lakbima.lk

ජයන්ත රත්නායක කියන්නේ අපේ රටේ සිටින ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුතු වන ජයන්ත ගායකයෙක් විදිහට වගේම ගී තනු නිර්මාණකරුවකු විදියටත්  බොහෝ ගීත රසිකයන් වෙත තිළිණ කර තිබෙනවා. ජයන්ත මේ දිනවල තරමක් අසනීප තත්ත්වයෙනුයි පසුවන්නේ. කලාකරුවන් එක්ව ඔහු වෙනුවෙන් ප්‍රසංගයක්ද පසුගියදා (7) කොළඹ  ඩී. එස්. සේනානායක විදුහ‍ලේදී පැවැත්වූවා. එම ප්‍රසංගයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් පැවරුණේ ජයන්තගේ බාල සොහොයුරා වන ලෙලුම්ටයි. සිය සොහොයුරා ගැන වගේම ප්‍රසංගයේ සාර්ථකත්වය ගැනත් ලෙලුම්ට රිද්මට කියන්න බොහෝ දෑ තිබුණා.




 ඔබේ සොහොයුරා වෙනුවෙන් පැවැත්වූ ප්‍රසංගයේ සංවිධාන කටයුතුවල වැඩි බරක් කරට ගත්තේ ඔබයි. ප්‍රසංගයේ සාර්ථකත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම ප්‍රසංගය ගැන ජයන්ත අයියාටත් වඩා සතුටු මටයි. මොකද, බොහොම කෙටි කාලයක් තුළ අපි සංවිධානය කරපු මේ ප්‍රසංගය හිතුවාටත් වඩා සාර්ථකව පවත්වන්න අපට පුළුවන්කම ලැබුණා. එදා පැමිණ සිටි කලාකරුවන් ඇතුළු හැමදෙනාම හුඟාක් සතුටු වුණා. හැමෝම කිව්වේ ඉතාම ලස්සන ප්‍රසංගයක් එදා රසවිඳින්න ලැබුණා කියලයි.

 අයියා වෙනුවෙන් මේ විදිහේ ප්‍රසංගයක් පවත්වමු කියලා මුලින්ම යෝජනා කළේ ඔබද?

නැහැ. නිරංජලා මංජරී, ගයනාත් දසනායක හා මහේන්ද්‍ර පැස්කුවල් තමයි මේකට මුල්වුණේ. ජයන්ත අයියා වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනෑ කියන අදහස නිරංජලා ඇගේ මිතුරියක් වන තරිඳි ෆොන්සේකටත් කියලා තිබුණා. ඊට පස්සේ ඔවුන් මට කතා කරලා කිව්වා හිතවත් කලාකරුවන් පිරිසක් එක්කාසු කරගෙන ජයන්ත අයියා වෙනුවෙන් සුහද හමුවක් පවත්වන්න අදහසක් තියෙනවා කියලා. එහිදී ගීත එහෙමත් ගායනා කරලා අයියව සන්තෝෂ කිරීමයි ඔවුන්ගේ බලා‍පොරොත්තුව වුණේ. ඒ අදහස මට කීවාම මම යෝජනා කළා එහෙම නොවෙයි අපි මේක ටිකක් ලොකු ප්‍රසංගයක් විදිහට සංවිධානය කරමු කියලා.

 මේ වගේ ප්‍රසංගයක් හදිසියේ සංවිධානය කිරීම පහසු නැහැ නේද?

ඒක ඇත්ත. සති දෙකක් වගේ බොහොම කෙටි කාලයක් තමයි අපට හැමදේටම තිබුණේ. අයියයි, මමයි දෙදෙනාම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ.

ඒ නිසා අපේ පාස‍ලේ ආදිශිෂ්‍ය සංගමයට මේ ගැන දැනුම් දුන්නාම, කිසිම අපහසුවකින් තොරව අපට ප්‍රසංගය වෙනුවෙන් විදුහ‍ලේ ශාලාව ලැබුණා. ගොඩක් කලාකරුවන්ට මම ප්‍රසංගය ගැන කියලා එක කෝල් එකයි දුන්නේ. ඔවුන් ඒ ඉල්ලීමට ගරු කරලා ප්‍රසංගයට සහභාගි වුණා.

