lakbima.lk

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්

චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang ප්‍රධාන චීන දූත පිරිසක් අද (11) දා පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු විය. එම දූත පිරිසට චීනයේ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් ද ඇතුළත් විය.

චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම මෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් පිහිටුවීම හරහා ලංකාවේ රබර් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම හා එමඟින් වැවිලිකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම විදේශ විනිමය ඉපයීම, නව රැකියා උත්පාදනය හා  රබර් නිමි භාණ්ඩ ආනයනය පාලනය ඇතුළු ප්‍රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හරහා වැවිලි ක්ෂේත්‍රයට මෙන්ම සමස්ථ රටටම ලබා දීම අරමුණයි. මේ සම්බන්ධයෙන් අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදන බව අමාත්‍ය නවින් දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

data-language="en"

තව ද ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට මෙන්ම සියලු සංවර්ධන කටයුතු සඳහා චීනය රජය ලබා දෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා ඉදිරියේදීත් චීනය සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන යාමය අපේක්ෂා කරන බව ද පැවසීය. සියලු ද්වීපාර්ශවීය සබඳතා වැවිලි ක්ෂේත්‍රය නැංවීමට මෙන්ම රටේ සමස්ථ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට ධනාත්මකව භාවිත කිරීම සිය අරමුණ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. පසුගිය මාස කිහිපයේ රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය මේ වන විට පහව ගොස් ඇති බව ද වේගවත් සංවර්ධන ක්‍රියාදාමයකට වර්තමාන රජය අවතීර්ණ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට එක් වූ උප ආණ්ඩුකාර Shen Danyang මහතා කියා සිටියේ  ශ්‍රී ලංකාව සමඟ දිගින් දිගටම ආයෝජන සිදු කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි.  චීන ශ්‍රි ලංකා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ද හෙතෙම අගය කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.