lakbima.lk

IIT වෙතින් බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධි වැඩසටහනක් ප්‍රථම වරට ලංකාවේදී

බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයේ මෙරට ප්‍රමුඛතම ආයතනය වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයෙහි සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෝහාරික නීති පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට දියත් කරයි.

වසර දෙකක අර්ධ කාලීන පාඨමාලාවක්  ලෙස පැවැත්වෙන මෙම උපාධි වැඩසටහන යටතේ වර්තමානයේ පරිගණක පද්ධති මුහුණ දෙන තර්ජනවල ස්වභාවය, ඩිජිටල් උපාංග මගින් ගබඩා කෙරෙන තොරතුරු උපුටා ගන්නා ආකාරය සහ ඒ අතරින්  ඩිජිටල් සාක්ෂි සොයා ගන්නා ආකාරය ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු කෙරෙයි. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෝහාරික නීති සහ සයිබර් නීති රීති පිළිබඳවද හැදෑරීමට මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව හිමිවෙයි. තවද මීට අමතරව මෙම පාඨමාලාව තුළදී පරිගණක ආරක්ෂාව සහ නීති රීති සම්බන්ධයෙන් වෘත්තීමය තත්වය, ආචාරධර්ම සහ නීතිය පිළිබඳවද අධ්‍යයනය කිරීමට හැකියාව ලැබේ.  තවද වෝහාරික නීති රීති අනුව වාර්තා ගොනු කිරීම සහ සාක්ෂි  ඉදිරිපත් කිරීම ආදී වෘත්තිමය නිපුණතා සංවර්ධනය කිරීමද මෙම උපාධි වැඩසටහන යටතේ සිදුකෙරේ. 

සයිබර් ආරක්ෂාව හෝ ඩිජිටල් නීති රීති ආදියෙන් එක් විෂයක් විශේෂීකරණය සඳහා තෝරාගත හැකි අතර මොඩියුල 5ක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. සයිබර් ආරක්ෂාව සහ පටිපාටි, ආරක්ෂිත තාක්ෂණය පිළිබඳ මූලිකාංග සහ අන්තර්ජාල ආරක්ෂණය, සමීක්ෂණ ක්‍රමවේද සහ වෘත්තීය ප්‍රායෝගිකත්වය ආදී මොඩියුල යටතේ මෙහි ඉගැන්වීම් සිදු කෙරේ. සයිබර් ආරක්ෂණ විධිවිධාන පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙන අතර සයිබර් ආරක්ෂාව පිළිබඳ ඇති අවධානම අවම කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරෙයි. අපරාධ මර්ධනය සඳහා  පරිගණක පද්ධති සහ උපාංග  වල ඇතුළත් ඩිජිටල් තොරතුරු යොදා ගන්නා ආකාරය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

සිය ආයතනයේ පාඨමාලා අතරට අළුතින් එක්වූ නව උපාධි වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ  ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)  හි කුලපතිනිය වන නයෝමි ක්‍රිෂ්ණරාජා සඳහන් කළේ  වර්තමානයේ පවතින තාක්ෂණයෙන් උසස් ලෝකය තුළ පුද්ගල දෛනික ජීවිත කෙරෙහි පරිගණක ප්‍රබල බලපෑමක් එල්ලකරමින් සිටින බවයි. රෝහල්, බැංකු, විදුලි බලාගාර, විදුලි සංදේශ සමාගම් ආදී විවිධ ආයතන රැසක මෙහෙයුම් සහ  ක්‍රියාකාරීත්වය පරිගණක පද්ධති  විසින් මෙහෙයවන බව ද ඇය පෙන්වා දුන්නාය. පරිගණක පද්ධති මෙතරම් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළද  එවායෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ලෙස පියවර ගැනීමට කිසිදු පාර්ශවක් සමත් නොවීම කණගාටුවට  කරුණක් බවද  ඇය පෙන්වා දුන්නා ය. මේ නිසා පරිගණක පද්ධතින් නිරන්තරයෙන්ම විවිධ පාර්ශව වල බලපෑම් වලට ලක්වන බවද  ඇය සඳහන් කළාය.  මේ හේතුවෙන් පරිගණක පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යන බවත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය  මානව සම්පත් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ශ්‍රාස්ත්‍රපති  උපාධි වැඩසටහන ඇරඹූ බවද ඇය පෙන්වා දුන්නාය.

මෙම උපාධි පාඨමාලාවේ පළමු කණ්ඩායමේ අධ්‍යයන කටයුතු 2018 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වන අතර සියලුම IIT පාඨමාලාවල මෙන්ම මිත්‍රශීලී, පළපුරුදු ආචාර්ය වරුන් විසින් මෙම උපාධි වැඩසටහනෙහි ද ඉගැන්වීම් කටයුතු සිදුකරයි.  IIT හි  විශේෂඥ  දැනුම සහිත ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන්ගේ කුසලතා වර්ධනය කරමින් අදාල විෂය මාලාව තුළ ප්‍රවීණයෙකු  බිහිකිරීමට දායක වෙයි.  උසස් පහසුකම් සහිත විද්‍යාගාර තුළදී  සිදුකෙරෙන පූර්ණ ප්‍රායෝගික පුහුණු පහසුකම් වලින් සමන්විත මෙම පාඨමාලාව  නිබන්ධන සහ විෂය පිළිබඳ විශේෂඥ දැනුම සහිත අභ්‍යන්තර මෙන්ම බාහිර දේශකයින්ගේ දේශන වලින්ද සමන්විත වෙයි. තවද  විෂය මාලාව තුළ  ප්‍රායෝගික  හෝ පර්යේෂණ පදනම් කරගත් වැඩකටයුතු වලින් සමන්විත වෙයි.
 
වර්ෂ 1990 දී පිහිටුවන ලද IIT ආයතනය ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ අංශ පිළිබඳව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමීම සඳහා මෙරට පිහිටවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. University of Westminster (UOW) - UK සහ Robert Gordon University -UK යන විශ්ව විද්‍යාල සඳහා පශ්චාත් උපාධි සහ උපාධි පිරිනැමීම සඳහා මෙරට සම්මාන දිනූ ආයතනයකි.  වසරින් වසර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කුසලතා පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින්  මෙරට තොරතුරු තාක්ෂණයේ වර්ධනය සඳහා IIT සිදුකර ඇති මෙහෙවර අති මහත් ය.පෞද්ගලික සහ රාජ්‍ය  මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්  මෙම විද්වතුන් සාර්ථක ඉංජිනේරුවරුන් සහ ව්‍යවසායකයින් බවට පත්වී සිය සේවය ලබාදෙමින් සිටියි. ලෝකය පුරා විවිධ ආයතන 250 කට අධික ප්‍රමාණයක්  සඳහා උපාධිධාරීන්  බිහිකිරීමට මේ වනවිට IIT සමත්වී තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.