lakbima.lk

ලොතරැයි වාසනාවකින් එක රැයින් කෝටිපතියෙක් වෙන්න හීන මවන අය අනන්තවත් අප අතර ඉන්නවා. රූපවාහිනියේ ලොතරැයි අදින වෙලාවට ඒ දිහා බලාගෙන ඉන්න මේ අයගේ පපුවේ ගැස්ම කොයි තරම්ද කියලා දන්නේ ඔවුන් විතරයි. ඒ මොහොතේදී මේ නරඹන්නන්ට රූපවාහිනී තිරයේ ලොතරැයි අදින නිවේදක පිරිස පෙනෙන්නෙත් තමන්ගේ වාසනාව අරගෙන එන දේවදූතයෝ වගෙයි. එක ඉලක්කමකින් ජය අහිමිව ගියොත් ඔවුන් මේ නිවේදක නිවේදිකාවෝ දිහාත් තරහින් බලන්නේ තමන්ගේ වාසනාව අහිමි කළේ ඔවුන් කියන හැඟීමෙන්. ඒ තරමටම මේ පිරිස රූපවාහිනියෙන් ලොතරැයි දිනුම් අදින මොහොත දෙස බලා සිටිනවා. මේ නිසාම රූපවාහිනියෙන් ලොතරැයි ප්‍රතිඵල රටටම කියන නිවේදක නිවේදිකාවන්ටත් ලැබෙන්නා වූ අත්දැකීම් අති විශාලයි. වැඩිම කාලයක් රූපවාහිනියේ ලොතරැයි වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදකයකු සමග මේ විදියට කතා බහ කරන්න අපි හිතුවේ ඒ වගේ අත්දැකීම් ඔබත් සමග බෙදා හදා ගන්නයි. ඒ අනුව තමයි එම්. කණ්ඩම්බි අපත් සමග මේ විදියට එකතු වුණේ.

එම්.කණ්ඩම්බි කියන ඔබ රටම හඳුනාගත්තේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන් කරන නිවේදකයකු විදියටයි.

ඔව්. මම 1988 ඉඳන් අඛණ්ඩව එම කාර්යයේ යෙදෙනවා.

ඔබ රූපවාහිනියට ආවේ ගුවන් විදුලිය හරහා නේද?

ගුවන් විදුලිය වගේම ප්‍රසංග වේදිකාව තුළත් අත්දැකීම් රැසක් මා ලබා තිබෙනවා. ඒ ඔස්සේ තමයි රූපවාහිනියට එන්න දොර ගුළු විවර වුණේ.

නිවේදකයකු වීමේ සිහිනය කුඩා කල පටන්ම ඔබ තුළ පැවතුණාද?

නෑ. ඒක අහම්බෙන් සිදු වූ ෙදෙවෝපගත සිදුවීමක්.

ඒ කොහොමද?

අපේ පාස‍ලේ විවාද තරගයක් තිබුණා. එය විනිශ්චය කරන්න ආවේ ප්‍රේමකීර්ති ද අල්විස්. එස්.ලියනගේ සහ තිලක් ජයරත්න එදා ඒ අය මගේ දක්ෂතා දැකලා රුහුණු සේවයට ගුවන් විදුලි වැඩසටහන්වලට මාව සම්බන්ධ කරගත්තා.

ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් නිවේදනයට පිවිසුණු පසු ඔබ ලැබූ අත්දැකීම් මොන වගේද?

හා හා පුරා ඊට යොමුවීමත් විශේෂ අත්දැකීමක්. ගුවන් විදුලි නිවේදකයකු හා ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු ලෙස අත්දැකීම් රැසක් ලබලා තිබුණත් 1988 ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට එද්දී මම රූපවාහිනී කැමරාවක් දැකලාවත් තිබුණේ නැහැ. මම නිවේදකයකු ලෙස කටයුතු කළේ පූර්ණ කාලීනව  නොවෙයි. මගේ වෘත්තිය වුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක නිලධාරියකු ලෙස කටයුතු කිරීමයි. ඔය කාරණා දෙකම මත අහම්බෙන් මට මේ අවස්ථාව උදා වුණේ. ඊට කලින් එම වැඩසටහන්වලට දායක වූ ප්‍රේමකීර්ති ද අල්විස් හදිසියේම ඉන් ඉවත්වීම හින්දා. ඉන්පසු එදා මෙදා තුර ලැබූ අත්දැකීම් අති විශාලයි.

