lakbima.lk

හදිසි එන්නත්, ඖෂධ හා රුධිරය ප‍්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය

රුධිරය , එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප‍්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි.

පසුගිය පාස්කු බෝම්බ ප‍්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම  හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය  අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.


මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියා සිටියේ  බොහෝ දුෂ්කර පළාත් වල හදිසි රෝගීන්ට අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය දිවයිනේ ප‍්‍රධාන රෝහල් වෙතින් සැපයීමේදී විශාල කාලයක් ගතවන බවයි. එලෙස ගතවන කාලය  රෝගියාගේ ජීවිතය පිළීබද තීරණාත්මක සාධකයක් වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. 

 

දිවයිනේ බොහෝ රෝහල් වෙත ඇතැම් හදිසි ඖෂධ වර්ග, එන්නත්, රුධිරය සහ යන්ත‍්‍ර සූත‍්‍ර පවා මධ්‍යම ගබඩාවේ සිට ප‍්‍රවාහනය කෙරෙන්නේ සාමාන්‍ය මාර්ග පද්ධතිය ඔස්සේ වන අතර එම ප‍්‍රවාහනය කිරීමේදී මාර්ග තදබදය සහ දුර ප‍්‍රමාණය ආදී විවිධ සාධක මත ගතවන කාලය තීරණය  වෙයි.  හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සිය අත්දැකීම් ඔස්සේ අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෘද රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම පළමු පැය හෝ දෙක තුළ කෙරෙන හදිසි ප‍්‍රතිකාර මත තීරණය වන බවයි.

දිවයිනේ පහසුකම් අඩු රෝහල් වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ප‍්‍රතිකාර සඳහා වන සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ප‍්‍රායෝගිකව මෙම ගැටළුවට මුහුණ දෙන බව හෙතෙම  අවධාරණය කරයි.


මෙම ගැටළුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේ  වාසි පිළිබඳව සඳහන් කළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ   මෙම තාක්ෂණය යොදාගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක් තුළ දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක පිහිටි රෝහලක් වෙත  එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව ඇති බවයි.

රුවන්ඩාව සහ ගානා වැනි රටවල අති සාර්ථක අන්දමින්  සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන භාවිත වන බව සදහන් කරන වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එම රටවල මිලියන 22 කට අධික පිරිසකට ක්ෂණිකව රුධිරය, එන්නත් හා හදිසි ඖෂධ සැපයීම සාර්ථක ලෙස සිදුවන බවයි.

 

මෙම ක‍්‍රියාවලිය  හේතුවෙන් මේ වනවිට රුවන්ඩාව හිගයකින් තොරව ඖෂධ සපයන, කල් ඉකුත් වීමට ඖෂධ ඉතිරි නොවන එකම රට බවට පත්ව ඇති බවද හෙතෙම අවධාරණය කළේය. එම ඩ්‍රෝන මගින් කිලෝ 2ක පමණ බර ප‍්‍රමාණයක් පහසුවෙන් රැගෙන යා හැකි බවත් පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් ඒවා රැගෙන යාමේ හැකියාව ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවේ ද  වර්තමානයේදී වනාන්තර විනාශය, විවිධ ව්‍යාපෘතින්වල පාරිසරික බලපෑම, අලි මිනිස් ගැටුම ආදී තත්වයන් නිරීක්ෂණය කිරීම ඉතා සාර්ථක ලෙස  ඩ්‍රෝන තාක්ෂණය භාවිත වන බවත් ඒ ආකාරයට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහාද එම තාක්ෂණය යොදාගත හැකි බව වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා අවධාරණය කරයි.


ශ‍්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය වන වේගයට සමගාමීව  සෞඛ්‍ය පහසුකම් නැංවිය යුතුව ඇති අතර ඒ සඳහා රෝහල් ඉදිකිරීම, රෝහල්වල පහසුකම් නැංවීම, අත්‍යවශ්‍ය ඖෂධ නිසි අවස්ථාවට සැපයීම වැනි අභියෝගාත්මක කරුණු රැසක් රජය හමුවේ ඇති අතර මෙැවැනි නව සංකල්ප තුළින් ඉතා පහසුවෙන් එම අභියෝග ජයගැනීමට හැකියාව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.