lakbima.lk

පින්බර මාහිමියෝ පුරති දාන පාරමී

අපිට අන්තිමට ඉතිරිවෙන්නේ මහත්තයෝ අපි දෙන දේ විතරයි. මොන ගැටලු ආවත් මම ඇස් දෙක පියාගන්න තුරු මම අසරණ අයට පිහිට වෙන එක නතර කරන්නේ නෑ. ඒ අය යමක් ලබා ලබන සතුට තමයි මට ලැබෙන පින.”
ඒ මෑත කාලයේ අප දුටු ජීවමාන වෙස්සන්තර හාමුදුරුවෝ ලෙස බොහෝ දෙනා හඳුන්වන මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අදහසය.
සැබවින්ම උන්වහන්සේ දන් දීමට උපන් යතිවරයෙකි. නාහිමියන් වැඩ සිටින්නේ ප්‍රංශයේ වුවත් නිතරම උන් වහන්සේගේ සිත තිබෙන්නේ තම මව්බිමේ අසරණ ජනයා කෙරෙහිය.
අන්තර්ජාලය හරහා දිනපතා පුවත්පත් කියවන විට ඇස ගැටෙන අසරණ වුවන් පිළිබඳ විස්තර නාහිමියන්ගේ ප්‍රජා සත්කාරයට එක් කර ගැනීම උන්වහන්සේගේ දින චරියාවේ එක් අංගයකි.
ලංකාවේ කුමන ප්‍රදේශයක වුවද අඩු ආදායම්ලාභි පවුලක සිසු දරුවකු ගැන විස්තර අසන්න ලැබුණහොත් එම දරුවාට ශිෂ්‍යාධාරයක් ලබා දීමේ සිට හිසට සෙවණක් නැති අහිංසක පවුල් වෙත නිවාස ඉදිකිරීම දක්වා නාහිමියන්ගේ සේවාව පුළුල් වී තිබේ.
“මට ලැබෙන හැම දෙයක්ම  මම අනුන්ට දෙනවා. මම එයින් ලබන්නේ අප්‍රමාණ ප්‍රීතියක්. එහෙම දෙන නිසාම සමහර අවස්ථාවල මට ඉතිරි වන්නේ මම ‍පොරවාගෙන සිටින මේ චීවරය පමණයි.”
නාහිමියන්ගේ ජීවන චරිතය දන්නා අයට උන්වහන්සේගේ ඒ වදන් අමුත්තක් නොවන්නේය.
සැබවින්ම නාහිමියෝ ලැබෙන සියලු දේ රැස් නොකරති. සියලු දේ අස්කර හිත හිස් කර ගනිමින් පින් රැස් කර ගැනීම නාහිමියන්ගේ සිරිතය.
නාහිමියන් වැඩ සිටින ප්‍රංශයට වැඩම කරන මහා සංඝරත්නයට පමණක් නොව දන්නා හෝ නොදන්නා අයෙකුට වුවද එකසේ ඉහළින් ආගන්තුක සත්කාර කිරීම නාහිමියන්ගේ පිළිවෙතය.
බෝසතාණෝ බුද්ධත්වය ලැබිමෙන් පසු මුලින්ම ක‍ලේ කෘතගුණ සැලකීමය. ඒ බුදු වීමට සෙවණ දුන් ඇසතු බෝරුකටය. නියම බුද්ධ ශ්‍රාවකයෝ ඒ මගම යති. අපේ ඤාණිස්සර නාහිමියන්ගේ ජීවිතය පිරී ඇත්තේ කෘතගුණ සැලකීමේ ගුණයෙනි. තමන් වහන්සේට යන්තමින් හෝ උදව් උපකාර කළ ගිහි හෝ පැවිදි හෝ වේවා කවරෙකුට වුවද කෘතගුණ සැලකීම මෙන්ම ඒ කළ උපකාරය සිහියෙහි තබා ගැනීම නාහිමියන් තුළින් දක්නට ලැබෙන සුවිශේෂි ගුණයකි.
තමන් වහන්සේට ජාත්‍යන්තර ධර්ම දූත මෙහෙවරට යෑමට මඟ විවර කර දුන් පරවාහැර චන්දරතන ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳ කෘතවේදීව නිතර සිහිපත් කරන ඤාණිස්සර නාහිමියෝ තමන් වහන්සේ කෝටි 3 1/2ක වියදමින් මිද්දෙණිය රජයේ රෝහ‍ලේ ඉදිකළ අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණය විවෘත කරවන ලද්දේද චන්දරතන නාහිමියන් අතින් වීම විශේෂත්වයයි.
එසේම ඤාණිස්සර නාහිමියන්ගේ කුඩා අවදියේදි අධ්‍යාපනය ලැබිමට උපකාර කළ ඇත්ගාලමුල්ල බෝගහහේනේ ඩී. සී. රණවීර යුවළට පින් පැමිණවීම සඳහා පසුගිය වසරේදි විශාල පින්කමක් නාහිමියන්ගේ පෞද්ගලික වියදමින් එම නිවසේදී සිදුකළ බව අපට මතකය.
මේ මොහොතේ ලබන උපකාරය ක්ෂණයකින් අමතක කරන ගිහි පැවිදි ඇතැමුන් පිළිබඳ අත්දැකීම් බහුලව ඇති මේ යුගයේදී මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් වැනි උදාර ගති ඇති බුදු පුතෙකුගේ ආශිර්වාදය ලැබිමට හැකිවීමත් වාසනාවකි.
“මහත්තයෝ මම කවදාවත් කගෙන්වත් ඉල්ලන්නේ නැහැ. මම මේ හැම දෙයක්ම කරන්නේ මට ලැබෙන දෙයින් පමණයි.”
ඒ අනුව  ඉල්ලීම නාහිමි සිරිත නොවන්නේය. දීම නාහිමි පෙරුම්පුරාගෙන ආ දෙයකි. වසරකට වරක් ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු කොටුවේ සම්බුද්ධාලෝක විහාරයේ කුඩා කාමරයක වැඩ වසමින් ආපසු ප්‍රංශයට වඩිනතුරුම කිසිදු විවේකයක් නොලබමින් නාහිමියන් මුළු කාලය වැය කරන්නේ අන්‍යයන් උදෙසාය. විදෙස්ගත බොහෝ දෙනා මව්බිමට පැමිණෙන්නේ විවේකය ගැනීමට වුවද නාහිමියන් වඩින්නේ වැඩ කිරීමට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි.

