lakbima.lk

කුරුණෑගල යුගයේදී දළදා පෙරහර කෙසේ සංවිධානය වී දැයි වංශ කතාවල සඳහන් වනුයේ ඉතා මද වශයෙනි. කුරුණෑගලින් ගම්පළටත් එතනින් කෝට්ටේ යුගයේත්  දළදා පෙරහර පවත්වා ඇතැයි නිගමනය කළ හැක. නමුත් මහා වංශයේ ගම්පල හා කෝට්ටේ යුගවල පෙරහර කරවූ බවක් සඳහන්ව නැත. එසේම කුරුණෑගල අවදියෙන් පසු මහනුවර අවදිය දක්වාම දළදා පෙරහරක් පැවැත් වූ බවට විශ්වාසනීය සාධක වංශ කතාවල දක්නට නොලැබේ.
කෝට්ටේ අවදියේදී හා ඉන් පසුවත් දළදා වහන්සේ ගැන වංශ කතාවල තොරතුරුවල ඇතුළත් වෙනත් දළදා පෙරහර ගැන සඳහන් නොවන්නේ නිරන්තරව එම කාල වකවාණු වල තිබූ විදේශ ආක්‍රමණ නිසා පෙරහර කිරීමට වඩා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට ඇප කැප වීම නිසා පෙරහර පැවැත් වීම අතපසු කළ නිසාවෙන් බව පසක්වේ.
පෘතුග්‍රීසීන් උඩරටින් පන්නා දමා කන්ද උඩරට රාජ්‍ය ඇරඹූ පළමුවන විමලධර්මසූරිය රජතුමා තම රාජ්‍ය උරුමය  තහවුරු කිරීම සඳහා දෙල්ගමු රජමහා විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා වාර්ෂික ඇසළ මහා පෙරහර ආරම්භ කළේය. මෙම ඇසළ මහා පෙරහර  කිසිසේත්ම දළදා පෙරහරක් නොවීය. එය හුදෙක් සතරවරම් දෙවිවරුන්  උදෙසා පවත්වන ලද වාර්ෂික ඇසළ පෙරහරක්ම විය. මෙසේ දෙවිවරුන් උදෙසා නොකඩවා පැවැත් වූ ඇසළ පෙරහර දෙවන රාජසිංහ රාජ්‍ය සමයේදී රොබට් නොක්ස් සියසින්ම දැක ලියන ලද ඔහුගේ ග්‍රන්ථයේ සඳහන්වේ. මෙම වාර්ෂික පෙරහරට දළදා පෙරහර එකතු කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ  රජතුමා විසිනි. සියම් රටින් වැඩම කළ උපාලි තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි වැලිවිට සඟරජ හිමියන්ගේ ඉල්ලීම පරිදි එම වෙනස සිදු කරන ලදී. ඒ අනුව දළදා පෙරහර පෙරටු කරගෙන සිව්මහා දේවාල පෙරහර පෙළගැසුනි. වර්තමානයේ ද දක්නට ලැබෙනුයේ එදා ඇරඹූ එම පෙරහරම වීම විශේෂත්වයකි.
වර්තමාන පෙරහර සංවිධානයෙදී සුළු සුළු වෙනස්කම් දක්නට ලැබුණත් බොහෝ පැරණි අංග ලක්ෂණ පරිද්දෙන්ම පෙරහර පෙළගැස්වීමේ දී අදටත් දක්නට ලැබේ. දළදා පෙරහර ආරම්භ වන්නේ  සතර දේවාලයන්හි කප් සිටුවීමෙනි. “කප” යනු කණුව යන අර්ථය දෙන වචනයකි. සාම්ප්‍රදායික වශයෙන් සිව් මහා දේවාලයන්ටම “කප” කපා දෙන්නේ මහා විෂ්ණු දේවාලයේ රාජකාරී කරන “වන්නකුරාල” විසිනි.
