lakbima.lk

රටේ දැන් ආණ්ඩුවක් නැහැ වගේ. රටේ කිසි දෙයක් වෙන බවක් පේන්නේ නැහැ. රට එක තැන නැවතිලා වගේ. මොකක්ද මේ වෙලා තියෙන්නේ?

ඔය කතාවමනේ පහුගිය අවුරුදු තුනක් තිස්සෙත් කිව්වේ. අපි වැඩ කළාට හැම එක්කෙනාම කිව්වේ වැඩ පේන්නේ නැහැ කියලයි. ඒ ගැන අපි කනගාටු වෙනවා. සාමාන්‍යයෙන් මාධ්‍ය සංදර්ශන නැති නිසා සහ කළු මාධ්‍ය නිසා අපි කරන දේ ජනතාව අතරට යන්නේ නැහැ. මට නම් පේන්නේ මාධ්‍ය සදාචාරයක් අද නැති නිසා තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. ඕන කෙනෙකුට මම අභියෝග කරන්න ලැහැස්තියි 1994 සිට 2015 දක්වා කාලය තුළ කළ වැඩ කොටසට වඩා වැඩි කොටසක් අපි නිහඬව මේ කාලය තුළදී කළා කියලා.

රට සංවර්ධනය කළ බව ඔබ කීවත් රටේ මිනිස්සුන්ට ඒක දැනිලා නැහැ. එහෙම දැනුණා නම් මිනිස්සු අතේ මුදල් තියෙන්න ඕනේ. ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ?

ඒ අමාරුව අපි දැක්ක නිසා තමයි 2015 අපි බලයට පැමිණි විගස රුපියල් දහ දාහකින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළේ. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් දෙදහස් පන්සියයකින් වැඩි කෙරුවේ. අපි හැම පැත්තක්ම බලලා ජනතා අවශ්‍යතා වෙනුවෙන් උපරිමයෙන්ම කැපවෙලා කටයුතු කරනවා. අමතක කරන්න එපා මේ හැම දෙයක්ම අපි කළේ රටේ ණය කන්දක් උඩ ඉඳගෙන කියන එක. ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය අපි පසුගිය මාසයේ ගෙව්වා.

ඔබ කෙසේ කීවත් දින 52ක ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තෙල් මිල දෙවරක් අඩු කෙරුවා. නමුත් මේ ආණ්ඩුව පැමිණි විගස නැවත තෙල් මිල වැඩි කරනවා. ඉතින් කෝ ඔය කියන ජනතා සහනය?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 සිට 2014 දක්වා ඔය කියන අඩු කිරීම් කළේ නැහැනේ. නමුත් ඒ කාලය තුළ රටේ ධනය නම් කොල්ල කෑවා. එහි ණය බර තමයි අපිට තාමත් කර තියාගෙන යන්න වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ ඔහු තෙල් මිල අඩු කළේ ජනතාව මුලා කරලා මැතිවරණයකට යෑමටයි. අපි මිල සූත්‍රයක් ආරම්භ කළේ වැඩි වෙන කොට වැඩි වෙන්නත් අඩු වෙනකොට අඩු කරන්නත් යන සංකල්පය මතයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මිල අඩු කළේ ලෝක වෙළෙඳ ‍පොළේ මිල ගණන් අඩු වූ නිසයි. හොර ආණ්ඩුව පන්නලා නැවත අපි ආණ්ඩුව ගත්තාට පසුවත් අපි තෙල් මිල අඩු කළා.

ජනාධිපතිවරයා එක පැත්තකටත්, අගමැතිවරයා තව පැත්තකටත් යද්දී රටක් ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද?

ජනාධිපතිවරයා එක පැත්තකට අදිනවාද? මට එහෙම එකක් තේරිලා නැහැනේ.

නිදහස් දිනයෙදීත් ඔහු අගමැති ඇතුළු ආණ්ඩුව විවේචනය කළා. දිගින් දිගටම ඔහු ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. එය පැත්තකට ඇදීමක් නොවෙයිද?

එතුමා ඒ කිව්වේ ජාතික ආණ්ඩුව ගැනනේ. ජාතික ආණ්ඩු සංකල්පය ලෝකයේ කිසිම තැනක නොකෙරුණු දෙයක්. දෙපැත්තට බෙදිලා ගහගත්ත, මරා ගත්ත පක්ෂ දෙකක් එකට එකතු වෙලා ඇති කරගත්තු වටපිටාව නිසා තමයි ලෝකයම අපි දිහා බැලුවේ. මොකද මිනී මරාගත්ත පක්ෂ දෙකේ නායකයෝ දෙන්නා එකට එකතු වෙලා වැඩ කරනවා කියන දේ බලලා තමයි ලෝකයම අපේ රට පිළිගත්තේ. කොහොම වුණත් ජනාධිපතිතුමාට යමක් විවේචනය කරන්න තියෙන අයිතිය අපට නැති කරන්න බැහැනේ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්.

