lakbima.lk

නාරද බක්මීවැව කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්. රූපවාහිනී මාධ්‍ය තුළ අපූර්ව සුසංයෝගයක් නිර්මාණය කරපු නාරද - තනුජා මතකයත් එක්ක අපේ සිත් නතර වෙන්නේ රස රිසි ගී ළඟයි. හැමදෙයක්ම වෙනස් වෙමින් යන මොහොතක නාරදත් රූපවාහිනී තිරයෙන් ඈතට ගිහින්. හැබැයි රූපවාහිනී තිරයෙන් දුරට ගියත් නාරද රසික සිත්වලින් නම් ඈත්ව ගියේ නැහැ. ඔහු අලූ‍ත්ම මුහුණුවරකින් අලූ‍ත් ගමනක් ආරම්භ කළා. ඒ ගුවන්විදුලි මාධ්‍යයට අවතීර්ණ වෙමින්. ගුවන් විදුලි මාධ්‍යයට පය තියලා වසරක් ගෙවී යන මේ මොහොතේ ඔහු සමගින් ඒ අලූත් වෙනස ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.

නාරද, කාලෙකට පස්සේ... ජීවිතේ කොහොමද ?

වරදක් කියන්න නැහැ. කවදත් වගේ සතුටෙන්, සැහැල්ලූ‍වෙන් කාර්යබහුලව ජීවිතේ ගෙවෙනවා. මේ දවස්වල ITN එෆ්. එම්. එකේ පොඩි වෙනස් වැඩකට අතගහලා ඉන්නවා.

රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කළ ඔබට ගුවන්විදුලි වැඩසටහනක් කරද්දී ඒ වෙනස දැනුණේ කොහොමද ?

පොඩි වෙනසක්  ඕනේ කියන අදහසත් තිබුණා. ඇරත් මම කරන්නේ ටිකක්  වෙනස් වැඩසටහනක්. ඉම්පොමේෂන් සහ එන්ටර්ටේට්මන්ට් කියන දෙකම එකට එකතුව ගමන් කරන වැඩසටහනක්. ඒක අපි ඉම්පොටේට්මන්ට් (තතු මිහිර) කියලා හඳුන්වන්නට තීරණය කළෙත් ඒ නිසාමයි. කොහොමත් මෙහි අන්තර්ගතය තීරණය කිරීමේ නිදහස මට දීලා තියෙනවා. මේ ක්ෂේත‍්‍රයට මම අලූ‍ත් වුණාට ගුවන්විදුලි ක්ෂේත‍්‍රයේ කවුරුත් හඳුනන  සාරා මට උපරිම සහයෝගය ලබා දෙනවා. වයස් සීමාවක් නැතිව කාටත් එකසේ රසවිඳිය හැකි පැය තුනක ගුවන් කාලයක්. උදේ හතේ සිට දහය දක්වා වෙන්වුණු මේ කාලයේ අප සමගින් එකතුවෙන අසන්නන්ව බලෙන් රඳවා ගැනීමේ ක‍්‍රමවේද අපි අනුගමනය කරන්නේ නම් නැහැ.

නාරද හිටපු ගමන් ගුවන්විදුලියට ආවේ රූපවාහිනිය එපා වෙලාද ?

එහෙම  නැහැ. අපි කොහොමත් විවිධ දේ හොයාගෙන යන මිනිස්සු. මම අභියෝගයන්ට කැමැතියි. අනික මම රූපවාහිනිය අතහැරලා නැහැ. ඉදිරියේ දී ආයෙමත් තනූජත් මමත් එකතුවෙලා අලූ‍තෙන් රූපවාහිනී  වැඩසටහනක් කරන්නයි සූදානමින් ඉන්නේ.

ඒ කියන්නේ තනූජා - නාරද යුගයක් නැවතත් එනවා ?

