lakbima.lk

ලෞකික ලෝකය තුළ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් පිනවීමෙන් මිනිස් සිතේ ඇතිවන ප්‍රමුදිතභාවය සතුට වශයෙන් හැඳින්විය හැක. පාලි භාෂාවේ එන සන්තුට්ඨි යන පදය සිංහල භාෂාවට සතුට යනුවෙන් බිඳී ඇත. සතුට යනු මානසික සුවයට යෙදෙන තවත් පදයකි. පී්‍රතිය, සුඛය, සොම්නස, ආශ්වාදය, තෘප්තිය, ශාන්තිය යන වදන්ද සතුට යන්නට පර්යාය පද ලෙස භාවිතා කෙරේ. අරුත් වශයෙන් සුළු සුළු වෙනස්කම් දැක්වුවද මේ සියලු පදවලින් අදහස් වන්නේ සිතේ ඇතිවන ප්‍රසාදය හා ප්‍රමෝදයයි. සතුට අපගේ මනස හා සෘජුවම බැඳුණු ධර්මතාවයකි. සතුට මනසේ පිරිසිදු බවට මෙන්ම ශාරීරික නිරෝගීභාවයටද අත්‍යවශ්‍ය සාධකයකි. සතුට මනසේ පිරිසිදු බවට මෙන්ම ශාරීරික නිරෝගීභාවයයද අත්‍යවශ්‍ය සාධකයකි. වයස් පරතරය,
සමාජ තරාතිරම, ස්ත්‍රී පුරුෂ, ජාති, ආගම්, කුලමල ආදී කිසිඳු භේදයකින් තොරව සතුටින් සිටීමට සෑම කෙනෙක්ම කැමැතිය. ළමයින් වැඩිහිටියන් බවට පත් වීමත් සමග වගකීම්, යුතුකම් අවශ්‍යතා බහුල වේ. බාහිර සමාජය සමග ඇති කරගන්නා සබඳතා සංකීර්ණ මුහුණුවරක් ගනී. මෙසේ ජීවිතය කාර්යබහුල වීමත් සමග එය සුවසේ ගෙවීමට මාර්ග සෙවීමට ඔහුට සිදුවේ. වැඩි පිරිසකගේ අදහස වනුයේ විශාල වශයෙන් මුදල් හා භෞතික සම්පත් රැස් කළ තරමට ජීවිතය සුවදායක වන බවය. එම නිසා තරුණවියට එළඹෙත්ම වැඩියෙන් මිලමුදල් උපයාගත හැකි ජීවනෝපායක් සොයාගැනීමට උත්සුක වෙයි. ඒ අනුව ඔවුහු සතුට පතා උසස් තනතුරු, නිලතල හා බලය පසුපස හඹා යති. ඒ සඳහා යොදා ගනු ලබන මාර්ගවල සාවද්‍ය බව හෝ නිරවද්‍ය බව පිළිබඳව තැකීමක් නොමැතිව කෙසේ හෝ කෙටි කලකින් ධනවත් වීමට උත්සාහ දරති. තවත් සමහරු මනස සුවපත් කරගැනීමේ අභිලාශයෙන් මත්පැන්, සූදුව, දුරාචාරය, ආදියේ පිහිට සොයති. නොයෙක් අපරාධ, දූෂණ හා සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වෙති. මේ හැරෙන්නට ෙදෙනික ජීවිතයේ සතුට ලබන කෙටි හා ජනප්‍රිය මාර්ගද ජනතාව අතර බහුලය. රූපවාහිනියේ දිගහැරෙන නිසරු දෑ ආශ්වාදය කොට සතුටු වීම අද විලාසිතාවක් බවට පත්ව ඇත. තවත් සමහරුන් දුරකථන අල්ලාප සල්ලාප හා අන්තර්ජාල වබේ අඩවි හුවාදක්වන හිස් ප්‍රලාප අනුසාරයෙන් වින්දනයක් ලබති. මිල අධික විසිතුරු ඇඳුම් ආයිත්තම් හැඳ පැළඳ, සංගීත සංදර්ශන හා හරසුන් උත්සවවලට නිරන්තරයෙන් සහභාගි වීම ඇතැමුන්ගේ සතුටයි. වැඩිහිටි