lakbima.lk

කමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් අගෝස්තු 5 වනදා පැවැත්වීමට සූදානම්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ  ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) ඒකාබද්ධව  තුන්වන වරටත්  සංවිධානය කරන  කමාන්ඩෝ චැලෙන්ජ් සුපර්ක්‍රොස් 2018  ලබන අගෝස්තු 5 වනදා  ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පාසැලේදී  පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙරට ධාවන පථ අතර දීර්ඝතම, පුළුල්තම, වේගවත්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ධාවන පථයක් වන ඌව කුඩා ඔය ධාවන පථයේදී  පැවැත්වෙන    “කමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් 2018“ හිදී  තරඟ කිරීම මෙරට යතුරුපැදි ධාවකයින්ට සහ මෝටර් රථ ධාවකයින්ට හිමිවන සුවිශේෂි අවස්ථාවකි.  කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල පිහිටි ඌව කුඩා ඔය බලහරුව  නම් ප්‍රදේශය දුටුගැමුණු රජතුමන් විසින් සිය සේනා පුහුණු කිරීම සඳහා භාවිත කළ භූමිය ආශ්‍රිතව ඉදිකර ඇති මෙම ජාත්‍යන්තර ප්‍රමිතියේ ධාවන පථය කිලෝමීටර් 1.7 ක මෝටර් රථ පථයකින් සහ කිලෝමීටර් 1.4 ක යතුරු පැදි ධාවන  පථයකින් යුක්ත වෙයි. ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ උපදෙස් අනුව සකසා ඇති මෙම ධාවන පථය  යොදාගනිමින් මෙම තරඟාවලිය තුළදී මෝටර් රථ ධාවන තරඟ  12ක් සහ යතුරු පැදි තරඟ 10ක් පැවැත්වීමට අපේක්ෂිත වෙයි. මෙම  තරඟ නැරඹිම සඳහා අතිවිශාල  පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතය.

කමාන්ඩෝ  සුපර්ක්‍රොස් 2018 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වූ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ආර්. ඒ නුගේරා  සඳහන් කළේ පසුගිය වසර දෙකේදිම සිදුකළ ආකාරයට මෙවරද මෝටර් රථ ධාවන තරඟ ලෝලීන්ට ඉතා සමීපව හිඳ තරඟ උණුසුම උපරිම මට්ටමින් රසවිඳිය හැකි ආකාරයට මෙවර 3 වන වරටත් කමාන්ඩෝ සුපර්ක්‍රොස් 2018 පැවැත්වෙන බවයි. මෙරට ඉතිහාසය තුළ කීර්තිමත් නාමයක් වන දුටුගැමුණු රජු සහ ඔහුගේ සේනාවෙහි පහස ලත් භූමියක ඉදිකර ඇති මෙම සුවිශේෂී ධාවන පථය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරවීමට සමත් ආකාරය තරඟ පැවැත්විය හැකි  ආකාරයට සකසා ඇති බවද  හෙතෙම සඳහන් කළේය. මෙම ධාවන පථ සියල්ල විශේෂඥ උපදෙස් අනුව  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට  යටත්ව  ඉදිකර ඇති බවත් එම ධාවන පථ වලදී සිය උපරිම දක්ෂතා දැක්වීමට තරඟකරුවන්ට හැකියාව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ (SLARDAR) සභාපති කාමිල් හුසේන් මහතා මෙහිදී අදහස් දක්වමින්   කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ  මෙම තරඟාවලිය මෙවරද පැවැත්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටියේය. ශ්‍රී ලංකා  පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමය මෙවර මෙම තරඟාවලිය සංවිධානය කරන්නේ සිව්වන වරට වන බවත්  ශ්‍රී ලංකා පැදිකරුවන් සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) සහ ආසියානු මෝටර් ධාවකයින්ගේ සංගමය (AMRC) ඒකාබද්ධව මෙම ධාවන තරඟාවලිය සංවිධානය කරන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයක පිහිටි ජාත්‍යන්තර මට්ටමේ  ධාවන පථයකදී පැවැත්වෙන මෙම තරඟාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ටද නව අත්දැකීමක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම ධාවන තරඟ ඉසව් මෙරට ධාවකයින්ටද සිය දස්කම් දැක්වීමට ලැබන සුවිශේෂි අවස්ථාවක් වන බව හෙතෙම පෙන්වා දුන්නේය. එම  සියලු තරගකරුවන්ට සිය උපරිම දක්ෂතා දැක්වීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනය කරන බවද හෙතෙම සඳහන් කළේය. 

ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ (SLARDAR) 35 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මෙම ඓතිහාසික ධාවන තරඟාවලිය මෙරට ධාවන තරඟ අතර සුවිශේෂි අවස්ථාවක් වනු ඇත.  මෝටර් ධාවන තරඟ ඉතිහාසයේ මුල් වරට මෙවර SLGT කාණ්ඩයේ  සහ   MX යතුරු පැදි කාණ්ඩයේ ජයග්‍රාහකයින් වෙත බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් Maxxis tyres වෙතින් පිරිනැමීමට නියමිතව ඇත.  Mobil සහ  Promowatch ඉසව් වල ජයග්‍රාහකයින් සහ Ford Laser ඉසව්වේ ජයග්‍රාහකයින් මෙන්ම  Supermotard හි සෑම  ජයග්‍රාහකයකු  වෙතම  Stafford Motor Co Pvt Ltd වෙතින් මෝටර් සයිකලයක් පිරිනැමීමට නියමිතව තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.