lakbima.lk

තරගෙට වැඩ කිරීමට මැතිඇමැතිලා සූරයෝය

හැම තැනම තරගය. ස්කෝල ළමයි අතරත් තරගයක්ය. ඒ විභාග පාස් වෙන්නය. අම්මලා අතර තරගයක්ය. ඒ ශිෂ්‍යත්ව පාස් කරවන්නය.ටී.වී. එකෙත් තරගය. ඒ සුපර්ස්ටර් තෝරන්නය. අනුන්ගේ ගීත කියා හෝ සුපර්ස්ටාර් වන්නේය. නැටුම් තරගද ඒ අතරය.
මහ පාරෙත් තරගය. ඒ වාහන ඉක්මනින් යන්නය. තරගේ වේගය වැඩිවනවිට  හතරපස්දෙනෙක් රෝහ‍ලේය. ඒ අතපය කඩාගෙනය. නැතිනම් මෝචරියේය.
කවි කීමේ තරගද ඉස්සර තිබුණේය. දැන් තියෙන්නේ බයිලා කීමේ තරගය. ඒ ඇමැතිලාගේය. තවත් තරගයක් ඇත්තේය. ඒ වොයිස්කට් දීමටය.
දැන් එ.ජා.පෙ මැති ඇමැතිලාට තවත් තරගයක් ඇත්තේය.  ඒ වැඩ කිරීමටය. උපදෙස් දුන්නේ අගමැතිය. තරගෙට වැඩ කරන්නය. උපදෙස් අවශ්‍ය නැත්තේ තරගෙට වැඩ පටන් අරන් ගොඩක් කල්ය.
මහ බැංකුව උලාකෑවෙත් තරගෙටය. වැඩේ දුන්නේ තරගෙටය. කප් ගහපුකෙනා තවමත් රටය. ඒ තරගයෙන් දිනපු නිසාය.
තවත් අය ‍පොත් ලිව්වේය. ඒත් තරගෙටය. ලියපු කෙනාගේ දැන් කටේ පිට්ටුය. පිට්ටු නොවේ ඇලෝ මල්ලිගේ සල්ලි හිරවෙලාය. සමහරු එහෙම කියන්නේය.
අගමැති නියම තරගෙට වැඩ කිරීමටය. දැනටමත් පටන් අරන් නිසා වැඩේ පහසුය. විල්පත්තුව  කැපීමද වේගයෙන් කළ හැක්කේය. මහ බැංකුවේ ඉතිරි ටිකටත් තරගෙට වැඩේ දිය හැකිය. ලොකු අය විතරක් නොවේය. ‍පොඩි මන්ත්‍රීලාටත් තරගෙට වැඩ කළ හැකිය. මහ බැංකුව ලොකු වැඩිය. ‍පොඩි අයට සමුපකාර බැංකුවන්් ඇතිය. ප්‍රාදේශීය සභාවට යන්න කලිනුත් කෙනෙක් වැඩ පටන් අරන්ය. ඒ  යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ය. යාළු කෙල්ල තරහ වුණ නිසා පැහැරගෙන ගියේය .
අත ඇරියේ හදි කරලාය. ඒ පෙරහුරුවක්ය. ප්‍රාදේශීය සභාවෙත්, පළාත් සභාවටත්  එතනින් පාර්ලිමේන්තුවටත් යන්න සුදුසුකමක්ය. ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට ගිහින් පුරුදු වෙන්න කාලයක් නැත්තේය. යොවුන් මන්ත්‍රී කා‍ලේම පුරුදු වෙන එක හොඳය.
තවත් දේවල් පුරුදු විය යුතුය. පගා ගැහිල්ලත් හොඳය. කොන්ත්‍රාත්කාරයන්ගෙන් කප්පම් ගැනීමත් නරක නැත්තේය. ගස් කැපිල්ලත් පුරුදු විය යුතුය. අහුවුණොත් ගස් ලකුණු කළේ ආරක්ෂාවට කිව හැකිය. පුත්තලමේ එක්කෙනා කිව්වේ ඒ විදිහටමය. පුත්තලමේ තවමත් බූරුවෝ හිටියට රටේම ඉන්නේ බූරුවෝ කියා සිතුවාදැයි නොසන්ඩාලයෝ අසන්නෝය.
තරගෙට වොඩ්කා වතුර කරන්නත් ඉගෙන ගත යුතුය.
ඒ වගේම තවත් තරගයක් ඇත්තේය. ඒ ඇමැතිලා අතරය. තරගෙට නා ගැනීමේ තරගය. හැමදාම ඇමැතිලා නාන්නේය. ඒ මහජනයා ඉස්සරහාය. ළඟදී නෑවේ ත්‍රීවීල් භාර ඇමැතිය. එතුමා දැන් නිව්මෝනියාවටඑන තරමට නෑවේය. ජනපති වරින් වර පිස දමන්නේය. නැතිනම් මෙලහකටත් ඒ ලෙඩේ හැදිලාය.
අපේ මැති ඇමැතිලා දක්ෂය. ඒ තරගෙට ගසා කන්නය. අමුතු තරගයක් ඕනෑ නැත්තේය. පිටරටින් ගෙනා හරකුන්ගෙනුත් ගසා කෑවේය. ඒත් ඇමැතියෙක්ය. ඒකාත් හරකෙත්දැයි නොසන්ඩාලයෝ අසන්නෝය. අගමැතිට දැන් වැඩක් ඇත්තේය. ඒ තරගෙට වැඩ කළ අයට කප් දීමටය. තරගේ ළඟදීම අවසන් වෙනු ඇත්තේය. ඊට පෙරම කප් දුන්නොත් හොඳය. ඒ තරගෙට මහ බැංකුව උලාකාපු අයට මෙන්ම රට උලාකාපු අයටය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.