වත්මන් රජයට තව වසරකුත් මාස කිහිපයක් පමණයි රට පාලනය කරන්න තියෙන්නේ. පවතින වාතාවරණය අනුව රටට දැන් ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා හිතනවාද?

ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වෙන තැන් තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට සහාය දෙන්නේ නැහැ මේ වෙලාවේ?

හැබැයි ඔය ඔක්කොමලා හිත යටින් කැමැතියි ජාතික ආණ්ඩුවක ඉන්න.

නමුත් ඔවුන් ප්‍රසිද්ධියේ එන්නේ නැති නිසා එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුව හදන්න යන්නේ එක මන්ත්‍රීවරයෙක් ඉන්න ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගයි. එය කොතරම් සදාචාර සම්පන්නද?

නැහැ. එහෙම එකක් නැහැ. එහෙම නම් ජාතික ආණ්ඩුවක් මේ වෙනකොට හදන්න තිබුණානේ. කියන්නා කෙසේ කීවත් බුද්ධිමත්ව අනිත් අය ඇසිය යුතුයි.

ඔබ කියන්නේ ශ්‍රීලනිපය සමග යළිත් ජාතික ආණ්ඩුවක් හදනවා කියලාද? එහි මහ‍ලේකම්ම බැහැ කියද්දී ඔබ එය කියන්නේ කොහොමද?

ඔව් අපි බලමු මොකද වෙන්නේ කියලා. ටිකක් ඉවසලා බලමු. ඒ ගැන හෙළි කරන්න දැන්ම කල් වැඩයිනේ.

ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ ඇමැති ධූර වැඩි කරන්න. ඔබම කියන පරිදි ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඇයි මෙහෙම මුදල් නාස්ති කරන්නේ?

ඇමැති ධුර වැඩිකර ගන්න ජාතික ආණ්ඩුවක් හදනවා කියලා කව්ද කියන්නේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා භාර දුන් ජාතික ආණ්ඩු යෝජනාවේ තියෙන්නේ ඇමැති ධුර සංඛ්‍යාව 48 දක්වා වැඩි කරගන්න කියලා?

මම නම් ඒ යෝජනාව දැක්කේ නැහැ. ඒ වගේම මම හිතන්නේ නැහැ ඇමැති ධුර වැඩිකරන්න මේ යෝජනාව ගේනවා කියලා. ඇත්තටම ඇමැති ධුර වැඩි කර ගැනීමේ අදහසක් අපට නැහැ. නමුත් සමහර අයට අමාත්‍යාංශ ගණනාවක් දීලා තියෙනවා. ඒවා සමබර වෙන්න පුළුවන්. 

පැවැති ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 48 ක් හිටියානේ?

ඒ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් එක්කනේ. මෙවර ඔවුන් පැමිණෙනවා නම් එයින් හතර පස් දෙනෙකුට ඇමැතිකම් දෙයි. නමුත් ඔබ කියන සංඛ්‍යාව වෙයි කියලා මම හිතන්නේ නැහැ.

දැන් මාකදුරේ මධූෂ් තමයි මාතෘකාව වෙන්නේ. ඔබත් කියා තිබුණා ඔහුව ඩුබායි සිට මෙරටට ගෙන්වා ගන්න කටයුතු කරනවා කියලා. එය කළ හැකිද?

නැහැ, මම කියපු දේ වැරදියටයි වාර්තා කරලා තිබුණේ. මම කිව්වේ රටේ අවශ්‍යතාවය මත ඕන නම් ගෙන්වන්න පුළුවන් කියලයි. රටේ නීතිය ඉදිරියේ අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඕන නම් ගෙන්විය හැකි බව තමයි කිව්වේ. අනෙක ඔහුව ගෙන්වන එක මට අදාළ දෙයක් නොවෙයි. නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිතුමායි. එය එතුමා යටතේ තියෙන නිසා මට අදාළ නැහැ.

බන්ධනාගාර නිලධාරියෙකුත් මධුෂ් ඩුබායි හි පැවැත්වූ සාදයට සහභාගී වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්නේ කෙසේද?

