lakbima.lk

ඕලන්ද යුද ශිල්පයේ මහිම කියාපාන කල්පිටිය බළකොටුව

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන අධිරාජවාදීන් අප රට පාලනය කිරීම සම්බන්ධයෙන් බොහෝ කෙනකුගේ සිත් තුළ ප්‍රසාදයක් නැහැ.  ඒත්, එම අධිරාජවාදීන් අප රටට උරුම කොට ගිය ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් සම්බන්ධයෙන් නම්  කිසිවෙක් එවන් අප්‍රසාදයක් පළ කරන්නේ නැහැ. ඒ වෙනුවට කා තුළත් ඇත්තේ ඒ සම්බන්ධයෙන්  හටගත් චමත්කාර ජනක හැඟීම් මුල්කොටගත් කුතුහලයක්.

ශ්‍රී ලංකා සිතියමේ බටහිර දෙසට වන්නට රිකිල්ලක් මෙන් විහිද ගත් කොටස හැඳින්වෙන්නේ කල්පිටිය අර්ධද්වීපය නමින්. කොළඹ, පුත්තලම ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 127 පසුකළ විට පුත්තලමට කිලෝ මීටර් 8ක් එපිටින් පිහිටි  පලාවි හන්දියේ  සිට තවත් කිලෝමීටර් හතළිහක් පසු කළ විට කල්පිටිය නගරයට පිවිසෙන්න පුළුවන්. මේ වටිනා ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක උරුමය දැකිය හැක්කේ  ඒ අර්ධද්වීපයේ උතුරු කොටසේ කල්පිටි නගරයට සමීප නාවික හමුදා මූලස්ථානයට යාබදවයි.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ඕලන්ද ජාතිකයන් විසින් මේ බළකොටුව ඉදිකොට ඇත්තේ 1667 වසරේ බවයි  පැවැසෙන්නේ. මෙම ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වසර දහයක් ගත වී ඇති බව පැවැසෙනවා.

ශ්‍රී ලංකාවේ මෙවැනි බළකොටු තැනූ මුල්ම අධිරාජ්‍යවාදීන් පෘතුගීසින් වන අතර ඉන්පසු අප රට පාලනය කළ ලන්දේසීන්ගේ බළකොටු වනසා ඒ මත තමන්ගේ බළකොටු තනා ගත් බව ඓතිහාසිකව තහවුරු වී තිබෙනවා. අද අපගේ අවධානයට යොමු වන  කල්පිටිය බළකොටුව ඉදිකොට ඇත්තේ කලින් පාතුගීසීන්ගේ ග්‍රහණයට නතුව තිබූ ස්ථානයක වීම විශේෂත්වයක්.  එහි ඉන් පෙර ජේසු නිකායික (බ්ඥඵභඪබ ජඩභපජඩ) දේවස්ථානයක් සහ සිවිල් ජනාවාසයක් පැවැති බවට  සාක්ෂි තිබෙනවා. පසුව කල්පිටියේ බලය අල්ලා ගත් ලන්දේසීන් ඒ දේවස්ථානය මැදි කොට බළකොටුව තැනීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ සෙසු පැරණි බළකොටු හා සසඳන විට කල්පිටිය බළකොටුව තවමත් ඉතා හොඳ තත්ත්වයක පැවැතීමත් විශේෂත්වයක්. චතුරාශ්‍රාකාර හැඩයකින් යුතු මේ බළකොටුවේ සතර පැත්තෙන්ම සතුරන්  ගෙන් ආරක්ෂා විය හැකි ක්‍රමෝපායන් සහිත  ආරක්ෂක අට්ටාල ඉදිකොට තිබෙනවා.  ඒවායේ ඇති සිදුරු සහිත ප්‍රහාරක කුටි තනා ඇත්තේ එම බළකොටුවේ පවුර බිඳීමට එන සතුරන් ඒ ප්‍රහාරක කුටි තුළ සිටම  සමූල ඝාතනය කළ හැකි අයුරිනුයි. මෙය ලන්දේසීන්ගේ යුද්ධෝපක්‍රමවල මහිමය  මැනවින් කියා පාන්නක්.

මුළුමනින් කළුගලින් නිමවා ඇති මෙය ඉදිකිරීම සඳහා අවශ්‍ය කළුගල් පිටතින් සපයාගෙන ඇති බවට අනුමාන කළ හැක්කේ ඒ ප්‍රදේශයේ එවැනි  පාෂාණ ව්‍යුහයක් නොමැති නිසයි.  ආරුක්කු හැඩයෙන් යුතු ප්‍රධාන දොරටුවෙන් එම බළකොටුවට  පිවිසෙන  ඔබට එහි මැද මිදුලක් සේම පසෙක ඇති ලන්දේසි හමුදා නිලධාරී නිවස්න දැක ගන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් සහිත කල්පිටිය ප්‍රදේශයේ පිහිටා තිබුණද මෙම බළකොටුව තුළ  කිසියම් ආකාරයක සිසිලක්  රැඳී පැවැතීම ඊට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ අවධානයට යොමු වන්නක්. කල්පිටිය කලපුව  යාබදව පිහිටීමත් ඊට හේතුව වන්නට ඇති.

1766 සිට 1759 දක්වා වූ කාල පරිච්ජේදය පුරා ඕලන්ද  ජාතිකයන් යටතේ පැවැති මෙම බළ කොටුව පසුව ඉංග්‍රීසි ජාතිකයන් අතට පත් වූ බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා.

පසුගිය යුද සමයේ නාවික හමුදාව යටතේ පාලනය වූ අධි ආරක්ෂිත කලාපයක් සේ නම් කොට තිබූ මෙම කල්පිටි කඳවුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පාලනය වන පුරා විද්‍යා  ස්මාරකයක්ද  වනවා. නමුත් දැනට එහි පවතින නිදහස් සාමකාමී වාතාවරණය යටතේ එහි රාජකාරී කරන නාවික හමුදා සහ පුරා විද්‍යා නිලධාරීන්ගේ අවධානය මැද එම යටත් විජිත උරුමය දැක ගැනීමටත් ඒ සම්බන්ධයෙන් තොරතුරු හැදැරීමටත් පුර්ණ අවකාශයක් ඔබ සතු බව කිවයුතුයි.

සටහන - සහන් සංකල්ප සිල්වා

Comments  

+3 #1 Indika Mayadunne 2018-09-02 09:41
1766 සිට 1759 දක්වා වූ කාල පරිච්ජේදය
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.