සුදුසු පරිදි පේ කොට තබන ලද කප ඒ ඒ දේවාල භූමිවල එළිමහනේ තනාගත් කොළ, මල්, ගෙඩි වලින් සැරසූ තාවකාලික වහලයක් තුළ මඟුල් පෙර හේවිසි හොරණෑ හඬ මධ්‍යයේ සිටවනු ලැබිය. කප සිටුවීමෙන් අනතුරුව එළඹෙන දින පහේ කෙරෙන ඇතුළේ පෙරහර හෙවත් දේවාල පෙරහර මෙසේ සිටුවනු ලද “කප” වටා පැවැත්වීමත් පැරණි චාරිත්‍රයකි. ඉප් පසු
එළැඹෙන නැකත් දින අනුව කුඹල් පෙරහර පහක් පැවැත්වේ. කුඹල් යන සිංහල වචනය භාගය, අඩ, කෙටි ප්‍රදේශයක යන අරුත දෙන කුඹල් පෙරහර මගින් දළදා පෙරහර ආරම්භ වේ. පුරා දින 5ක් පුරා වීදි සංචාරය කරන මෙම පෙරහර ගර්භනී මාතාවන්ටත් කුඩා දරුවන්ටත් ආශිර්වාදය උදා කරන්නාක් බව අතීතයේ සිටම පැවත එන විශ්වාසයකි.
ඉන් පසු රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. ඊට “රන්දෝලි“ යනුවෙන් නම ලැබි ඇත්තේ සතර දේවාලවලට අයත් රන්දෝලාවන් පෙරහර පසු භාගයේදී ගෙන යන බැවිනි.  අවසන් රන්දෝලි මහා පෙරහරෙන්  පසු දළදා පෙරහර මාළිගාවටත් දේවාල පෙරහර ඒ ඒ දේවාල වලටත් ගෙවදී පැයකට පමණ පසු මධ්‍යම රාත්‍රියේ දළදා පෙරහරත් සිවුමහ දේවාල පෙරහරත් නැවත සංවිධානය වී පිටත්ව ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයට ගොස් පෙරහර කරඬුව එහි තැන්පත් කරනු ලැබේ. පෙරහර කරඬුව අස්ගිරි මහා විහාරයේ ආදාහන මළුවේ තැන්පත් කිරීම තවත් ගරු ගාම්භීර උත්සවයකි.
දළදා ඉතිහාසයේ ඉතා වැදගත් ඓතිහාසික සිද්ධියක් අනුස්මරණය කරනු පිණිස මෙම පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයෙහි තාවකාලිකව තැන්පත් කරනු ලබයි. අනුරාධපුර සමයේ වසරකට වරක් දළදා වහන්සේ මහා විහාරයේ සිට අභයගිරි විහාරයට මහා පෙරහරින් වැඩමවා ටික දිනකින් ආපසු වැඩම වූ බව චීන දේශාටක “භියුං සියං” සිය භ්‍රමණ වෘත්තාන්තයෙහි සඳහන්  කරයි. එම චාරිත්‍රය සිහිකරනු පිණිස අදටත් එක් දිනක් පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම චාරිත්‍රානුකූලව කරනු ලැබේ. මේ හැර පළමුවන විමලධර්මසූරිය රජතුමා සෙංකඩගල රාජධානිය පිහිටුවා දෙල්ගමු විහාරයේ එවකට වැඩ සිටි දළදා වහන්සේ තම රාජධානියට වැඩමවා ගත් අවස්ථාවේ දළදා වහන්සේ සඳහා ස්ථිර දළදා මාලිගය තනවා එහි වඩා හිඳුවන තුරු මෙම ගෙඩිගේ විහාරයේ ටික කලක් වඩා හිඳුවන ලදි. එකල ගෙඩිගේ විහාරය දළදා ගමන් මාලිගයක් වශයෙන් භාවිතා කර ඇති බැවින් එය සිහිපත් කරනු වස් දළදා පෙරහර කරඬුව එක් දිනක් මෙම විහාරයේ තැන්පත් කිරීම අදටත් චාරිත්‍රානුකූලව සිදුවේ. ඇසළ පෙරහරට  දළදා පෙරහර එකතු කළ යුතුයයි කීර්ති ශ්‍රී  රාජාසිංහ රජතුමාට උපදෙස් දුන් සියලු දෙන උපසම්පදාව රැගෙන ආ උපාලි හිමියන්ට ගෞරව සඳහා කරඬුව ගෙඩිගේ විහාරයට මෙසේ වැඩමවති යයිද කියනු ලැබේ.