සමාජය පමණක් නොව ළමා පරපුරද මෙබඳු නිෂ්ඵල ව්‍යායාම තුළ සතුට භුක්ති විඳීමට පුරුදුව සිටිති. මෙසේ එකිනෙකාගේ බුද්ධි මට්ටම, වත් ‍පොහොසත්කම් හා රුචි අරුචිකම් අනුව ඔවුනොවුන් සතුට ලබන මං විවිධය. ජීවිතය අර්ථවත් කරගනිමින් සතුට ලබන මාර්ග තිබියදී සතුට සොයන වැරදි මාර්ග නිසා බොහෝ මිනිසුන් තම ජීවිත අඳුරු කරගන්නා අයුරු අපි දකිමු. නූතන තාක්ෂණයේ හා ගෝලීයකරණයේ විපාකයක් හැටියට මෙසේ අධි පරිභෝජන ජීවන රටාවකට මිනිසා හුරුකර තිබිම මෙබඳු තත්ත්වයක් උදාවීමට ප්‍රධාන හේතුවයි. වත්මන් සමාජයේ උක්ත මාධ්‍ය ඔස්සේ සතුට අපේක්ෂා කරන මිනිසුන් භුක්ති විඳිනුයේ සතුට නමැති පරිශුද්ධ චිත්ත ආශ්වාදයද? නොඑසේනම් එය ලබාගත හැක්කේ කෙසේද? යන්න බෞද්ධ ඉගැන්වීම් තුළින් විමසීම ප්‍රයෝජනවත්ය.
බුදුරජාණන් වහන්සේ තරම් සමස්ත බුද්ධ ජීවිතය පුරා ඉතා උසස් වූ මානසික සුවයකින් වැඩ සිටි හා ආදර්ශයෙන් එය ලොවට පෙන්වා වදාළ වෙනත් ශාස්තෘවරයකු නැත. උන්වහන්සේ සැමවිටම සුවයෙන් පිරි ඉතා පවිත්‍ර චිත්ත සන්තානයකින් යුක්තව වැඩ සිටියහ. සෙසු ලෝකයාටද සතුටින් ජීවත්වීම ගැන උගන්වා වදාළහ. එම නිසා සතුට යන පදය බුදුදහම ඇසුරෙන් විග්‍රහ කර ගැනීම සතුට සොයමින් අයා‍ලේ යන වත්මන් සමාජයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමට අනුව සතුට දෙවදෑරුම්ය. ඒ ලෞකික සතුට හා ලෝකෝත්තර සතුට වශයෙනි. ලෞකික සතුට නම් සිත, කය, වචනව නිවැරදිව හසුරවමින් දැහැමි දිවියක් ගෙවන ගිහි සමාජයේ සාමාජිකයකු ලබන සතුටය. සන්තුට්ඨි පරමං ධනං යනුවෙන් ධම්ම පද පාලියේ එන ගාථාවේ සතුට උතුම්ම ධනය යයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අද මිනිසුන් අත්දකින මොහොතක් පවත අහෝසි වන ලාමක සැපයක් නොවේ. එය මනසේ නොසිඳ පවත්නා දිගුකාලීන සාමය සහ නිවීමකි. තම සිතුවිලි, වචන හා ක්‍රියාකාරකම්, තමාටද අනුන්ටද හිත සුව පිණිස හසුරුවා ගනිමින් සරලව ජීවත් වීමේ කලාව පිළිබඳ කෙනෙකුට හිමිවන තෘප්තියයි. ඉහත කී සතර පද ගාථාවේ අවසන් පදය වන නිබ්බානං පරමං සුඛං (නිවන පරම සුවයයි) යන්නෙන් උන්වහන්සේ දේශනා කළේ ලොව්තුරා සතුට ගැනය. එනම්  මාර්ගඵල නිවන් අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා අත්දකින නිරාමිස සුවයයි.
බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන්හි ගිහි ප්‍රජාවට සතුට ලැබගත හැකි මාර්ග ගණනාවක් අවධාරණය කරති. බමුණු ගෘහපතියනට දේශනා කළ පරාභව, ව්‍යග්ඝපජ්ජ හා පත්තකම්ම වැනි සූත්‍රද, මහා සංඝයා වහන්සේලා අරභයා දේශනා කළ සූත්‍රද ත්‍රිපිටකය පුරා දක්නට ලැබේ. දීඝජානු ගෘහපති තෙමේ බුදුරදුන් වෙත පැමිණ ස්වාමිනී, බොහෝ සේ කාම සම්පත් විඳින අප වැනි ගිහියනට මෙලොව සහ පරලොව දෙකෙහිම සතුට උදෙසා සුදුසු බුදුදහමක් දෙසන්නැයි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය. අංගුත්තර නිකායෙහි දැක්වෙන ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි ධනය උපයන අයුරුත් උපයා ගත් වස්තුව රැකගත යුතු අයුරුත් ගැන දීඝජානු ගෘහපති හට කළ දේශනාවේ එන කරුණු සිත් ගන්නා සුළුය. ඒ අනුව යමෙකු ධනය ඉපයීය යුත්තේ ධාර්මිකව සහ නිරවද්‍ය මාර්ග ඔස්සේය. තම බාහු බලය යොදා දහදිය වගුරුවා උත්සාහයෙන් වස්තුව රැස් කළ යුතුය. අධික තණ්හාවෙන් ධනය ගොඩ ගැසීම තුළ ලෝභය වර්ධනය වන හැටිත් ඉන් පුද්ගලයා විනාශය කරා ළඟා වන සැටිත් බුදුන් වහන්සේ අපූර්ව ලෙස විග්‍රහ කරති. අසීමාන්තික ආශාව මිනිසාගේ අභ්‍යන්තරික පිරිසිදුභාවයට බාධාවකි. සමාජය අතර අසමගිය ඇතිවීමට හේතුවකි. බුදුන් වහන්සේ දීඝජානු ගෘහපතිට දුන් දෙවැන් අවවාදය ආරක්ඛ සම්පදාවයි. තමා උත්සාහයෙන් උපයා ගත් ධනය රජනු විසින් සොරුන් විසින් පැහැර ගනු ඇත. විවිධ ව්‍යසන නිසා නැතිවිය හැක. ඉතා කල්පනාකාරීව තමා උපයා ගත් ධනය ආරක්ෂා කිරීම සතුටට හේතු වන බව ආරක්ඛ සම්පදා යන්නෙන් පැහැදිළි කර දී ඇත. කලණ මිතුරන් ඇසුරු කිරීම සතුට උපදවන තුන්වන කරුණ ලෙස දේශනා කෙරිණ. අසත්පුරුෂයන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍රයන් තමා වෙත ළං කරගැනීමෙන් දුසිරිත පිටු දැක ධර්ම මාර්ගයේ හැසිරීමට අවකාශ ලැබේ. එය දිවි ඇති තෙක්  මිනිසකු සුව සේ ජීවත්වීමට ඉඩ හසර සලසයි. සිවුවනුව තම ආදායම ඉක්මවා වියදම් නොකිරීම හෙවත් සමජීවකතාව සතුට ලබා දෙන සැටි බුදුන් වහන්සේ දීඝජානුට පැහැදිලි කර දුන්හ. පමණ නොදැන අනවශ්‍ය දේට ධනය වියදම් කරන පුද්ගලයා ණය වෙමින්, සමාජ විරෝධී ක්‍රියාකරමින් වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට පෙළඹේ. සතුට වෙනුවට අවසානයේ ඔහුට ඉතුරු වනුයේ චිත්ත පීඩාව පමණි.

ශාස්ත්‍රවේදී කිරම ආනන්ද හිමි

සාකච්ඡා කළේ ජනක හෙට්ටිආරච්චි

Page 6 of 8

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.