නාහිමියෝ සෑම වසරකම වෛද්‍ය විද්‍යාලයට සමත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරති. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය හමාරවන තුරුය. මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ 1990 සිටය. මාසිකව රුපියල් 2500 බැගින් සිසුන්ට ශිෂ්‍යාධාර හිමිවන අතර මේ වන විට ප්‍රතිලාභ ලැබූ සිසුන්ගේ ගණන 600 ඉක්මවා තිබේ.
ලැබෙන දේ දන්දීම මෙන්ම නාහිමියෝ ලැබුණු දේද අත්හැරියහ. තමන් වහන්සේට ගුරු උරුමයෙන් හිමිවූ විහාරස්ථාන සිය ශිෂ්‍ය, සහෝදර හිමිවරුන්ට පවරා දී ඒවායෙහි දියුණුවට මෙන්ම එම ගම්වල ජනයාගේ සුබසෙත සඳහාද නාහිමියෝ විශාල මෙහෙවරක් කරති.
මුරුංගාගස්යායේ ගමේ මරණවලදි ආධාරදීම හම්බන්තොට විහාරවල හිමිවරු අපවත්වූ විට ආදාහනයට මුල්‍යාධාර දීම, විවිධ පළාත්වල නිවාස අහිමිවූවන්ට නිවාස ඉදිකරදීම, රණවිරු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව දීම, අසරණ රෝගීන්ට ඖෂධ සඳහා මූල්‍යාධාර සැපයීම, සිය මව්පියන්ට පිං පිණිස නිවාස හා බස්නැවතුම් ‍පොළවල් ඉදිකරදීම, මිද්දෙණිය රෝහලට කෝටි 3 1/2ක වියදමින් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, වෛද්‍ය නිල නිවසක් ලබාදීම ආදි දහසකුත් සමාජ සත්කාරයන් නාහිමිගෙන් මේ වන විට සිදුවී තිබේ. ඉන් බොහෝමයක් උන්වහන්සේටද අමතකව ඇතැයි සිතමි. ඒ සේවාව ඒ තරමටම පුළුල්ය. එසේම මාධ්‍ය සංදර්ශනවලින් තොරය. මේ සේවාවන් දන්නේ උන්වහන්සේත්, එය ලබන අයත්, කිට්ටුවෙන් ඇසුරු කරන අයත් පමණකි.

නාහිමියන්ගේ මේ වසරේ වෛද්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය ලබන 2දා කොළඹදී පැවැත්වෙන අතර 1 දා කුඩාබැදිගමදී රුපියල් ලක්ෂ 10ක පමණ වියදමකින් විශාල පිරිසකට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමටද කටයුතු යොදා ඇත.
අපේ නාහිමියන්ට දිගාසිරි පැතීමට, සෙත් පැතීමට අමුතු පින්කම්, ප්‍රාර්ථනා අවශ්‍ය නොවන්නේය. උන්වහන්සේගෙන් උපකාර ලබන අසරණ ජනයාගේ සතුට ආශිර්වාදයක් බවට පත්වනු නොඅනුමානය.

- ධර්ම ශ්‍රී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.