lakbima.lk

තමන්ගේ සහ පවු‍ලේ සල්ලි අසරණයින්ට දන් දෙන මුහුණු‍පොතේ පින්වතිය

 

සමාජ ජාල මාධ්‍ය හොඳට වගේම නරකටත් යොදාගන්න පුළුවන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැමුන් විවිධාකාර වූ වංචනික කටයුතු සඳහාද සමාජ ජාල මාධ්‍ය භාවිත කරන බවට තොරතුරු අද වනවිට නිතර අසන්නට ලැබෙනවා. මේ අතර, ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු හරහා අසරණ පවුල් රැසකට පිළිසරණක් වූ කාන්තාවක පිළිබඳ අපට දැනගන්නට ලැබුණා. ඇගේ නම ලක්මිණි පෙරේරා. අනුන්ගේ යහපත උදෙසා සිය කලය, ශ්‍රමය සහ මුදල් කැප කරන චරිතයක් ලෙස සමාජ ජාල මාධ්‍ය හරහා නමක් දිනා සිටින ලක්මිණිව “රිද්ම” අපි මෙලෙස සංවාදයකට එක්කාසු කරගත්තේ මෙම ලිපියෙන් වුවද තවත් බොහෝ පිරිසකගේ ජීවිතවලට සෙත සැලසෙන්නට ඉඩ තිබෙන නිසයි.

ජීවිතයේ යම් කාලයකදී දුක් විඳපු සමහරු තමන්ට යහමින් මුදල් ලැබෙන විට අසරණ අයට උදව් උපකාර කරනවා. ඒ ඔවුන් තමන්ගේ අත්දැකීම් මෙන්ම දුක හඳුනන නිසයි. ඔබටත් එවැනි අත්දැකීම් තිබෙන නිසාද අන්‍යයන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබාදෙන්න ඕනෑ කියලා ඔබට හිතුණේ?

නැහැ. ඇත්තම කීවොත් මම නම් දුක් විඳපු කෙනෙක් ‍නෙවෙයි. මම හොඳට සැප විඳපු කෙනෙක්. හැබැයි කවුරු හරි දුක් විඳිනවා කියලා දැනගත්තොත් මට ඒ කෙනා ගැන හරියට අනුකම්පා හිතෙනවා. ඒ වගේ අවස්ථාවලදී මට හිතෙනවා ඔහු හෝ ඇය වෙනුවෙන් මම යමක් කළ යුතුමයි කියලා. එහෙම හිතලා තමයි මම මේ වගේ සත්කාරයක් කරන්න පටන් ගත්තේ.

එහෙම ආරම්භ කරපු සමාජ සේවාවන් මේ වෙද්දී කොයිතරම් දුරකට ගිහින්ද කියලා කෙටියෙන් පැහැදිලි කළොත්?

මම දැන් කාලයක ඉඳන් ආබාධිත අයට රෝද පුටු පරිත්‍යාග කරනවා. දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදෙනවා. අසරණ වෙච්ච අයට මුදලින් උපකාර කරනවා. මම කරන එවැනි විවිධාකාර වූ සත්කාරයන් ගැන දැනගෙන මේ වෙද්දී හුඟක් අය උදව් උපකාර ඉල්ලලා තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් එවැනි උපකාර අවශ්‍ය අයව මට හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මම මට ලැබෙන තොරතුරුවල ඇත්ත නැත්ත හොඳට හොයා බලලා තමයි හැම වෙලාවේම යම් උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ විදියට ලැබුණු තොරතුරුවලට අනුව මම මේ වෙද්දී දිළිඳු පවුල් හතරකට කුරුණෑගල, අනුරාධපුර, ග‍ලේවෙල සහ කළුතර ප්‍රදේශවල අලුතෙන් ගෙවල් හදලා දීලා තියෙනවා.

කොහොමද ඔබට මේ දේවල් කරන්න මුදල් ලැබෙන්නේ? මේ විදිහට අනුන් වෙනුවෙන් මුදල් වියදම් කරනවාට පවු‍ලේ අය අකමැති නැද්ද?

මම විවාහකයි. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ සැමියා ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සමූහයක අධ්‍යක්ෂවරයකු විදිහටයි සේවය කරන්නේ. මගේ සමාජ සත්කාරක කටයුතු සඳහා ඔහු මට මුදල් ලබාදෙනවා. ඔහු කවදාවත් කියන්නේ නැහැ මේ දේවල් කරන්න එපා කියලා. ඔහු තමයි මගේ ලොකුම ශක්තිය. ඊට අමතරව මම ඉතිරි කරගෙන තියෙන මුදලුත් මම මේ වැඩවලට යොදවනවා. මගේ ගෙවල් දෙකක් කුලියට දිලයි තියෙන්නේ. එයිනුත් මට මේ සඳහා මුදල් ලැබෙනවා. විදෙස් විශ්වවිද්‍යාලයක සේවය කරන මගේ පුතාගෙනුත්, සහෝදර සහෝදරියගෙනුත් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

ඔබ කරන සමාජ සත්කාරක කටයුතු ගැන තොරතුරු ඔබ සමාජ ජාල වබේ අඩවිවල පළකරන්නේ එයින් යම් ජනප්‍රියත්වයක් ලබාගන්නද?

කොහෙත්ම නැහැ. මම කරන සමාජ සත්කාරක කටයුතු ඇගයුමට ලක්කරලා අස්ගිරි මහා විහාරයෙන්ද ඇතුළුව මේ වෙද්දී මට ගෞරව සම්මාන කිහිපයක්ම ලැබිලත් තියෙනවා. හැබැයි සම්මාන බලාගෙනවත්, දේශපාලනයට එන්න හිතාගෙනවත්, වෙනයම් යටි අරමුණකින්වත් ‍නෙවෙයි මම මේ දේවල් කරන්නේ. හුඟක් වෙලාවට මම උදව් උපකාර අවශ්‍ය අය ගැන දැනගන්නේ ෆේස්බුක් හරහා. මම කරන දේවල් දැකලා තව එක් පුද්ගලයෙක් හෝ අසරණ වෙච්ච කෙනෙකුට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒක මට විශාල සතුටක්.

අසරණ වූ කෙනෙකුගේ දුක නිවන්නට ඉදිරිපත් වූ අවස්ථාවක ඔබව වඩාත් සංවේදී කළ සිදුවීම් එහෙමත් තියෙනවාද?

ඔව්. මෑතකදී මම ආබාධිත දරුවකුට විශේෂ රෝද පුටුවක් ලබාදුන්නා. ඒ දරුවට ඇවිදින්න විතරක් ‍නෙවෙයි කතාබහ කරන්නවත් බැහැ. මම ඒ දරුවාව උකුල උඩින් තියාගෙන ඉන්න කොට එයා හුඟාක් සතුටින් හිනාවෙමින් හිටියා. එයා කවදාවත් ඒ වගේ සතුටින් ඉඳලා නැහැ කියලයි දරුවාගේ දෙමාපියන් ඒ වෙලාවේ මට කිව්වේ. මට ඒ දරුවා ගැන විශාල දුකක් දැනුණා. දැන් දරුවා මම දීපු රෝද පුටුවෙන් බහින්නවත් කැමැති නැතිලු.

කිෂාන් කනංකෙ

ඡායාරූපය - මලිත් ගමගේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.