ප්‍රසංගයට සහභාගි වෙන්න බැරිවුණත් වචනයකින් හරි අපට ශක්තියක් වූ කලාකරුවන් බොහෝ පිරිසක් හිටියා. ඒ හැරුණාම විවිධ ක්ෂේත්‍රයන්වල නිරත වෙලා ඉන්නා බොහෝ දෙනෙක් අපට සහයෝගය ලබාදුන්නා. ඒ හැමෝගේම ශක්තියෙන් තමයි අපට ප්‍රසංගය මේ තරම් සාර්ථකව නිම කරන්න හැකියාව ලැබුණේ.

 බලා‍පොරොත්තු වූ තරමේ මුදලක් ප්‍රසංගයෙන් එක්රැස් වුණාද?

මුදල් එක්රැස් කිරීමටත් වඩා ජයන්ත අයියා මතෛක් කාලයක් සංගීතඥයකු විදිහට කරපු සේවය ඇගැයුමට ලක් කරලා, ඔහු වෙනුවෙන් අපි හැමෝම ඉන්නවා කියන අදහස ලබාදීම තමයි අපේ මූලිකම පරමාර්ථය වුණේ. මුලදී යෝජනාවක් ඉදිරිපත් වුණා ආරාධිතයන් වෙනුවෙන් පමණක් පවත්වන ප්‍රසංගයක් විදිහට මෙය සංවිධානය කරමු කියලා.

නමුත් එහෙම කළොත් ශාලාවෙන් බාගයක්වත් පුරවා ගන්න බැරිවෙයිදෝ කියන සැකය ඇතිවෙච්ච නිසා තමයි අපි තීරණය කළේ රුපියල් දාහක් වගේ මුදලකට සියලු ටිකට්වල මිල නියම කරලා ප්‍රසංගය පවත්වන්න. අයියා වෙනුවෙන් ශාලාව පිරෙන්නම සෙනඟ එදා ඇවිත් හිටියා.

ප්‍රසංගය සංගීතවත් කළේ මගේ සංගීත කණ්ඩායම වන අමුතු. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉතා හරවත් දෙසුමක් පැවැත්වූවා. නන්දා මාලිනී, මාලිනී ෆොන්සේකා, රෝහණ වීරසිංහ, සුනිල් පෙරේරා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් අයියා වෙනුවෙන් එදා ප්‍රසංගයට ඇවිත් හිටියා.

අපේ පරපුර, අපට පෙර පරපුර සහ අපෙන් පසු පරපුර නියෝජනය වන විදිහට ලතා වල්‍පොල, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවල්, දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, දයාන් විතාරණ, සමිතා, නෙලූ, ඉසුරු, සධානා, සුප්‍රියා, ලහිරු, සනුක ඇතුළු ගායක ගායිකාවන් තිස්දෙනෙක් කිසිම මුදලක් නොගෙන එදා ගීත ගායනා කළා. චන්දන වික්‍රමසිංහ නර්තනයෙන් ප්‍රසංගය ලස්සන කළා. ඒ වගේම චමින්ද අරෝෂ් ද මෙල්, කමේෂ් සහ සේනිය යන අයගෙනුත් ප්‍රසංගය සංවිධානය කිරීමේදී ලැබුණු සහයෝගය සිහිපත් කළ යුතුමයි.

පිළිකාව කියන නමටත් බොහෝ දෙනා බයයි. ජයන්ත කොහොමද තමන්ගේ රෝගී තත්ත්වයට මුහුණ දෙන්නේ?

