lakbima.lk

රඹුක්වැල්ලේ දේවානන්ද හිමි පිළිගැනීමේ උළෙල මහ ඉහළින්

ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ  ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමි සානුනායක කාරක මහා  සංඝ සභාව මගින් ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහා පරිවේනස්ථානයේ අධිපති ශාස්ත්‍රපති 

රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් වෙත  “සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ෂිත භාෂාන්තර විශාරද” යන ගෞරව නාමය සහිතව ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා මහනුවර මල්වතු මහා විහාරයේදී හා ගම්පහ දොරණෑගොඩ රජමහ විහාරස්ථ සදානන්ද මහා පරිවේනස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි.
පුරා වසර විසි පහක් තිස්සේ රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් දෙස් විදෙස් වශයෙන් ජාතික, ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය  වශයෙන් සිදු කරන ලද සේවයට උපහාරයක් වශයෙන් උන්වහන්සේ වෙත මල්වතු මහා විහාරයේ  මෙකී නායක පදවිය පිරි නමා ඇත. කැලණිය රජමහා විහාරය හා කිත්සිරිමෙවන් රජමහ විහාරාධිපති  කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිතාභිධාන නායක ස්වාමීද්‍රයන් වහන්සේ අනුශාසනාවක් කරමින් කැලණිය  විහාර පරපුරට  අයත් දොරණෑගොඩ රජමහ විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බුද්ධ දේශීත නිර්ණායයන්ට අනුව සියලු සුදුසුකම් සපුරා ඇති බවත් බුද්ධ දේශනාවන්ට අනුව සියලු ආකාරයෙන් සිය පෞරුෂත්වය ගොඩනඟා ගත් උගත්, දක්ෂ, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන අතර උන්වහන්සේට ආඩම්බරවීමට කරුණු රාශියක්  තිබුණද ඉතා නිහතමානීව කටයුතු කරන  බවත් පැවැසූහ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථීර ‍ලේකම් ආචාර්ය සුදත් ගුණසේකර මහතා ද මෙහිදී කතාවක් පැවැත්වීය.
 සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අභිනව නාහිමි පිළිගැනීමේ උත්සවයක් දොරණෑගොඩදී පැවැත්විණි. ඉංග්‍රීසි අධිරාජ්‍ය යුගයේදී පවා මෙබඳු තනතුරු ප්‍රදානය සිදු කිරීම සිදුවුණූ බවත් ඒ සඳහා බ්‍රිතාන්‍ය මහා රැජිනටවත් සම්බුද්ධ  ශාසනයේ  දේවල් නැවැත්වීමට නොහැකි වූ බවත් ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.
මෙම උත්සවයට වැඩම කළ ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ  අනුනායක ගෙඩිගේ රජමහ විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි  අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද අනුශාසනාවක් කරමින් බුද්ධ කාලයේ පටන් මෙබඳු තනතුරු භික්ෂුන් වහන්සේලාට පිරිනැමුණු බවත් උගත් ධර්මධර විනයධර  ජාතික, ආගමික, සමාජයීය සේවාවන් සිදු කරන භික්ෂුන්ට මෙබඳු පදවි පිරි නැමීම ශාසනික සම්ප්‍රදායක් බවත් මේ පදවිය සඳහා රඹුක්වැල්ලේ දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියලු සුදුසුකම් සපුරා ඇති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් බවත් පැවැසූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපාන ශ්‍රී පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ‍ලේඛකාධිකාරි නැදගමුවේ විජය මෛත්‍රී හිමි ද අනුශාසනාවක් කළහ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය ‍ලේකම් ආචාර්ය සුදත් ගුණසේකර මහතා ද උත්සව සභාව ඇමතීය.
අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විජිනිපත පිළිගැන්වීය. දොරණෑගොඩ සදානන්ද පරිවේනාධිපති හා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත නාරම්පනාවේ ප්‍රඥාකීර්ති හිමියන් විසින් පිළිගැනීමේ කතාව කළ අතර අභිනව  නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලදී. ප්‍රාදේශීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු අති විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

මනෝජ් එදිරිසිංහ - මීරිගම
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.