒ සන්තෝෂේ බැරුවටය. ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද ‍පොලිස්පතිවරු සිටින්නේය. ඔවුන් තනතුර ගරු ගාම්භීර කොට සලකා තේජාන්විතව රාජකාරී කරන්නේය. අපේ ‍පොලිස්පති එහෙම නැත්තේය. තනතුර තුට්ටුවකට මායිම් කරන්නේ නැතිය. එහෙම ‍පොලිස්පති ලෝකෙටම ආදර්ශයක්ය.
රටට අඩුවී තිබුණේ එච්චරය. නටන ‍පොලිස්පති කෙනෙක් රටම හෙව්වේය. දැන් හරිය. ඒ අඩුවත් පිරිමැහුනේය. ‍පොලිස් කාන්තාවන්ට වැඩක් නැත්තේය. නටන්නේ ‍පොලිස් ලොක්කාය. ඩී.අයි.ජී.ලාට වැඩක් ඇත්තේය. ඒ බෙර ගසන්නය. එවිට නටන්නේය. ඒ ‍පොලිස්පතිතුමාය. මෙච්චර කල් ‍පොලිස්පතිලා ගහන පදයට වෙනත් නිලධාරීන් නැටුවේය දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්තේය. මේවාට අනේ කා‍ලේ වනේ වාසේ කිවයුතු නැත්තේය.
මෙච්චරකල් ‍පොලීසිය සිටියේ සීරුවෙන්ය. ඒ හදිසි අවශ්‍යතාවලටය. දැන් සීරුවෙන් ඕනේ නැත්තේය. නට නටා හිටිය හැකිය. කසිප්පු අල්ලන්න ගොස් එන විට බූල් ඔළුවේ තබාගෙන දඟර බෙල්‍ලේ ඔතාගෙන නට නටා ආ හැකිය. හොරු අල්ලන්ද එහෙම යන්න පුළුවන්ය. ‍පොලීසියෙන් එනවා දුටුවිට හොරුන්ට දුවන්න ඕනේ නැත්තේය. දිව්වේ ඉස්සරය. දැන් තියෙන්නේ බෙරයක් හොයාගෙන ගහන්නය. එවිට හොරු අල්ලන එක ‍පොලීසිය තාලෙට නටන්නේය. තුවක්කු අතේ තියේනම් තවත් නැටුමක් ඇත්තේය. ඒ ලී කෙළි නැටුමය. ‍පොලිස් කාන්තාවන්ටද නටන්න පුළුවන්ය. ඒ කළගෙඩි නැටුමය. කළගෙඩි ඕනේ නැත්තේය. ‍පොලීසියේ පරණ බෝම්බ එහෙම තිබේනම් ප්‍රමාණවත්ය. උඩ දම දමා නටන්න හැකිය.
වේගයෙන් යන වාහන අල්ලන්නේ ගස් අස්සේ හැංගිලා ඉඳලාය. දැන් එහෙම ඕනේ නැත්තේය. නැටුම් ඇඳුම් ඇද වෙස් මුහුණු දාගෙන රාලහාමිලාට පාරේ ඉන්න පුළුවන්ය. ඕනේ නම් යක් වෙස් මුහුණක් හොඳය. අමුතුවෙන් ඕනෙත් නැත්තේය. එහෙම කියන්නෝද ඉන්නෝය.
‍පොලිස්පති රටට වාසනාවක්ය. නැටුම දැක හැමෝම කීවේය. අනේ වාසනාවන්. එහෙම කිව්වේ ආච්චිලාය. එතුමාගේ වැඩ එළිපිටය. හැංගි හැංගි වැඩ නැත්තේය. නැටුවෙත් එළිපිටය. ඒ නුවර පෙරහරේය. රටට ඕනේ එහෙම කෙනෙක්ය.
මහජනයාටත් නැටිල්ල පුරුදු කළ යුතුය. එවිට ‍පොලීසියට එනවිට නට නටා එන්න පුළුවන්ය. ඕ.අයි.සී.ට තියෙන්නේ බෙරේ ගහන්න විතරය. අහිංසකයෙක් අල්ලා ගත් විට කන්බෙරය පලන ලොක්කන්ද ඉන්නේය.
පැමිණිල්ල ලියන්න රාලහාමිත් නටමින් එය ලියන්නේය. පැමිණිල්ල දාන කෙනත් නටන්නේය. එය හරි ප්‍රීතියක්ය. ජනතාව බලා සිටින්නේය. ‍පොලිස්පති දහඅට සන්නියම නටලා ‍පොලිසිත් කෝලම් මඩුවක් කරන තෙක්ය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.