අසනීප වුණා කියලා අයියා ‍පොඩ්ඩක්වත් මානසිකව වැටිලා නැහැ. ඔහු හුඟක් ශක්තිමත්. මට ලෙඩක් නැහැ කියලා තමයි ඔහු හැමතිස්සේම කියන්නේ. ඇත්තටම අයියට දැන් කිසිම ජීවිත අවදානමක් නැහැ. තමන් වටේ කොච්චර අය ඉන්නවාද, කොච්චර පිරිසක් තමන්ට ආදරය කරනවාද කියලා එදා ප්‍රසංගය දවසේ අයියා ඇස් පනාපිට දැකගත්තා. ජීවිත කාලය තුළදී තමන් කොච්චර මිනිස්සුන්ව හම්බ කරගෙන තියෙනවද කියලා අයියා තේරුම් ගන්න ඇති. ඒ නිසා තමයි අයියා ප්‍රසංගය දවසෙත් කිව්වේ මේ තරම් පිරිසක් තමන් එක්ක ඉද්දී ලෙඩවලට බයක් නැහැ කියලා.

රෝගාතුර වුණා කියලා ජයන්ත සංගීත කටයුතුවලින් ඈත්වෙලා නැහැ නේද?

කොහෙත්ම නැහැ. අදටත් අයියා වෙනදා වගේම ප්‍රසංගවලට සහභාගි වෙනවා. සුපුරුදු විදිහට අනික් සංගීත කටයුතුත් කරගෙන යනවා. ඔය අතරතුරේ සති දෙකකට වරක් දින තුනක් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ගන්නවා. ඒ දිනවලට විතරක් ඔහු වෙනුවෙන් වෙනත් කෙනෙක් යොදවනවා. අයියගේ බිරිඳගේ පවු‍ලේ අය, අපේ මියගිය ලොකු අක්කාගේ පවු‍ලේ අය, ‍පොඩි අක්කා සහ මම ඇතුළු අපි හැමෝම ඔහු එක්ක ඉන්නවා. අසනීප වෙලා කියලා අපි කවුරුවත් ඔහුව තනිකරලා නැහැ.

 තමන්ට කරදරයක් වෙච්ච වෙලාවේ තාත්තාගෙන් දුරකථන ඇමතුමක්වත් නොලැබිම ගැන නම් ජයන්තගේ හිතේ කනගාටුවක් තියෙනවා නේද?

අපි අතරේ තිබුණු තාත්තා-පුතා සම්බන්ධය මෙතනින් ඉවරයි කියලා අපට දුරකථන ඇමතුමක් දීලා කියපු කෙනාට අපිට මොනවා වුණත් ගාණක් නැතුව ඇති. හැබැයි අයියා අන්තිම මොහොත වෙනතුරුම ඔහු සමග ඉතා සමීපව සංගීත කටයුතුවලට සම්බන්ධ වුණා. සමහරවිට අයියාගේ හිතේ දුකක් ඇති අසනීප වෙච්ච වෙලාවේවත් තමන් ගැන හොයලා නොබලපු එක ගැන.

ඒ ගැන කිසිම විදිහකින් දුක්වෙන්න අවශ්‍ය නෑ කියන අවවාදය තමයි මේ සම්බන්ධයෙන් මට අයියට දෙන්න තියෙන්නේ. අපි ඔහු සමග සංගීත කටයුත්තකට සහභාගි වෙන්නේ නෑ කියලවත්, මමවත් අයියවත් කවදාවත් කියලා නැහැ. ඔහු තමයි අපි එක්ක එවැනි දේකටවත් එක්කාසු වෙන එක නවත්වා දැමුවේ.

 ජයන්ත වෙනුවෙන් ප්‍රසංගය පැවැති දිනයේ ඒ වෙලාවටම වික්ටර් රත්නායකගේ සරස ප්‍රසංගයත් කොළඹ නගරයේ පැවැත්වීම ගැන ඇතැම් අය සමාජ ජාල හරහා පවා අදහස් පළකර තිබුණා. සරස ප්‍රසංගයත් එදින පැවැත්වෙන බව දැනුවත්වද ජයන්තගේ ප්‍රසංගයට දින වෙන්කර ගත්තේ?