පෙරහර කරඬුව තැන්පත් කිරීම පෞරාණික  චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදු කරනු ලබන ඉතා සිත් ගන්නා සුළු උත්සවයකි. කරඬුව එහි මහා පෙරහරින් වැඩමවන විට අස්ගිරි මහා විහාරයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති නේවාසික මහා සංඝරත්නය ද දියවඩන නිලමේතුමාද පිටිසර සතර දේවාලයන්හි හා අවට දේවාලයන්හි බස්නායක නිලමේවරුද ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් ගෙඩිගේ විහාරස්ථ විශේෂ පෙරහර වේදිකාව අසළට රැස් වී සිටිති. එහිදී දළදා තේවාවේ යෙදෙන කාරියකෝරාල, පල්‍ලේමාල රාල, මොහොට්ටාලවරු, කවිකාර මඩුව, ප්‍රධාන පණික්කයන් සතර දෙනා ඇතුළු හේවිසිකරුවෝ සිංහාරක්කාරයෝ කුඩා කොඩි සේසත් දරන්නෝ පාවඩ එලන්නෝ මල් ඉසින්නෝ ආදි විශාල පිරිසක් තම තමන්ට අයත් රාජකාරිවල යෙදෙති.
දළදා මාලිගාවේ මංගල හස්තියා කරඬුව වැඩමවාගෙන ගෙඩිගේ විහාරාසන්න විශේෂ වේදිකාවට පැමිණි විට මාලිගාවේ කාරියකෝරාළ රන් කෙණ්ඩියෙන් පැන් වත්කොට අස්ගිරි මහා විහාරයේ මහානායක මාහිමිපානන් වහන්සේගේ දෙයත් නිවයි. කරඬුව රන් සිවි ගෙයින් මෑත් කිරීමේදී සුදු වියනකින් මුවා කොට එය අන්‍යයන්ට දර්ශනය වීම වළක්වනු ලැබේ. පසුව විශේෂ  විල්ලුද ඇතිරිල්ලක් මහානායක මාහිමිපානන් වහන්සේගේ දෑතේ  තැන්පත් කෙරේ. මේ සියලු කටයුතු කෙරෙන විට හේවිසි  වාදනය කිරීමත් කවිකාර මඩුව විසින් දළදා ගී ගායනය කිරීමත් සිදුවේ. මහා නා හිමියන් වහන්සේ විසින් විශේෂ වේදිකාවේ  සිට ගෙඩිගේ විහාරය තුළට වැඩම වන පෙරහර කරඬුව එය මල් ආසනය මත ගෞරවයෙන් තැන්පත් කරති. කරඬුව වැඩම වීම චාරිත්‍රයක් වශයෙන් සිදු කරනු ලබන්නේ අතිගරු මහානායක මාහිමියන් වහන්සේ විසිනි.  උන්වහන්සේ නොමැති විටෙක එය වැඩමවීමට අයිතිය ඇත්තේ දියවඩන නිලමේතුමාට හෝ ගෙඩිගේ විහාරවාසි ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට පමණි.
මාළිගාවේ ගබඩා සහ ලිපි ‍ලේඛන භාර මොහොට්ටාල කෙනෙක් දියවඩන නිලමේතුමාගේ නියමය පරිදි දළදා පෙරහර කරඬුවට පළදවා ඇති මාල පිළිබඳ ‍ලේඛනයක් කියවයි. එවිට මහානායක මාහිමියන් වහන්සේ එය එකිනෙක වෙන් කොට හඳුනා ගෙන සිය්ලල ලැයිස්තුවකට අනුව ඇතැයි පසක් වූ කල්හි කරඬුව සුදු වස්ත්‍රයකින් ඔතා සුදු රෙදි පටියකින් මැනවින් වෙලා ලාකඩ සීල් තබා ආරක්ෂිත කොට විහාර මන්දිරයේ වීදුරු ආවරණය තුළ තැන්පත් කොට වසා යතුරු දමති.
අනතුරුව මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අස්ගිරි මහා විහාරයේ සියලු නේවාසික මහා සංඝරත්නය තම තමන් විසින් කලින් පිළියෙල කොට ගෙන ආ ගිලන්පස හා මල් පූජා  කොට වැඳ පුදා විහාර කුටියෙන් ඉවත් වෙති. අනතුරුව දියවඩන නිලමේතුමා ඇතුළු මාලිගාවේ නිලධාරීහු ද එහි පැමිණෙන භක්තිමත් මහජනයාද ගිලන් පස හා මල් පූජා කොට කුටියෙන්  ඉවත් වෙති. විහාර කුටියට  ඉදිරි පසින් පිහිටි ශාලාවේ ඒ වන විට විශාල පිරිසක් රැස් වී සිටිති. පෙරහර කරඬුව පෞරාණික චාරිත්‍රානුකූලව මහා පෙරහරින් ගෙඩිගේ විහාරයට වැඩමවා ගෙන ආ බවත් පසුදින දහවල් පෙරහරින් ආපසු දළදා මාලිගාවට වැඩමවන තුරු එය භාරගෙන අවශ්‍ය නියමිත පුද පූජා භාණ්ඩ ආරක්ෂාකොට රැක දෙන ලෙස දියවඩන නි‍ලේමෙතුමා මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිති.