බන්ධනාගාර නිලධාරීන් හැම තැනම ඉන්නවා. පාතාලය සමගත් ඉන්නවා. හොර කණ්ඩායම් සමගත් ඉන්නවා. ව්‍යාපාරිකයෝ එක්කත් ඉන්නවා. ඉතින් ඒ දෙපාර්තමේන්තුව හැදිලා තියෙන හැටි තමයි. මෙතන මාතර හා කළුතර යන බන්ධනාගාර දෙකේ නිලධාරීන් දෙදෙනෙකු ඉඳලා තියෙනවා. එක්කෙනෙක් වැඩ තහනම් කරපු කෙනෙක්. අනිත් කෙනා විනය පරීක්ෂණයක් මත ඉන්න කෙනෙක්. හැබැයි ඔහු විදේශගතවීමේ නිවාඩු ලබාගෙන නැහැ.

මෙය වෙනස් කරන්න සැලසුමක් තියෙනවාද?

කලින් සැලසුමක් තිබුණා සහ තවමත් තියෙනවා. කාලයක් තිබුණොත් කරන්න බලා‍පොරොත්තු වෙනවා. මොවුන් දෙදෙනා ගැනත් අපි පරීක්ෂණයක් දෙපාර්තමේන්තු මට්ටමෙන් කරගෙන යනවා.

ඇයි කාලයක් නැහැ කියලා කියන්නේ. දැන්ම පරාජය භාර අරගෙනද?

නැහැ එහෙම නමෛයි. කියන්න බැහැනේ ඔක්තෝබර් 26 දා හිතපු නැති දෙයක්නේ වුණේ. ආයේ සතියකින් ඒක වුණොත් මට එය කරන්න බැහැනේ.

නමුත් උසාවියෙන් තීන්දුවක් දීලා තියෙනවානේ ජනාධිපතිවරයා ගත් ඒ තීන්දුව වැරදියි කියලා?

ඔව් ඒක හරි. නමුත් අපි වෙනස් වෙන ලෝකයක ඉන්න නිසා ඉදිරියේදී මොනවා වෙයිද කියලා දන්නේ නැහැනේ.

මරණ දඬුවම දෙන්න ජනාධිපතිවරයා යෝජනා කරනවා. එය ලබා දෙනවාට එක්සත් ජාතික පක්ෂය එකඟද?

පක්ෂයක් ලෙස නොවෙයි එවැනි තීන්දුවක් ගන්න කොට ජනාධිපතිතුමා අපි සියලු දෙනා එක්කම කතා කරලා එතුමා ඒ තීන්දුව ගනීවි. පක්ෂයක් ලෙස මතයක් ප්‍රකාශ කරන්න මම පක්ෂයේ ප්‍රකාශක නොවෙයිනේ.

නමුත් ඔබ පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරියක්?

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ජනාධිපතිතුමා කතා කළේ මත් කුඩු ජාවාරම නිසයි. මත් කුඩු නිසා අද සමාජය පිරිහිලා. ඇත්තටම ගම්වල මේ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිද කියන ගැටලුව තියෙනවා. මොකද අපි ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන බැඳීම් සමග ගත්තහම අපට රටක් හැටියට තව ටිකක් කල්පනා කරන්න වෙනවා.

මරණ දඬුවම ලබාදීමට නියම වූ පුද්ගලයන්ගේ ලැයිස්තුව පවා ලබා දෙන්නට අමාත්‍යාංශය ප්‍රමාද කළ බවට චෝදනා එල්ල වුණා?

මට නම් ඒක ප්‍රමාද කරන්න කිසිම හේතුක් තිබුණේ නැහැ. මොකද මගේ කව්රුවත් නැහැනේ ඕකේ. මම ලැයිස්තු, දින වකවානු ඇතුව සඳහන් කරලා භාර දීලා තියෙනවා. ජනාධිපතිතුමා ඔය කියන කතාව කියන්න හේතුව සමහර වෙලාවට අපි නොදන්න කරුණක් වෙන්න පුළුවන්. මරණ දඬුවම නියම වුණත් ඔය ලැයිස්තුවෙන් හංගපු දඬුවම්කරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැනේ. ඒ නිසා හරි තොරතුරු නිලධාරීන් දුන්නාද කියන ගැටලුව ජනාධිපතිතුමාට ඇති. ඒක නිසා එතුමා එහෙම කිව්වා විනා මගේ තියෙන ප්‍රශ්නයක් නොවෙයි. සල්ලි තියෙන මිනිහෙක් බන්ධනාගාරයට ගියොත් ත්‍රීවීලරයක බඩු ඇතුළට ගෙන යන්න පුළුවන්. හැබැයි අහිංසක මිනිහෙක් ගියොත් ඒ තත්ත්වය වෙනස්. කොහොම වුණත් එතුමා පාර්ලිමේන්තුවේදී නිවැරදි කළා එය මා සමග තියෙන ප්‍රශ්නයක් නොවෙයි කියලා.