අපි ඒ බවක් දැනගෙන හිටියේ නැහැ. අපට ප්‍රසංගය සඳහා හෝල් එකෙන් ලැබුණු දිනය තමයි හත්වැනිදා. පසුව තමයි අපි දැනගත්තේ එදා සරස ප්‍රසංගයකුත් පැවැත්වෙන බව. නමුත් එහෙම තිබුණා කියලත් කිසි ගැටලුවක් නැහැ. මොකද, එකම දිනයේ එකම වෙලාවට ඕනෑතරම් සංගීතඥයන්ගේ ප්‍රසංග පැවැත්වෙනවානේ.

 අපේ රටේ හිටපු ප්‍රවීණ සංගීතඥයන් හුඟ දෙනෙකුගේ තුන්වැනි පරම්පරාවත් මේ වෙද්දි සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටිනවා. ජයන්ත සහ ඔබෙන් පසු ඔබේ පවු‍ලේ කවුරුවත් තවම සංගීතයට සම්බන්ධ වෙලා නැහැ නේද?

බොහෝ අය නොදැන හිටියට අපේ පවුලෙත් තුන්වැනි පරම්පරාව සංගීත ක්ෂේත්‍රයට පිවිසිලයි ඉන්නේ. මගේ ලොකු අක්කාගේ පුතා විනුජ මගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔහු වාදකයෙක් වගේම ගායකයෙක්. ‍පොඩි අක්කාගේ ‍පොඩි දුවත් සිඟින් ‍පොටේටෝස් කියන සංගීත කණ්ඩායමේ සාමාජිකාවක්. ජයන්ත අයියාගේ පුතා ඉගෙන ගන්නේ විදෙස් විශ්වවිද්‍යාලයක. ඔහුත් ගිටාර් වාදනයට දක්ෂයි. ඉතින්, ඒ අයගේ දක්ෂතාත් ඉදිරියේදී හැමෝටම දැකගන්නට ලැබේවි.

කිෂාන් කනංකෙ

ඡායාරූප - දයාන් විතාරණ , මංජුල පෙරේරා

  1. ඔයා හරිම සෙක්සි කියලා සමහර ගෑනු ළමයින්ට කමෙන්ට්ස් දමලා
  2. මේ වගේ හීන හැමෝගේම සැබෑ වෙන්නේ නෑ
  3. 2019 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙ‍ලේ යටගියාව පිළිබඳ නොදත් කතා
  4. නොකළ වරදකට අදටත් බැණුම් අහන සඳනි
  5. තෙවන වරටත් විවාහ වූ මධුමාධව අරවින්ද
  6. නදීකාට මතක නැද්ද අපේ පුංචි කා‍ලේ.. ගීතයේ අයිතිකරුවා ගැන ඔබ නොදැන සිටි කතාවක්
  7. ශෂිකා පැණි රස කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ
  8. සෝමරත්න සුනාමිය හැදූ දර්ශන තලය මංගල ඡායාරූප ශීල්පීන්ගේ පාරාදීසයක් වූ හැටි
  9. ඔස්කාර් සම්මාන 2019
  10. අහලා පුරුදු හඬක අයිතිකරුවා
  11. ෆේස් බුක් එකයි ෆෑන්පේජ් එකයි දැකලා ඒ අක්කා ලෝචනා ගෙන් ඇහුව දේ
  12. තමන්ගේ සහ පවු‍ලේ සල්ලි අසරණයින්ට දන් දෙන මුහුණු‍පොතේ පින්වතිය
  13. දුප්පත්කමේ අන්තයටම ගිලී බැටළුවන් දක්කාගෙන ගිය ඇය අද ප්‍රංශයේ උසස් අධ්‍යාපන ඇමැතිනියයි
  14. හැමෝම කර අරිද්දී අමල් පෙරේරා ගැන විශ්ව ලංකා කී කතාව
  15. නිදහස ලැබුණු දවස සහ නිදහසක් නැති වූ දවස ගැන රටේ තරු කතා කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.