මෙහිදී තමන් වහන්සේ ඇතුළු අස්ගිරි මහා විහාරයේ මහා සංඝරත්නය පෙරහර කරඬුව අතිශය ගෞරවයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කරන මහනායක මාහිමියන් වහන්සේ පළමුව කරඬුවට රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස මහනුවර  ‍පොලිස් අධිකාරී තුමාගෙන් ඉල්ලා සිටිති. ඒ ඉල්ලීම පරිදි ‍පොලිස් අධිකාරීතුමා ගිනි අවි රැගත් ‍පොලිස් භටයින් දෙදෙනෙක් එහි මුරට යොදවයි. අනතුරුව දළදා මාලිගාවේ  දිනපතා සිදුකරන සියලු පූජා විධි නියමයන් නිසි ලෙස ඉටු කිරීම ගෙඩිගේ විහාරවාසී ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දළදා මාලිගාවේ පල්‍ලේමාලරාලටත් භාර කරන මහා නායක මහිමියන් වහන්සේ, දියවඩන නිලමේ තුමාගේ ඉල්ලීම පරිදි මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමා හෝ වෙනත් බස්නායක  නිලමේතුමෙක් සිය නිළ ඇඳුමින් සැරසී කරඬුවේ භාරකාරයා ලෙස විහාර කුටිය  අසල රැඳී සිටිති. කරඬුව පසුවදා මාලිගාවට මහ පෙරහරින් වැඩම වන තෙක් ‍පෝය හේවිසි ශබ්ද පූජා පවත්වන ලෙස මාලිගාවේ  ප්‍රධාන පනික්කයන් සතර දෙනාට නියම කරති.  කවිකාර මඩුව නිරතුරුව දළදා ගීතිකා ගායනා කරයි. උදේ සහ දවල් දළදා මාලිගාවේ සිට හේමකදින් පෙරහරින් ගෙනෙන බුද්ධ පූජාව මාලිගාවේ කෙරෙන චාරිත්‍රවලට අනුව පූජා කෙරේ.
පෙරහර කරඬුව ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ මෙසේ තැන්පත් කිරීම ඉතිහාසය පුරාම දළදා වහන්සේ ආරක්ෂා කොට රැක බලාගත් භික්ෂු පරපුරේ මූලස්ථානය වන අස්ගිරි  මහාවිහාරයට ඉතිහාසය විසින්ම හිමි කොටදුන් විශේෂ වරප්‍රසාදයක් කොට සැලකිය හැකිය. මෙසේ කරඬුව තැන්පත් කොට ඒ ඒ දේවාලවල පෙරහරවල් ඒ ඒ දේවාලවලට ගෙවදී. අනතුරව අලුයම 4.00 ට පමණ ඇසළ පෙරහරේ අවසාන වැදගත් කාර්යය දිය කැපීම සඳහා නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවලට අයත් පෙරහරවල් ගැටඹේ තොටට පිටත් වේ. මේ ඉතා සුළු පෙරහරකි. එක දේවාලයක පෙරහරක් එක් අලියකුගෙන්ද හේවිසිකරුවන් දෙතුන් දෙනෙකුගෙන්ද කොඩි හා පන්දම් කීපයකින්ද යුක්ත වේ. මුල් දිනවල පෙරහරේදී මෙන් දේවාභරණ වැඩම වීමට ඇතුන් පිට රන්සිවි ගෙවල් බඳිනු  නොලැබේ. ඒ වෙනුවට එක් එක් දේවාලයන්හි කපුරාළලා ඇතුන් පිට නැගී ගැටඹේ තොට දක්වා දෙවියන් වැඩම කරවති. ඒ ඒ දේවාලයන්ට අයත් රන්දෝලි ද මේ පෙරහරින් එහි ගෙන යනු ලැබේ.
