lakbima.lk


විතක්ක යනු සිතුවිල්ලක තර්කන ස්වභාවය, කල්පනාව, සංකල්පය යන්නයි. සණ්ඨාන යනු සිහිකිරීම, මෙනෙහි කිරීම යන්නයි. මෙම වචන දෙකේ (සමොදාන ක්‍රියාව) එකතුව මෙබඳු අදහසක්, සංකල්පයක් ඉදිරිපත් කරයි. අකුසල් සිතුවිලි, අකුසල සහගත කල්පනා දුරුකරමින් කුසල් සහගත සිතුවිලි දියුණු කිරීම යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව සිදු කරනුයේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක භික්ෂූන් අරමුණු කරගනිමිනි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ කරුණු ඉදිරිපත් කරයි.
''අධිචිත්ත මනුයුත්තේන භික්ඛවෙ භික්ඛුනා පංච නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි''
''මහණෙනි සමත - විදර්ශනා යන අධිචිත්ත භාවනා පුරුදු පුහුණු කරන ගිහි - පැවිදි සැවෝම විටින් විට කරුණු 05 ක් මෙනෙහි කරගත යුතුය.'' පසුව උන්වහන්සේ එම කරුණු මෙසේ පැහැදිලි කළ සේක.

1. අඤ්ඤ නිමිත්ත
2. ආදිනව නිමිත්ත
3. අසති අමනසිකාර නිමිත්ත
4. විතක්ක මුලභේද නිමිත්ත
5. අභිනිග්ගණ්හණ නිමිත්ත යනාදී වශයෙනි.
අඤ්ඤ නිමිත්ත
යමෙකු යම් දෙයක්, යම් අරමුණක් මුල්කරගෙන සිතීමට පටන් ගත් විට ආශා සහිතවූත්, තරහ සහිත වූත් මුලාව සහිත වූත් අකුසල සිතුවිලි ඉපදීමට ඉඩ හසර විවර වේ. එවිට පුද්ගලයා කළ යුත්තේ අකුසල චිත්තවේග (සිතුවිලි)
හළමින් (ඉවත් කරමින්) ඒ වෙනුවට කුසල් සහගත සිතුවිලි ඇති අරමුණක් මෙනෙහි කිරීම යෝග්‍ය සම්පන්න වේ. එමගින් සතර අපායට යොමු කරන සිතුවිලි (චිත්තවේග) දුරු වී කුසල් සිතේ තම සිත පිහිටා ගැනීමට හැකියාව උදා වේ.
ආදිනව නිමිත්ත
කුසල සහගත (අලෝභ, අදෝස, අමෝහ) අරමුණක් මෙනෙහි කරන කලදීත් ලෝභ සහිත ද්වේස සහිත මෝහ සහිත පාපී සහගත අකුසල සිතුවිලිම ඉස්මතු වුවහොත් එහිදී අකුසල සහගත චිත්ත වේගයන්හි ඇති පාපිමය ප්‍රබලතා නැතහොත් එහි ආදිනවය මෙනෙහි කළ යුතුය. එය ඒ අයුරින් කළ යුත්තෙක් අන් යමක් සඳහා නොව පවිටුකාමී අදහස් තමා මෙන්ම අනුන් ද දැවීමට සමත් වන බැවිනි. එවිට අකුසල ච්ෙතනා (අදහස්) පහව ගොස් තමාගේ සිත තමා තුළම පිහිටනු ඇත. එමගින් චිත්ත ඒකාග්‍රතාව ඇති වේ.
අසති අමනසිකාර නිමිත්ත
අකුලස සිතුවිලිවල ආදීනවය සිහි කරද්දීත් නුවණින් විමසද්දීත් ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල තත්ත්වයන් සිතෙහි උපදින්නේ ද එවිට එම අකුසල සිතුවිලි සිහි නොකිරීම නිසා ලෝභාදී අකුසල සිත් නැතිව යන්නේය. තමාගේ සිත තුළම තමාම පවතින්නේය. සිත සමාධිගත වන්නේය.
විතක්ක මූලභේද නිමිත්ත
යම් කෙනකු අකුසල් සිතුවිලි සිහි නොකර සිටිද්දී මේ ලෝභාදී අකුසල සිතුවිලි තම සිතට ඇතුළත් වේ නම් ඔහු විසින් එකී පාපී ළාමක පහත් කුසල සිතුවිලිවල මූලස්ථානය එසේත් නැතිනම් මේ අකුසල් සිතුවිලි කවර හේතුවකින් කවර ප්‍රත්‍යයකින් කවර කාරණයකින් උපන්නේද යන්න විමසීම කළ යුතුය. එසේ විමසීමේදී අකුසල් සිතුවිලි අභාවයට ගොස් සිත සමාධිගත වේ.
අභිනිග්ගණ්හණ නිමිත්ත
ලෝභා දී අකුසල මූලයන්ට සිතුවිලිවල ඇති වීමට හේතුව, ප්‍රත්‍ය මෙනෙහි කිරීමේදීත් සිහි කිරීමේදීත් මෙම අකුසල සිතුවිලි සිතට පැමිණෙන්නේය. එහෙත් දැඩි වීර්යයෙන් උත්සහයෙන් දිවෙන් තල්ල තදකරගෙන දත්මිටි කාගෙන කුසල් සිතින් අකුසල් සිත මැඩලිය යුතුය. මේ අයුරින් දිවෙන් තල්ල පෙළාගෙන දත්මිටි කාගෙන කුසල් සිත ඒ ලෝභකම නිසා තරහා නිසා මෝඩකම නිසා ඇති වූ අකුසල් සිතුවිලි පෙළන කොට ඒ අකුසල සිතුවිලි දුරු වෙලා තමා කෙරෙහි යොමු වෙලා පිහිටමින් සිත සමාධිගත වේ.

ත්‍රිපිටක විශාරද කරඹෑවේ සීවලී හිමි

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.