lakbima.lk

ශෂිකා පැණි රස කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ

වර්තමානය වන විට රියැලිටි තරු එක රැයින් බිහිවී නිවී ගියත් ලංකාවේ ප්‍රථම වරට සංගීත තරගාවලියක් බිහිවී සංගීත ක්ෂේත්‍රය තුළ අද්විතීය ස්ථාවරත්වයක් හදා ගත් තාරකාවියක් ලෙස ශෂිකා නිසංසලා හැඳින්විය හැකියි. ඒ බව නැවත නැවතත් පසක් කරමින් පසුගියදා පැවැති  'ස්ලිම්-නීල්සන්' ජනතා සම්මාන උළෙ‍ලේදී ජනතාවගේ ගායිකාව ලෙස ඇය අඛණ්ඩව 4 වැනි වතාවටත් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඇගේ සාර්ථක දිවි ගමනේ පිටුපස සිටින සදාදරණීය සෙවණැල්ල වනුයේ ඇගේ සැමියායි. සුරංග මතඟවීර නම් ඔහු ශෂිකා ගැන කියන්නේ මේ වගේ කතාවක්.

 මම

මම පාසල් ගියේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයටයි. මගේ පවු‍ලේ අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ. උසස් පෙළ ඉවර කරලා 2000 අවුරුද්දේදී මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා විද්‍යා උපාධිය ලබාගන්න. ඒ කාල වකවානුවේ තමයි මට ශෂිකාව හමු වුණේ.

 හමුවුණු හැටි

2001 අවුරුද්දේදී වගේ තමයි මම ශෂිකාව විශ්වවිද්‍යාලයේදී මුලින්ම දකින්නේ. එතකොට ඇය මට වඩා අවුරුද්දක් පහළ බැච් එකේ හිටියේ. ඇය සංගීත උපාධිය හදාරමින් හිටියේ ඒ දවස්වල. ඒත් එක්කම 'තුරුණු ශක්ති' තරගාවලියේ ජයග්‍රාහිකාව විදිහටත් ශෂිකාව ගොඩාක් දෙනෙක් දැන හඳුනාගෙන හිටියා. ඒ කා‍ලේ ඇත්තටම මම ඇය ගැන ගොඩාක් දේවල් දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි ඇගේ හැකියාවන් ගැන වුණත් දැනගත්තේ. කොහොම හරි විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරන්න ආසන්න කාලයේ තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ. එතකල්ම අධ්‍යාපන වැඩකටයුතු නිසා මිත්‍රත්වයෙන් විතරයි ආශ්‍රය කළේ.

 විවාහය

2008 අවුරුද්දේ ජනවාරි මාසයේදී තමයි අපි විවාහ වුණේ. ඊට පස්සේ අපි දෙන්නා ගෙවපු තනිකඩ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විවාහ ජීවිතය ඇත්තටම වෙනස්ම අත්දැකීම් ගොන්නක් බවට පත්වුණා. තනි තනි වශයෙන් හිතන එක නවත්තලා දෙන්නම සාමූහිකව ඉලක්කවලට යන්න පුරුදු වුණා. ඒ නිසා අද අපි සතුටින් ජීවත් වෙනවා.

 ගෙදර වැඩවලට තියෙන සහයෝගය

මමයි, ශෂිකායි විවාහ වෙලා මුල් කා‍ලේ නම් ජීවත් වුණේ වෙනම ගෙදරක. දරුවන් හම්බ වුණාට පස්සේ ශෂිකටයි, මටයි තනියම වැඩ කරගන්න අමාරු නිසා දැන් ඇගේ මව්පියන්ගේ ගෙදර තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්තටම අපි දෙන්නම දවසේ වැඩි හරියක් කාර්යබහුලයි. ඒ නිසා ගෙවල්වල වැඩ නම් කෙරෙන්නේ ශෂිකාගේ අම්මාගේ, තාත්තාගේ අතින් තමයි. අපි දෙන්නම ගෙදර ඉන්න දවසට නම් එකිනෙකාට අවශ්‍ය උදව් උපකාර කරගන්නවා.

 එයා ගැන මම විතරක් දන්නා රහස

මම දකින විදිහට ශෂිකා ඉතාම සංවේදී චරිතයක්. ඒ වගේම ශෂිකා පැණි රස කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. වැඩියෙන්ම කන්නේ චොකලට්. එයා විදේශ සංචාරයක් ගියත් වැඩියෙන්ම බෑග් පුරවා ගන්නේ චොකලට්වලින්. සමහර වෙලාවට පුතාලා දෙන්නටත් වඩා වැඩියෙන් චොකලට් කන්නේ එයා.

 හෙට දවස

අපි දෙන්නාගේම එකම බලා‍පොරොත්තුව පුතාලා දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා යහපත් පුරවැසියන් කරන එක තමයි. අපේ ලොකු පුතා මිහින්ට දැන් වයස 12 යි. ‍පොඩි පුතා හිරුන්ට වයස 6 යි. දෙන්නම යොෂිඩා පාස‍ලේ ඉගෙන ගන්නේ.

තිනෙති නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.