මේ පෙරහරේ එක් විශේෂ  ලක්ෂණයක් වනනේ මතෛක් ඇසළ පෙරහරේ  ප්‍රධානත්වය දරා ඉදිරියෙන්ම ගිය දළදා පෙරහර දිය කැපීමේ පෙරහරට එක් නොවීමයි. දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොට කල් ඇතුව සූදානම් කොට තබනු ලැබේ. මේ සඳහා ගැටඹේ ගං තොටේ ඇති බෝ රුක් සෙවණේ ‍පොල් අතු සෙවිලි කොට ගොක් අත්තෙන් සරසන ලද ඒ ඒ දේවාලයන් සඳහා වූ තාවකාලික  දේවාල සතරක් තනා සුදු වැලි අතුරා අවට සරසා තබනු ලැබේ. අලුයම ඉර උදාවට පෙර ගං තෙරට පැමිණි සිව් දේවාලයන් හි පෙරහර දේවාභරණ ඇතු පිටින් බහා රන්දෝලිවල තැන්පත් කොට ගං තෙරට ගොස් ඉර උදාවන තෙක් බලා‍පොරොත්තුව සිටිති. පළමුව නාථ දේවාලයේ කපු මහතාද දෙවනුව විෂ්ණු දේවාලයේ කපු මහතා ද පිළිවෙළින් කතරගම හා පත්තිනි දේවාලවල කපුමහත්වරු ද ක්‍රමයෙන් ගං තොටින් දණ වටක් වතුරට බැස වමතින් කෙණ්ඩියත් දකුණතින් දිය කපන කඩුවක් ගෙන සූදානමින් සිටිති. සූර්යයා උදා වී පළමු රැස් දහර පෙනී යත්ම ඒ ඒ දෙවියන්ට ස්තෝත්‍ර ගයා පසු ගිය වසරේ දිය කපා ගත් ජලය ගඟට හලා පහතට නැමී දිය මතු පිටට කඩුවෙන් පහර දී එයින් නැගෙන ජලයෙන් කෙණ්ඩිය පුරවා ගනිති. දිය කැපීම අවට මහජනතාවට නොපෙනෙන පරිදි මතුපිටින් වියනක් අල්ලා මුවා කිරීම සිරිතකි.
මේ අවස්ථාවේ දී මතෛක් දේවාල තුළ සිටුවා තිබුණූ පෙරහර කප උගුල්ලා ගෙනවිත් දිය කපන විටම ගඟ දිගේ පහළට යාම සඳහා ගඟට දමනු ලැබේ. මේ කප් අල්ලා ගැනීමටත් දිය කපන ගඟේ ජලය ස්නානය කිරීමටත් ගඟ පහළ බොහෝ මිනිස්සු රැස් වී සිටිති. පෙරහර කප ගොවිපළවල හෝ කුඹුරුවල  සිටවීමෙන්
සශ්‍රිකත්වය වර්ධනය වන බවත් ගඟේ ජලය නෑමෙන් රෝග සුව වන බවත් විශ්වාස කරති.
දිය කැපීම ඇසළ පෙරහර අතිශය උත්කර්ෂවත් අවස්ථාවක් වන්නාක් මෙන්ම පෙරහරේ අරමුණ සංකේතවත් කරන චාරිත්‍රයක් වේ.  ඇසළ පෙහර කෘෂි කර්මාන්තය සඳහා වැස්ස ලබා දෙනු මැනවයි දෙවියන් උදෙසා කරනු ලබන යාතු කර්මයකි. සෑම ඇසළ පෙරහරක් අවසානයේදීම දිය කපන මංල්‍යය පවත්වන්නේත් හැම පෙරහරක්ම අවසානයේදී වැස්ස ලැබෙන බව මිනිස්සු විශ්වාස කරන්නෙත් ඒ හෙයිනි. දිය කපන මංගල්‍යයට දළදා මාලිගාවේ පෙරහර සම්බන්ධ නොවන්නේ වැස්ස ලැබිම හැකියාව නිතැතින්ම දළදා වහන්සේට ඇති හෙයිනි.
දිය කැපීම ඇසළ පෙරහරේ ඉතා වැදගත් අංගයක් වුවද අද එය කාගෙවත් වැඩි සැලකිල්ලක් ලබන්නක් නොවේ. එය පැරණී චාරිත්‍රය යන්තමින් ඉටු කිරීමක් පමණි. දිය කැපීමට ඉර උදාවන තුරු ගඟ මැදට ගොස් ගඟේ ඉහළට යායුතුය. මේ සඳහා මනා කොට  සරසන ලද පාරුවක් යොදා ගනී. සුබ මොහොතකට දිය කපා ගත් ගඟ ඉහළට ගිය මිනිස්සු කෑ කෝ ගැසීමෙන් ද ගඟ අවට රැස්වන මහජනයාට ජලය හෝ මඩ ඉසීමෙන් ද ජයග්‍රහණය පල කරමින් තොටුපළට ආ බවත් ඒ ජලය හා මඩ ඉස ගැනීමට මහජනයා ගං තෙරට රැස්වී සිටි බවත් එය වැස්ස ලැබෙන බවට පෙර නිමිත්තක් කොට සැලකූ බවත් පැරන්නෝ කියති. අදද එවැන්නක් දක්නට ලැබේ.
