lakbima.lk

කෝට්ටේ පාර්ශවයේ අභිනව අනුනාහිමි අක්ත පත්‍ර ප්‍රදානය

මෙයට එකුන් පනස් වසරකට පෙර සරසවි පිවිසුම් පෙලෙන් ඉහලම සාමාර්ථ ලැබුවෝ පේරාදෙණිය සරසවියට ඇතුල් වීමට වරම් ලදහ.1969 වර්ෂයේදී එම වරම අප තිලකසිරි හිමියන්ටත් මටත් හිමි විය.එදා මෙදා තුර දශක පහකට ආසන්න කාලයක් තිලකසිරි හිමියන්ගේ ඇසුර ලැබීමට මට අවස්ථාව උදා විය.සමාජයේ ජීවත් වන්නවුන් අතර ඇතැමකු තම දියුණුවට පමණක් කටයුතු කරති.තවත් අය තම දියුණුවට මෙන්ම අන් අයගේ දියුණුවටද අත හිත දෙති.එමගින් බුදුදහමේ ඉගැන්වෙන “පරත්ත0 පටිපජ්ජති”අනුන්ගේ දියුණුවට කටයුතු කරන්නා යන ඉගැන්වීම සනාථ කරයි.සරසවියට පිවිසෙන්නෝ ද මෙම කොටස් දෙකට අයත් වෙති.මා දන්නා තිලකසිරි හිමියෝද තම ජීවිතය පුරාම අනුන්ගේ දියුණුව වෙනුවෙන්ද කටයුතු කරන තෙර නමකි .

1948  වසරේ ජුනි 18 කළුතර දිශාවේ  දෙදියවල නම් සුන්දර ගම්වරයෙහි දී මෙලොව ජනිත පිං ඇති කුල කුමරු පෙර සසර කල පුණ්‍ය කෘත මහිමයත් නිසාම  මතුගම පඥ්ඥාවාස කළුතර තොටමුනු ප්‍රධාන සඟනා හිමියන්ගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක ලෙස 1964 වසරේදී කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී උතුම් පවුජ්‍යා භූමියට පත් වූහ.ලබුගම ලංකානන්ද , වැලමිටියාවේ කුසලධම්ම , ඉත්තෑපාන ධම්මාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇසුරෙන් මූලික අධ්‍යාපන සරි කල තිලකසිරි හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර , කොළඹ යන විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනද ශ්‍රී ලංකා රජයේ ශිෂ්‍යත්වයක් ලැබ අධ්‍යාපනය පිලිබඳ තෙමසක විශේෂ පුහුණුවක් ඉන්දියාවේදීද ලදහ.

කළුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී , දිස්ත්‍රික් සභාපති ස්වාමීන්වහන්සේ ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටු කල නාහිමියෝ දහම් ගුරු පුහුණු දේශකයන් වහන්සේ නමක ලෙසද සේවය ලබා දෙති.දෙදියවල ධර්මාරාම පිරිවෙන ආරම්භ කල උන්වහන්සේ ප්‍රදේශයේ සෑම පොදු කටයුත්තකදීම පෙරමුණ ගෙන කටයුතු කරති.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර දිශාවේ ප්‍රධාන සංඝනායක , බෙන්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී ධුරය දරමින් තත් සංඝ සභාවට මහත් ආලෝකයක් වන නාහිමියෝ විසි එක් වැනි උතුම් අනුනායක පදවියට පත් වීම සැබවින්ම සුදුස්සාට සුදුසු තැන හිමි වීමට කදිම නිදර්ශනයක් බඳුය. 

දුප්පත් ජනතාව පිලිබඳ සිතේ ඇති වූ අනුකම්පාව නිසා ඔවුනට උදවු කිරීමට තෝරාගත් වැරදි පාරක් නිසා උන්වහන්සේ මෙන්ම මාද සරසවි ජීවිතයේදී අපහසුතාවට පත් වූ බව මෙහිදී සිහිපත් වේ.එහෙත් එමගින් ලද අත්දැකීම් තුලින් සමාජයට කටයුතු කල යුතු ආකාරය තුලින් ලැබූ පන්නරය අපගේ ඉදිරි ගමනට ආශිර්වාදයක් විය.

තිලකසිරි හිමියන් තමා සමග කටයුතු කරන ශිෂ්‍ය ප්‍රජාවට නායකත්වය දී කටයුතු කල ආකාරය මට සිහිපත් වේ.ඇතැම් බැරෑරුම් ප්‍රශ්න වලදී උන්වහන්සේ දුන් නිවැරදි උපදේශ දුරදක්නා නුවනින් ගනු ලැබූ ඒවා බව අද අපට පැහැදිලිය.නූතන පදවී වල කටයුතු කිරීමට එම අත්දැකීම් උන්වහන්සේට පිහිට වූ බව පැහැදිලිය.සරසවියෙන් පිටව සමාජයට පිවිස පොල්ගොල්ල ශාස්ත්‍ර රවින්ද පිරිවෙන්හි කලක් අපට එකම ගුරුමඩුල්ලේ   කටයුතු කිරීමට අවස්ථාව උදා විය.එම ක්ෂේත්‍රයෙහි කටයුතු කල උන්වහන්සේ උසස් ආයතනවල කථිකාචාර්ය පදවි පවා හොබවමින් ඉදිරියට ගමන් කළහ.මා විදෙස් ශාසනික කටයුතු වලට නැඹුරු වුවද අප අතර තිබු ඒ සමීප හිතෛෂී බව අඛණ්ඩව පවතී.

සුදුසුම භික්ෂුන් වහන්සේලා සොයා පදවි පිරිනැමීම පිළිබඳව ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට ඇත්තේ කීර්තිමත් නාමයකි.අපේ දෙදියවල තිලකසිරි නාහිමියන්ට තත් නිකායේ අනුනායක පදවිය පිරිනැමීමෙන් ඒ බව නැවත සනාථ වී ඇත.

අභිනවයෙන් ලබන අනුනායක ධුරයේ දීප්තිමත්ව කටයුතු කරමින් මෙතෙක් කර ගෙන ආ ජාතික , ආගමික , ශාසනික මෙහෙවර තවත් චිරාත් කල් යෙහෙන් කර ගෙන යාමට අවශ්‍ය  කායික , මානසික ශක්තීන් සමග නිරෝගී සම්පත්තිය ත්‍රිවිධ රත්නයේ සරණින් ලැබේවායි ආශිංසනය  කරමි.

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති , ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සර නාහිමි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.