lakbima.lk

දරුවාට අමාරුයි

- විශ්ව ලංකා


මම ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලෙදී ටෙලි නාට්‍ය තුනක එකවර රඟපාන්න මට ලැබුණා. දවසක් මේ ටෙලිනාට්‍ය තුනේම ෂූටිං එකම දවසේ වැටුණා. එක ටෙලි නාට්‍යයක ෂූටිං අකුරුගම්බොඩ, අනෙක් ටෙලි නාට්‍යය  බොරැලැස්ගමුවේ ෂූටිං. අනිත් එක මාලඹේ. ඔය ටෙලි නාට්‍ය තුනෙන් එක නාට්‍යයක මට රඟපාන්න තිබුණේ ප්‍රවීණ නිළියක් සමගයි. මම එක ටෙලි නාට්‍යයක ෂූටිං ඉවරවෙලා අනෙක් ටෙලි නාට්‍යයට යද්දී අර නිළියට කේන්ති ගිහින්. කොහොම හරි එදා දවස පුරා මට පුදුමාකාර විදිහට ඒ මේ අත ඇවිදිමින් වෙහෙසෙන්න සිදු වුණා. කිසිම නිදහසක් නැතුව තමයි එදා මුළු දවසම ගෙවුණේ.

මගේ පළමු දරුවා ඉපදුණේ අඩු මාසෙන්. පුතාව ජීවත් කිරීම අවදානම් කියලා වෛද්‍යවරු කිව්වා. එදා ඒ පැය කීපය තුළ මගේ හිතේ තිබුණු පීඩනය කොතරම්ද කියලා වචනයෙන් කියන්න බැහැ. මගේ හිතේ කිසිම නිදහසක් තිබුණේ නැහැ. පුතා දැන් හොඳින් ඉන්නවා කියලා අහනකන් හිතේ තිබුණු නිදහසක් නැති ගතිය මට අද වගේ මතකයි.

සුසුම්නාවට අනතුරක්

- දිනෙත් ද සිල්වා


“කන්දක් සේමා චිත්‍රපටයේ රූගත කිරීම්වලට අපි ජපානයට ගියා. ඒ හිම වැටෙන කා‍ලේ. හැමෝම කබා දාගෙන රූගත කිරීම් කරන්නේ. එක දර්ශනයක රඟපාන්න නිරාෂටයි මටයි ඉන්න වුණේ සාමාන්‍ය විදිහටයි. මම ලිනන් කලිසමකුයි කමිසයකුයි ඇඳලා, නිරෝෂා සාමාන්‍ය ගවුමක් ඇඳලා හිටියේ. ඒ දවස් අතරේ එක දවසක් තිබුණා පාන්දර 5ට ෂූටිං පටන් අරගෙන දවසම ෂූටිං තියෙන දවසක්. එදා නවාතැනින් පිටත්  වෙද්දීම දන්නවා දවස තුළ විඳවන්න වන අත්දෑකීම. ඒත් ඒ අත්දැකීමට මම අමාරුවෙන් මුහුණ දුන්නා. එදා දවසේ කිසිම  නිදහසක් හිතේ තිබුණේ නැහැ.

මට වයස 16දී රගර් ගහන්න ගිහින් සුසුම්නාව අනතුරකට ලක්වුණා. මාස ගණනක් රෝහ‍ලේ ඉන්නත් සිදුවුණා. සදාකාලික ආබාධිතයෙක් වෙන්න හෝ ජීවිතය අහිමි වන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව්වා. මාස 9ක් මම රෝහ‍ලේ හිටියා. අන්තිමට රෝගය සුවවෙලා රෝහලින් යළි ගෙදර එන්න වාසනාව ලැබුණා. එදා සිතට දැණුන නිදහස වචනයෙන් කියන්න බැහැ.

ෂූටිං සහ පාඩම්

- නයනතාරා වික්‍රමාරච්චි


මම උසස් පෙළ කරන කා‍ලේ තමයි සමනලුන්ට එන්න කියන්න කියන ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණේ. ඔය අතරේ විභාගය ළං වුණා. පාඩම් කරනවා. ක්ලාස් යනවා. ෂූටිං යනවා. ඔය අතරේ අම්මාගෙන් බැණුම් අහනවා. ඔය විදිහට කාලය ගෙවනවා. දැන් ඔන්න විභාගය පටන් ගන්න දවස ළං වුණා. ඊට කලින් දවසේ ෂූටිං. ෂූටිං ඉවරවෙන්නේ රෑ. ඒ නිසා මම දර්ශන තලයට ගියේ ‍පොතුත් අරගෙනයි. දවසම ගත කළේ පුදුමාකාර බරක් ඔළුවේ තියාගෙනයි. ෂූටිං ඉවරවෙලා ගෙදර එද්දී රෑ 12යි. පහුවදා 7.30ට විභාගයට යන්න තියෙනවා. එදා තමයි මගේ නිදහස නැතිම වෙලා ගිය දවස.