ඔව්. තවමත් රූපවාහිනී නාලිකා බහුතරයක දුවන්නේ සිරසේ නිමල් ලක්ෂපතිආරච්චි පටන් ගත්තු ආකෘතියමයි. ඒ කියන්නේ එතැන පොඩි හිස්තැනක් තියෙනවා. රූපවාහිනිය සහ ITN නාලිකාව පොඩි වෙනස් ගමනක යෙදුනත් අනෙක්වා වෙනසකට බඳුන් කරන්නට කවුරුත් උත්සාහ කළේ නැහැ. අපි ගොඩනගපු තැනින් එහාට තවමත් ගමන් කර නැහැ. පසුගිය කාලයේ මම ටිකක් පවුලේ අය වෙනුවෙන් කාලය ගත කළා. දැන් ආයෙමත් මගේ වැඩ ගැන  වැඩියෙන් හිතන්න ගත්තා.

පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නට විශේෂ හේතුවක් තිබුණද?

ඔව් පසුගිය වසර කිහිපයම මගේ බිරිද දිනූෂි එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙසුණා. එ් නිසා බබාගේ වැඩ ගොඩක් කෙරුණේ මගේ අතින්. දැන් නම් ඒ සේරම  ඉවරයි.

දිනූෂි කියන්නේ නාරදගේ හොඳම රසිකාවියක් කියලා මම කිව්වොත් ?

එයා උදේ ලෙක්චර් යන ගමන් මගේ වැඩසටහන අහනවා. එයා තමයි කියන්නේ වාහනේක යන එන අතරතුර මිනිසුන්ට සැහැල්ලූ‍වෙන් විඳින්නට පුළුවන් දෙයක් ගැන කතා කරන්න කියලා. මගේ වෘත්තියේදී විතරක් නෙවෙයි ජීවිතේ හැම දේකදීම. ඇය මාව හොඳට ගයිඞ් කරනවා.

ජීවිතේ හැමදේටම මගපෙන්වන බිරිඳක් ඉන්න එක වාසනාවක් නේද?

ඒ අතින් නම් මම ගොඩක් ලකී. එදා වගේම අදටත් සැහැල්ලූ‍වෙන් ජීවිතේ දිහා  බලන්න අපට පුළුවන්. ඒ අපි අපිව තේරුම් අරගෙන ඉන්න නිසා. එහෙම වුණාම ජීවිතේට එන ප‍්‍රශ්නවලට පවා මුහුණ දෙන්න පහසුයි. මෑතකදී මට ආයෙමත් කොණ්ඩෙ වවන්න  ඕනෙ වුණා. දිනූෂි මට ඒකට අවසර දුන්නා. හැබැයි ඒ කොණ්ඩෙ හරියට මේන්ටේන් කරගන්නා පොරොන්දුව පිට. එකිනෙකා තේරුම් ගත්තම ජීවිතේට මුහුණ දෙන එක බොහොම සරලයි. සුන්දරයි. දන්නවද දිනූෂි රැකියාව කරන්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ. එයා රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක්. ඉතින් කෑම බීම විතරක් නෙවෙයි හැමදෙයක්ම කරන්න  ඕනේ සෞඛ්‍ය සම්පන්නවයි. අවුරුද්දකට වරක් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්නත් වෙනවා. ඒ අතින් එයා හැම අතින්ම මා ගැන  හිතනවා.

ඇත්තටම  ඕනෙම පුද්ගලයෙකුට අනාගතය ගැන ලොකු අරමුණු  තියෙනවා. නාරදට තියෙන්නේ මොනවගේ සැලැස්මක් ද?

මම කොහොමත් අනාගතේ ගැන මහ ලොකුවට සැලසුම් හදන කෙනෙක් නෙවෙයි. බෝලය එන විදියට බැට් කරන එකයි කරන්නේ. ඒත් බබාට හොඳින් උගන්වන්න  ඕනෙ කියන අරමුණ නම් තියෙනවා.

නාරද  ආයෙමත් දරු සුරතල් බලන්න අදහසක් නැහැ වගේ?

මොකද නැත්තේ? පසුගිය කාලයේ දිනූෂි ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ ගැන  හිතන්න බැරි වුණාට දැන් නම්  ඒ ගැන හිතන්න  ඕනේ.

තමාරා කල්හාරි පතිරණ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.