lakbima.lk

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ගායනයට පිවිසුණේ සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගැනීමෙන් පසුවයි. සාමාන්‍ය ජීවිතයේදී මට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ටිකක් ඉවසිලිවන්තව දුර දිග හිතලා බලලා තීන්දු තීරණ ගන්න කෙනෙක් විදියටයි මම මාවම දකින්නේ. කෝපයෙන් ඇතිවන සිදුවීමක් වුණත් මම උත්සාහ කරන්නේ බොහොම සන්සුන් විදියට ඒ අවස්ථාවට මුහුණ දෙන්නයි. මාව දන්න හැමෝම මා පිළිබඳව කිසියම් ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තියෙනවා නම් ඔන්න ඔය කියපු හේතු කාරණා නිසයි. හැබැයි මම ඉස්සර මීට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් කියලා ගොඩාක් අය දන්නේ නැහැ. කවුරු හරි ඒ ගැන දන්නවා නම් ඒ අය මම ඉස්කෝලෙ පහ වසරට එන්න කලින් තිබුණු කාල වකවානුව ගැන දැන සිටි අය විය යුතුයි.

මම පුංචිම කා‍ලේ හරිම දඟකාර ළමයෙක්. ඒ විදියට  දඟ වැඩ කරලා අප්පච්චිගෙන් තමයි මම වැඩි පුරම ගුටි කන්නේ. අම්මා නම් ගහන්නේ නොගහ ඉන්න බැරි වුණොත් විතරයි. දඟ වැඩ කරලා අප්පච්චිගෙන් ගුටි කාපු අවස්ථාවක් කාට හරි කියන්න කිව්වොත් නම් මට එක පාරටම විශේෂ සිදුවීමක් මතක් වෙන්නේ නැහැ. මොකද මම ඒ කා‍ලේ ඒ තරමටම අප්පච්චිගෙන් ගුටි කාලා තියෙනවා.

දඟ ළමයි අධ්‍යාපනයට වඩා දඟ වැඩ වලට මුල් තැන දෙන බවට අදටත් වැඩිහිටියන් චෝදනා කරනවානේ. එදා මටත් තිබුණේ ඔය ගතියම තමයි. ඉස්කෝ‍ලේ පහ වසරට එනකල් වාර අවසාන පරීක්ෂණවලදී මම ප්‍රගති වාර්තාව ගෙදර අරගෙන යන්නේ හරි දෙගිඩියාවෙන්. පන්තියේ ළමයි හතළිහක් ඉන්නවා නම් අන්තිම පිරිස අතර තමයි මම හැමදාමත් ඉන්නේ. පුංචි කා‍ලේ ළමයින්ගේ දක්ෂතා දිහා බලලා ගුරුවරු ඒ අය ගැන අනාවැකි පළ කරනවානේ. ඒ විදියට එදා මගේ ප්‍රාථමික පන්තිවල හිටපු ගුරුවරුන්ට නම් කවදාවත් හිතෙන්න නැතුව ඇති මම දවසක මේ වගේ ජනප්‍රිය චරිතයක්. වෛද්‍යවරයෙක් වෙයි කියලා. ගුරුවරුන්ට තියා දෙමව්පියන්ට වැඩිහිටියන්ට  කොටින්ම කියනවා නම් මටවත් හිතුනේ නෑ, දවසක වෛද්‍ය වෘත්තියට පිවිසෙයි කියලා.

ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති වුණාට ඒ දවස්වල මම එකම එක දේකට විතරක් පුදුමාකාර උනන්දුවක් දැක්වූවා. ඒ තමයි කරාතේ සටන් කලාව. ඒ කා‍ලේ මට බෘෘස්ලිව පෙනුනේ මහ වීරයෙක් විදියටයි. බෘෘස්ලිගේ චිත්‍රපට බලන්න තියෙනවා නම් මට කන්න බොන්න වුණත් මතක නැහැ. බෘෘස්ලි රඟපාන චිත්‍රපට ගෙනත් බලන්න මම හරිම කැමැත්තක් දැක්වූවා. හැබැයි මම චිත්‍රපට සම්පූර්ණයෙන්ම බලන්නේ නැහැ. රිවයින් කර කර සටන් ජවනිකා ටික විතරයි බලන්නේ.

සටන් බලලා ඉවර වුණාම ඒ සටන් ක්‍රම අත්හදා බලන්නත් හිතෙනවානේ. ඒ දවස්වල අපේ මාමලා කරාතේ පන්ති යනවා. මම මාමලා එක්ක සටන් පුහුණු වෙනවා. ඒ වගේම ගෙදර පන්චර් එකක් එල්ලලා ඒකටත් පහර දෙනවා.

ඔය කොයි විදියට සටන් කලාව ප්‍රායෝගිකව පුහුණු කළත් ඒ හැමදේටම වඩා වැඩියෙන් ඒක අත්හදා බලන්නේ අක්කයි නංගියි එක්කයි. හැබැයි ඉතින් චිත්‍රපටවල බෘෘස්ලි පහර දෙන විට ප්‍රතිවාදියා ඒ පහරට මුහුණ දෙන විදියට නමෛයි අක්කයි නංගියි මගේ ප්‍රහාර වලට මුහුණ දෙන්නේ. නංගී ඒ වෙනකොට හිටියේ දෙක වසරේ හින්දා එයාට මගේ කරාතේ පහරවල් විද දරා ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට මගේ ප්‍රතිවාදියා වෙන්නේ අප්පච්චියි. අප්පච්චිගේ ගුටි පාරවල් ලැබෙන කොට නම් මට බෘෘස්ලිගෙන් ඉගෙන ගත්තු සටන් කලාවත් අමතකයි. හැබැයි ඒ හැමදේම ටික වේලාවකින් මට අමතක වෙලා යනවා.

ඊට පස්සේ ආයෙම සුපුරුදු දඟ චරිතය තමයි මා තුළින් මතුවෙන්නේ.

ඔය විදියේ දඟකාරයෙක් විදියට තමයි මම මගේ පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ. දරුවන්ව පහේ ශිෂ්‍යත්වයට යොමු කරන බොහෝ දෙමාපියන්ගේ හිත්වල තියෙන බලා‍පොරොත්තු අද මම දන්නවා. හැබැයි එදා මගේ දෙමාපියන්ට නම් ඒ වගේ හීන එදා තියෙන්න නැතුව ඇති. ඒ අය මා ගැන දන්නවනේ. මමත් ශිෂ්‍යත්ව විභාගයට ගියේ කිසියම් අරමුණක් ඇතුව නමෛයි. ප්‍රතිඵල ආවා. මම ශිෂ්‍යත්වය අසමත් ඊට පස්සේ මම පහ වසරෙන් හය වසරට සමත් වුණා.

මගේ දඟ වැඩ අඩු කරලා අධ්‍යාපනය ගැන උනන්දුව ඇති කරන්න නම් මාව වෙනත් විදුහලකට ඇතුළත් කරලා හොස්ටල් එකක නවත්වන්න ඕන කියලා අම්මයි අප්පච්චියි තීරණය කළා. ඒ අනුව මට හොස්ටල් එකකට යන්න වුණා. ගෙදරින්, යාළුවන්ගෙන්, ගමේ පරිසරයෙන් ඈත් වෙන්න වුණාම මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වුණා. මමත් ටික ටික වෙනස් වෙලා තමයි අද මේ ප්‍රදීප් රංගන බවට පත් වුණේ.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.