මේ දවස්වල මම මරින් ඩ්‍රයිව් කියලා චිත්‍රපටයක රඟපානවා. ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රාත්‍රී කාලය තුළ සිදුවන සිදුවීම් ඇතුළත් චිත්‍රපටයක්. චිත්‍රපටය පුරා තියෙන්නේ රාත්‍රී දර්ශන රෑ 7.00ට 8.00ට ෂූටිං පටන්ගෙන පහුවදා පාන්දර තමයි ෂූටිං ඉවරවෙන්නේ. ඒ නිසා මම දවාලට නිදි. ඒත් ඉතින් රෑ ෂූටිං කියලා දවල් වරුවට නිදාගන්න බෑනේ. තවත් කටයුතු තියෙනවානේ. ඒ හින්දා මට ලොකු වෙහෙසක් විඳින්න සිදුවෙනවා. රූගත කිරීම් අවසන් වුණාම තමයි පුදුමාකාර නිදහසක් දැනෙන්නේ.


එකම දවසේ වැඩ තුනක්

- තනූජා ජයවර්ධන


අපි මාධ්‍යයට එකතු වන්නේ ඊට ඇති ඇල්ම නිසානේ. ඒත් ඒ තුළ ගමනක් යන්න ආර්ථික පසුබිමකුත් තිබිය යුතුයි. නැතිනම් ගෙවල්වලිනුත් කියන්නේ ඕවා කරලා වැඩක් තියෙනවද කියලයි. ඔය විදිහට මම මාධ්‍යයට එකතුවෙලා එක්තරා මාධ්‍ය ආයතනයකින් සතුටුවිය හැකි වැටුපක් හා හා පුරා කියා ලැබූ දවසේ තමයි හිතට ලොකු නිදහසක් ලැබුණේ. ඒ විදිහට ලැබුණු ආර්ථික නිදහස නිසා තමයි මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න මට අවස්ථාව ලැබුණේ.

මට එක්තරා නාලිකාවක නාලිකා ප්‍රධානී තනතුර ලැබුණා. ඒ කා‍ලේ මම විභාගයකට මුහුණ දුන්නා. ඔය දවස්වල මම පිළියන්දල මගේ ගේ හදන්න පටන් ගත්ත කා‍ලේ. මේ කටයුතු තුන අතර දෝලනය වෙද්දී එක අවස්ථාවක අතිශය කාර්යබහුල දවසක් ආවා. එදා ගේ හදන තැනට ගිහින් ඒ වැඩ බලලා බාස්ලට මුදල් දෙන්නත් ඕනෑ. රැකියා ස්ථානයට යන්නත් ඕනෑ. ඒ අතරේ පාඩම් කරන්නත් තියෙනවා. මට මතකයි එදා මගේ වාහනේ නුගේගොඩ හන්දියේ නවත්තලා ටිකක් වෙලා ඉඳලා හිතට නිදහසක් අරගෙන ඊළඟට කළයුතු දේ ගැන හිතුවා. එදා ඒ තරමටම මට නිදහස නැතිවූ දවසක්.


වැඩ වැඩිවෙලා

- අනුජ් රණසිංහ


මම මුල් කා‍ලේ පරිගණක මෘදුකාංග අංශයේ කටයුතු කළේ. එතකොට මම ගොඩක් කාර්යබහුලයි. ඔය අතරේ තමයි මම නිරූපණයට යොමු වුණේ. ඊට පස්සේ රංගනයට යොමු වුණා. කාර්යබහුල රැකියාවෙන් දුරස්වෙලා කලාවට යොමු වූ අවස්ථාව තමයි මගේ හිතට ලොකුම නිදහසක් දැනුණු අවස්ථාව.

මගේ කලා කටයුතුවල වැඩ අඩුවුණාම මම මගේ ඊළඟ විභාගයට සැරසෙන කාලයක් ආවා. ඒ වෙලාවේ ගෝරි සහ ෂෙලීනා කියන චිත්‍රපට 2ක සහ  තවමත් නම තබා නැති අලුත් චිත්‍රපටයට ආරාධනා ලැබුණා.
ඒ නිසා මම ආයෙමත් කාර්යබහුල වුණා. එක දවසක් වුණේ 7.00ට ජිම් ගිහින් දවල් ක්ලාස් ගියා. හවස ඉඳන් රෑ 12.00 වෙනකල් රෑගත කිරීම් .... එදා දවස තරම් නිදහස නැතිවූ දවසක් මට තවත් නැහැ.


