lakbima.lk

කාලයේ වැලි තලයෙන් වැසුණු ජාත්‍යන්තර පැරණි වරායකට යමු

ගොඩවාය කියන්නේ ඒ 3 මාර්ගය ඔස්සේ කොළඹ සිට කතරගම දෙසට යන විට අම්බලන්තොටත් හම්බන්තොටත් අතර හමුවන කුඩා ධීවර ගම්මානයක්. වර්තමානයේ  බැලූ බැල්මට එතරම් වැදගත් කමක් නොපෙනුණත් මේ ගොඩවායට ලක් ඉතිහාසයෙන් නම් සුවිශේෂ වැදගත්කමක් හිමිව තිබෙනවා. ඒ  අනාදිමත් කාලයක සිට එහි පැවැති වෙළෙඳ වරායක් නිසයි. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ පමණ  සිට මෙම ගොඩවාය වරාය ජාත්‍යන්තර මට්ටමේ නැව් තොටක්ව පැවැති බවටත් ඓතිහාසික සාක්ෂි තිබෙනවා.

ගොඩවායට ඒ නම ලැබි ඇත්තේ  එහි වෙරළේ පිහිටි සුවිශේෂ පර්වතයක පිහිටීම නිසා බවයි බොහෝ දෙනකුගේ මතය. අතීතයේ මෙය ගොඩපවත පබ්බත නමින් හැඳින්වුණු අතර එම පර්වතය අදටත් එහි යන ඔබට එලෙසින්ම දැක ගත හැකියි. එමෙන්ම මෙය  'ගෝඨ පබ්බත' ලෙසත් ඉතිහාසයේ ඇතැම් තැනක සඳහන්.

සුළං පරිවහනය නිසා වෙරළක් තැනී ධීවර ගම්මානයක් බවට පත්ව ඇති මෙම ප්‍රදේශයේ තරමක් ගැඹුරු මුහුදක් පැවැති බවට අනුමාන කළ හැකියි. ඊට හේතුව ඒ ආසන්නයේම තිබූ එක පෙළට සිටුවා තිබි වැල්ලෙන් වැසී ගිය ගල් කණු කිහිපයක් පුරා විද්‍යා ගවේෂණවලදී හමු වී තිබිමයි. මේවා පැරණි ජැටියේ නටබුන් විය හැකි බවයි පුරා විද්‍යාඥයන්ගේ අනුමානය. මේ වන විට ඉන් එක් ගල් කණුවක් පමණක්  නගා සිටුවා තිබෙනවා. ඒ මහජනතාවට දැක බලා ගැනීම සඳහායි.

එමෙන්ම මෙම ගොඩවායෙන් පර්වතයක කෙටූ ශිලා ‍ලේඛන දෙකක් හමු වී ඇති අතර ඉන් එකක් කියැවීමට අපහසු තත්ත්වයක පවතිනවා. කියැවීමට හැකි සෙල් ලිපිය ක්‍රි.ව. 114 - 136 මාගම රජ කළ පළමු ගජබාහු රජුගේ  වන අතර ඉන් පැවැසෙන්නේ එම වරායෙන් ගන්නා බදු ඒ ආසන්නයේ ඇති විහාරස්ථානය සඳහා ලබා දිය යුතු බවට රජතුමා නියෝග කොට ඇති වගයි. මෙම ගොඩවාය පුරාණ විහාරය අදත් එම ප්‍රදේශයේ ඇති ප්‍රධාන සිද්ධස්ථානයක්.

ඊට අමතරව ගොඩවාය පැරණි වරාය පරිශ්‍රයෙන් බොහෝ ජංගම පුරාවස්තු හමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරණිතම දැව නෞකාවද ගොඩවාය මුහුදු තීරයේ  තිබි හමු වීම විශේෂත්වයක්. එහි තිබි හමු වූ ලෝහ කැබලි ආදියෙන් පුරා විද්‍යාඥයන් අනුමාන කරන්නේ අතීතයේ අප රටින් ලෝහ සහ ලෝහ භාණ්ඩ අපනයනය කළ බවයි. එමෙන්ම ගොඩවාය මුහුදු තීරයෙන් සොයා ගන්නා ලද මුද්‍රා සටහන් සහිත ගල් බංකුව දේශීය නිෂ්පාදනයක් බව සනාථ වනුයේ තිස්සමහාරාමයේ  යටාල වෙහෙර  අද්දර පුරා විද්‍යාත්මක කැනීම්වලින් ද ඊට සමාන මුද්‍රාවන් හමු වී ඇති නිසයි. එමෙන්ම අනාදිමත් කාලයක සිට යටත් විජිත යුගය තෙක් සමුද්‍ර යාත්‍රාවන්  සඳනා ගල් නැංගුරම් භාවිතා කෙරුණු  අතර පැරණි තුන්හුලස් ශිලාමය නැංගුරමක්ද ගොඩවාය මුහුදෙන් හමු වී තිබෙනවා. ඊට අමතරව පබළු සහ මැටි  බඳුන් මෙම ගොඩවාය පැරණි වරාය පරිශ්‍රයෙන් සොයාගෙන තිබෙනවා.

මෙතරම් ඓතිහාසික වැදගත්කමකින් යුතු ගොඩවාය පුර්ව සහ ප්‍රාග් ඓතිහාසික වශයෙන්ද වැදගත් ස්ථානයක් බව සනාථ වන්නේ  එහි සිදු කළ කැනීම්වලින් මතු වූ නෂ්ඨාවශේෂ නිසයි. වක් වූ ආකාරයෙන් මිහිදන් කොට ඇති මිනිස් ඇටසැකිල්ලක අවශේෂ සහ ආදි මානවයන් භාවිත කළ ශිලා සහ අස්ථි මෙවලම්වල කොටස් සහ ඔවුන් ආහාර පිණිස ගත් මුහුදු බෙල්ලන්ද මෙම ගොඩවාය පැරණි වරාය පරිශ්‍රයෙන් හමු වී තිබෙනවා. සොබා සොඳුරු බවින් සහ පාරිසරික සුන්දරත්වයෙන් අනූන  මෙම ගොඩවාය පැරණි වරාය පරිශ්‍රයට සහ පුරාණ විහාරයට කොළඹ කතරගම හරහා වැල්ලවාය ප්‍රධාන  මාර්ගය ඔස්සේ යන අතරේ අම්බලන්තොට නගරය පසුකොට කිලෝ මීටර් දෙකක් ගොස් දකුණට හැරී මඳ දුරක් ගිය විට පිවිසිය හැකියි. කතරගම වන්දනා ගමනකදී හෝ  මඳ වේලාවක් වැය කොට මේ පැරණි වරාය වෙත යා හැකිනම් ඔබට ඉන් ලද හැකි දැනුම  සේම ආශ්වාදය ද සුළුපටු නොවන බවයි කිව යුත්තේ.





සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.