මරණ දඬුවම දෙන්න කඹයේ ප්‍රමිතිය බලන්නත් දැන් යවලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිතිය අඩු නම් නව කඹයක් ගේනවාද? මොකද කරන්නේ?

කව්ද ඔය කඹයේ කතාව කියන්නේ. බන්ධනාගාරයෙන් කිව්වා කියලා තමයි මාධ්‍ය දාන්නේ. බන්ධනාගාරයේත් මාධ්‍ය ප්‍රකාශකලා වැඩියි. ඔහොම තමයි අනිත් තොරතුරුත් දෙන්නේ. කව්රුත් කඹයක් ගැන හොයලා නැහැ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අමාත්‍යාංශ ‍ලේකම් මේ ගැන සොයා බලනවා. ඒ කරපු සොයා බැලීම තමයි අද අනවශ්‍ය විදියට ප්‍රචාරය වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ කඹය සෑම අවුරුද්දකම අවශ්‍ය ප්‍රමිතිය තිබෙනවාද කියන පරීක්ෂාව කරනවා. මොකද මෙය ලොකු මුදලක් දී ලබා ගත් කඹයක් නිසා. අලුත් කඹයක් ගේන්න ඕන නැහැ. 2012 මිලදී ගත් කඹයක් තමයි තියෙන්නේ.

ව්‍යවස්ථාදායක සභාව දේශපාලන හේතු මත තීන්දු තීරණ ගන්න දූෂිත ස්ථානයක් බවට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා. එහි සාමාජිකාවක් ලෙස මේ ගැන ඔබ මොකද කියන්නේ?

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෙකු හැටියට එහි ඇතුළේ ගන්නා තීන්දු තීරණ ගැන හෙළි කරන්නේ නැහැ. එහි සාමාජිකයෙකු ලෙස සිටි කෙනෙක් මෙහෙම කියන එක ගැන මම කනගාටු වෙනවා. මම දන්නේ නැහැ දුෂිත ක්‍රියා මොනවාද කළේ, දේශපාලන ක්‍රියා මොනවාද කළේ කියලා. අනෙක් කාරණය මේ ගැන කථානායකතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. අනෙක ජනාධිපතිතුමාටත් ඒ ගැන දිගු විස්තරයක් සහිත ලිපියක් ලබා දුන්නා.

ලසන්ත වීරකුලසූරිය

  1. කුඩු ගහන මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා
  2. ජාතික ආණ්ඩුවට එන අය ඉස්සරහට බලාගන්න පුළුවන් - ජේ.සී. අලවතුවල
  3. ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවලින් මහින්දලා ඉවත් නොවන්නේ ඇයි?
  4. පොලිස් විරුවන්ට සිදුවන නොසැලකිල්ල ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය
  5. පාර්ලිමේන්තුව උණුසුම් කළ කතානායකගේ සම්පූර්ණ කතාව
  6. ආයෙත් ජාතික ආණ්ඩුවක් නම් හැදෙන්නේ නෑ
  7. හොරට නිදාගෙන ඉන්න හාදයන් ඇහැරවන්න අමාරුයි
  8. ඇමතිවරු වැඩිකරගන්න ආණ්ඩුව කරන උප්පරවැට්ටිය
  9. අපේ එකම අරමුණ අපේම ජනාධිපතිවරයෙක්
  10. ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොලැබුනොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා
  11. සුමන්තිරන් - සම්පන්දන් කියන්නේ එල්.ටී.ටී.ඊ.කාරයෝ නොවේ
  12. රනිල්ගේ සුමන්තිරන්ගේ ගැටවලට අහුවෙන්න එපා - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
  13. මැතිවරණයට බිය දේශපාලන පක්‍ෂ
  14. මහින්ද ශ්‍රීලනිපයේ බව අපි පිළිගන්නවා - එතුමත් ඒ බව කියනවා
  15. දයාසිරිගේ කතා අපට වලංගු නෑ

Page 1 of 16

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.