මොන වගේ අත්දැකීම්ද ඔබේ මතක ගොන්නේ තිබෙන්නේ?

(හිනැහී) සමහරු මගතොටේදී මුණගැහිලා අහනවා අපි හැමදාම ලොතරැයි ගන්නවා ඒත් ඇයි අපිට දිනුම් නැත්තේ කියලා. තමන්ට දිනුමක් ලබාගන්න උදව් ඉල්ලන අයත් ඉන්නවා. ඒ වෙලාවට මම කියනවා අපිට ඕන අංක තෝරාගන්න පුළුවන් නම් අපිත් ලොතරැයි අරගෙන දිනුම් ලබාගන්නවානේ කියලා. දිනුමක් හිමි වීම වාසනාව මත සිදුවන බව මම ඒ අයට පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දිනුම් ලැබු අයටත් ඒ මුදල නාස්ති නොකර සාර්ථකව පරිහරණය කරන හැටි මම කියලා දෙනවා.

ඔය වගේ රසික ප්‍රතිචාර අතර අමතක නොවන අවස්ථාත් ඇති?

මේ සිදුවීම කලකට පෙර සිදු වූ දෙයක්. එක පුද්ගලයෙක් තමන්ගේ බිරිඳ හා සිඟිති දියණිය සමග පිළිමතලාව අරඹේගම ඉඳලා ගමනක් යන්න ඇවිත්. ඒ සිඟිති දැරිය බස්වල යන්නම කැමැති නැහැ. ඒ දැරිය මහ හඬෙන් හඬනවලු. පස්සේ මේ පුද්ගලයා ත්‍රීවීල් එකක ගමන යන්න හිතාගෙන පිළිමතලාවෙන් බැස්සලු.  ඔය වෙලාවේ එතැන තිබුණ ලොතරැයි කවුන්ටරය ළඟට ගිහින් තියෙන්නේ ලොතරැයියක් මිලට ගන්නයි. සල්ලි ගන්න පර්ස් එක අරින විට කලින් සතියක ගත්තු ලොතරැයියක් තිබිලා එයා ඒකේ ප්‍රතිඵල බලද්දී තමයි දැනගෙන තියෙන්නේ කලින් සතියේ දිනුම් ඇදීමෙන් වාහනයක් හිමිවෙලා තියෙන්නේ තමන්ට කියලා.  බස් එකේ යන්න බෑ කියලා දරුවා අඬද්දීත් ඒ තාත්තා වාහනයක හිමිකරුවෙක්. තවත් දවසක අපූරු අත්දැකීමක් ලැබු ත්‍රි රෝද රියැදුරෙක් මට මුණ ගැහුණා. එයා එකදිගට ලොතරැයි අරගෙන කිසිම දිනුමක් නැති හින්දා ලොතරැයි ගැනීම නවත්වන්න තීරණය කරලා. දවසක් වයසක ආච්චි කෙනෙක් මෙයාගේ ත්‍රිරෝද රියේ යද්දී ලොතරැයි  කූඩුවක් ළඟ නතර කරලා ලොතරැයි තුනක් මිලට ගත්තලු. ඒක දැක්කම මෙයා හිතලා තියෙනවා අන්තිම වතාවට මමත් ලොතරැයියක් ගන්නවා කියලා. එදා එයා ගත්තු ලොතරැයියට දෙකෝටියක මුදලක් ඇදිලා.

කණ්ඩම්බිගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්?

මගේ ගම මාතර කඹුරුපිටිය. මම ගොම්බද්දව කනිටු විදුහල, කඹුරුපිටිය මධ්‍යම මහ විදුහල හා ශාන්ත තෝමස් විදුහලින් අධ්‍යාපනය ලැබුවා. දැනට මම පදිංචිය මත්තේගොඩ. මගේ බිරිඳ ප්‍රදීපා කණ්ඩම්බි, දුව උයනි ඒෂා කණ්ඩම්බි ඇය ගායිකාවක්. මේ වන විට ඇගේම ගීත කීපයක්ම ගායනා කරලා තියෙනවා. දැන් ඇය විවාහ වෙලා ඕමාන් වලයි පදිංචිය.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.