දිය කපා ගැනීමෙන් පසු ගොඩට එන ඒ ඒ දේවාලවල කපුරාළලා දේවාභරණ හා කපා ගත් ජලය පිරුණු කෙන්ඩි රන් දෝලිවල තැන්පත් කොට ඇති දෑ තාවකාලිකව දේවාලයන්හි තැන්පත් කරති. අනතුරුව  එහි රැස් වී සිටි බැතිමතුන්ගේ පඬුරු පිළිගෙන යාතිකා කරති. මෙය පෙ.ව. 9.30ට පමණ ගැටඹේ තොටින් පිටත්ව මහනුවර පේරාදෙණිය පාර ඔස්සේ නුවරට පැමිණ  11.00ට පමණ ගණදෙවි කෝවිලට සම්ප්‍රාප්ත වේ. මේ පෙරහර  නැරඹීමට පෙරහරට සහභාගි වූ අලින්ට උක් ගස් ආදියෙන් සංග්‍රහ කිරීමටත් කුඩා ළමයින් රෝග පීඩාවෙන් ආරක්ෂා කරගනු පිණිස අලින්ගෙ බඩ යටින් ගෙන යාමටත් මිනිස්සු මග දෙපස එක දිගට පෙළ ගැසී සිටිති. අලින්ට මෙන්ම ඇත් ගොව්වන්ටද මෙය වාසිදායක ගමනකි. ඉහත කී ගණදෙවි කෝවි‍ලේ ප්‍රධාන පූජකතුමා ඇතුළු නිලධරුවන් විසින් ක්‍රමයෙන් නුවරට පැමිණි මෙම පෙරහර පිළිගැනීමට විශේෂ පෙරහර වේදිකා තැනීමෙන් ද අවට සැරසීමෙන් ද දක්වන උනන්දුව ඉතා වැදගත්ය. ප.ව. 2.00ට පමණ වන තුරු එහි රැඳී සිට නැවතත් දේවාල පෙරහර සංවිධානය වී ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැ‍ලේ වීදිය, දළදා වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී. එස්. සේනානායක වීදියේ මංසන්ධියට පැමිණේ. එවිට ගෙඩිගේ විහාරයේ පෙරදින තැන්පත් කරන ලද කරඬුව වැඩමවාගෙන පැමිණෙන දළදා මාලිගා පෙරහර ඩී. එස්. සේනානායක වීදියේ මංසන්ධිය පසුකර ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ඉදිරියට  ගමන් කරන විට සතර දේවාලයෙහි පෙරහර දළදා පෙරහරට එකතු වේ.  ක්‍රමයෙන් ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන්  රජ වීදියට හැරී මාලිගා චතුරශ්‍රය වටා තෙවරක් පැදකුණු කොට දළදා පෙරහර මාළිගාවටත් සියලු දේවාල පෙරහර ඒ ඒ දේවාලවලටත් ගෙවදීමෙන් අනතුරුව දියවඩන නිලමේතුමා ඇතුළු බස්නායක  නිලමේවරු කෙටි පෙරහරකින් පෙරහර සංදේශය   රැගෙන රජ මැදුරට ගමන් කරති. පැරණි චාරිත්‍රානුකූලව සාර්ථක අයුරින් පෙරහර නිම කළ බව ජනාධිපතිතුමන්ට සැළකිරීමෙන් පසු ඇසළ මංගල්‍ය නිමාවට පත්වේ.
වාර්ෂිකව පවත්වන ලෝකයේ අතිඋත්තම සංස්කෘතික, ජාතික හා ආගමික සංදර්ශනය උතුම් වූ දළදා වහන්සේට මහා සංස්කෘතික පූජෝපහාරයක්ම වේවායි සමස්ත ලෝවැසි බෞද්ධ ජනතාවගේ එකම පැතුමයි.

මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ රාවණා ඇල්ලේ ඤාණානන්ද හිමිමහනුවර ශ්‍රී සම්බුද්ධාලෝක සමාධි විහාරයේ විහාරාධිකාරි
 

Page 4 of 8

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.