lakbima.lk

ලොවින් සැගවුණු පිදුරංගල රහස්

පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත් ලක් ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ පිදුරංගල පබ්බත විහාරයට හිමි තැන සුළු පටු නොවේ. මේ අවස්ථාවේ ඒ පිළිබදව යමක් පැවසීම වැදගත් යැයි හැගේ.

කාශ්‍යප රජතුමා විසින් සීගිරි පර්වතය තම රාජධානිය කර ගත්තේ ක්‍රි.ව පස්වන සියවසේ බව තහවුරු වී තිබේ. එහෙත් ඊට පෙර සිටම එය ආශ්‍රිතව භාවනුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාධාරණ ලෙස කරුණු තහවුරු කරගත හැකිය.

අද අපගේ මාතෘකාවට ලක්වන පිදුරංගල පර්වත විහාරයද අතීතයේ භික්ෂුන් වහන්සේ වැඩසිටි පබ්බත විහාරයක් බව පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇත. ඒ සීගිරි රාජධානිය පිහිට වීමට වසර අටසීයකට පමණ පෙර ලියවුණු පුර්ව බ්‍රාහ්මී සහ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවුණු ලෙන් ලිපි අටක් අදටත් එහි දක්නට ලැබෙන බැවිනි.

සිගිරිය හැරුණු කොට එම ප්‍රදේශයේ පිහිටි උස්ම පර්වතය වන මෙහි උස මුහුදු මට්ටමින් මීටර් 350ක් පමණ වේ. එනිසා මෙම පිදුරංගල පර්වතය මතට නැගි විටක සිගිරි පර්වතය ඇතුළු හාත්පස ඉතා මැනවින් දර්ශනය වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතට මාතලේ දිස්ත්‍රිකයට සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පිදුරංගල පබ්බත විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ගැසට් මගින් ලියාපදිංචි කර තිබේ.

කාශ්‍යප රජුගේ සොයුරු මුගලන් රජු විසින් මෙම විහාර තැනීමට රත්තරන් පුජා කළ බවත් එසේ රන් පුදා තැනූ විහාරය පසුව පිදු+රන්+ගල වශයෙන් ව්‍යවහාර වූ අතර එය වර්තමානයේ පිදුරංගල වශයෙන් හැදින්වෙන බව ජන වහරේ දැක්වෙයි.

සීගිරි කාශ්‍යප රජතුමා මෙම විහාරය කෙරෙහි මහත් බැතියෙන් සිටි බවටත් අවසානයේ එතුමන්ගේ ඉල්ලීම පරිදි රජතුමාගේ ආදාහනය මෙම විහාර බිමේදී සිදු කරන බවත් පැවැති ජනප්‍රවාදය පුරාවිද්‍යාත්මකව සනාථ කර ගැනීමට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු සමත්වුහ. ඒ පර්වතයේ පාමුල ඇති දාගැබක් කැණීමේදී එහි තිබූ දැවමය අගුරු සමග මිනිස් සිරුරක අවශේෂයන් මතුකර ගැනිමෙනි. එම ස්ථූපය අදද දක්නට ලැබේ.

ශ්‍රි ලංකාවේ දැනට දක්නට ලැබෙන පැරණිතම ගඩොල් බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙනුයේද මෙම පිදුරංගල පර්වත විහාරයේය. සැතපෙන පිළිමයක් වන එය මේ වන විට සංරක්ෂණය කර සැදැහැවතුන්ට වැඳ පුදා ගත හැකි මට්ටමක තිබේ. ඊට අමතරව විහාර බිමේ ඇති සෙසු ලෙන් කුටි වල පොළොන්නරු යුගයට නැතහොත් දොලොස් වන සියවසට අයත් චිත්‍ර කිහිපයක්ද දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් පදවිය හෙබවු එච්.පී.සී.බෙල් මහතා සීගිරි චිත්‍ර පිළිබදව අනාවරණය කරන ලද්දේ එවා මගින් කාශ්‍යප රජුගේ බිසෝවරුන් පිදුරංගල විහාරය වැදීමට යන බව නිරූපණය වන බවය. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් එම සිතුවම් විජ්ජුලතා සහ මේඝලතා යනුවෙන් හැදින්වීමත් සමග බෙල්ගේ මහතාගේ මතය යටපත් විය. නමුත් මේ දක්වාම ඒ පිළිබද අවසන් නිශ්චයක් නොමැත.

ඒ කෙසේ හෝ සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයක් තබා බොදු සැදැහැවතුන් වත් ප්‍රමාණවත් ලෙස නොපැමීණීම මත ඉහත සදහන් ආකායේ අවකල් ක්‍රියා මෙම පිදුරංගල පර්වත විහාරය ආශ්‍රිතව සිදුවීමේ සම්භාවිතාව තවමත් එලෙසම පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන්ගේ සහ පොලිසියේ විශේෂ අවධානය පතමු.

සහන් සංකල්ප සිල්වා

Comments  

-1 #1 saram 2018-10-02 17:48
kollo kale waraddaknam kashshapa raja seegiriye ganu ruupa ande .
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.