විවාහයට ප්‍රශ්නයක්

- බන්දුල විජේවීර


අපි එතරම් ධනවත් අය ‍නෙවෙයි. මම සංගීත ගුරුවරයෙක් විදිහට වෘත්තීයට යොමු වුණාම යම් ආර්ථික සහනයක් පවුලට ලැබුණා.ඒත් මගේ පෙම්වතියයි මමයි අහසට ‍පොළොව වගේ. ඇය දඹදෙණි ආසනයේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ දියණියක්. ඇගේ පවු‍ලේ අය අපේ විවාහයට කොහොමත් කැමැතිවුණේ නැහැ. ඒ වුණාට මගේ හිතට ලොකු  බරක් වෙලා තිබියදී ඒ පවුලෙන් අපේ විවාහයට කැමැත්ත පළ කළා. එදා තමයි මගේ හිතට ලොකු නිදහසක් දැනුණේ.

මම විවාහ වූ අලුතම දුෂ්කර සේවයට රඹෑවට මාරු කළා. මට ගෙදර දාලා යන්න වුණා. අති දුෂ්කර පරිසරයට මුහුණ දෙන්නේ කොහොමද? එහි නවාතැන් පහසුකම් කොයි වගේ වෙයිද කියන ප්‍රශ්න හිතද්දී හිතට මහ බරක් දැනුණා. ඒ නිසාම හිතට කිසිම නිදහසක් නැති වුණා.
මාව දුෂ්කර සේවයට යොමු කරපු පත්වීම් ලිපිය ලැබුණු දවස තමයි මගේ ජීවිතයේ නිදහස වැඩියෙන්ම අහිමි වූ දවස.

සටනක් වුණු නැටුම

- අනූෂා දමයන්ති


මගේ අයියාගේ විවාහ උත්සවය දවසේ මට වගකීම් ගොඩක් පැවරිලා තිබුණා. ඊට පසුදා සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ යෙදිලා තිබුණා. පුහුණුවීම් කරන්න විදියක් තිබුණේ නැහැ. මංගල උත්සවයේ වැඩ නිසා මංගල උත්සවය තුළ ඉද්දී පහුවදා තියෙන කටයුත්ත ගැන මතක් වුණාම හිතට මහා බරක් දැනුනේ. මම හිතන්නේ එදා දවස තමයි මගේ හිතට කිසිම නිදහසක් නැතිම වූ දවස.

මම ස්වර්ණවාහිනියේ ඩාන්සින් ස්ටාර් තරගයේ කිරුළ දිනා ගත්තා. නර්තන තරගයක් වුණාට එතන තිබුණේ සටනක්. තරගය අතරතුර ඒ සටනේදී අනිත් අයට උදව් උපකාර ලැබුණා. මට හිටියේ අම්මා විතරයි. හැබැයි මට එස්.එම්.එස්. කරන්න රසික පිරිස් හිටියා. ඒ අය නිසා මම දිනුවා. ඒ මහා සංග්‍රාමය ඉවර වූ පසුව පුදුම සැහැල්ලුවක් හිතට දැනුණේ. මට වැඩිම නිදහසක් දැනුණේ ඒ තරගයෙන් මම දිනුවා කියන වචන ඇසුණාට පසුවයි.

රෝහලෙන් එද්දී ප්‍රශ්න ගොඩයි

- අමිලා නදීෂානි


මට අසනීප වෙලා සැත්කමකට භාජනය වෙලා දවස් ගණනක් රෝහ‍ලේ ඉන්න සිදුවුණා. සුවවෙලා එද්දී ප්‍රශ්න ගොඩයි. ව්‍යාපාරයේ සේවක පිරිසගේ පඩි ගෙවන්න පමාවෙලා. ඒ අතර මගේ කටයුතු ගොඩක් ඇනහිටලා. අන්තිමට ඒ සියල්ල මටම කරන්න සිදුවුණා. මට හිතෙන්නේ සුවවෙලා ගෙදර ආ දාට පසු දා තමයි මට නිදහස නැතිවම ගියේ.
මගේ දුව ලැබෙන්න ඉද්දී වෛද්‍යවරු පැවැසුවා දුවට ඔක්සිජන් අඩුකමක් තියෙනවා කියලා. මම නිසි ප්‍රතිකාර ගත්තත් දරුවා ලැබෙන තුරු හිතේ ලොකු දෙගිඩියාවක් තිබුණා. දුව ලැබෙන්න ගියාමත් මට දැඩි අසීරුතාවයකට මුහුණ දෙන්න වුණා. දුව නිරෝගී දරුවෙක් විදිහට මෙලොව එළිය දැක්කම තමයි මගේ හිතට නිදහසක් ලැබුණේ.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.