lakbima.lk

කාලෙකට පස්සේ ප්‍රීතිරාජගෙන් දේශපාලන කොමිඩියක්

බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත්‍රපට හදපු ඔබට කාලයක් සිනමාවෙන් ඈත්වෙලා ඉන්න සිදුවුණේ ඇයි?

මම “පුදුමයි ඒත් ඇත්තයි“ චිත්‍රපටය හැදුවේ 1995 අවුරුද්දේ. ඊට පස්සේ මූල්‍ය පරිපාලන උපදේශකවරයෙක් විදිහට මම මගේ වෘත්තීය කටයුතුවලට මුල් තැන දුන්නා. එහෙම කාලයක් නිහඬව ඉඳලා 2013 වසරේදී තමයි මම ආයෙමත් සිනමා නිර්මාණයකට අත ගැහුවේ. එය “රශ්මි” කියලා ටෙලි නාට්‍යයක්. හැබැයි තවමත් ඒක තිරගත වුණේ නැහැ. මෙහෙම ඉන්න කොට මට හිතුණා දැන් තවත් අලුත් චිත්‍රපටයක් හදන්න කාලය හරි කියලා. එහෙම හිතලා නිර්මාණය කරපු චිත්‍රපටය තමයි “තිත්ත ඇත්ත” නමින් ලබන ජනවාරි මාසේ අගහරියේ විතර ප්‍රදර්ශනය කරන්න සූදානමින් ඉන්නේ.

කාලෙකට පස්සේ තිරයට ගේන්න හදන්නේ මොන විදිහේ චිත්‍රපටයක්ද?

“තිත්ත ඇත්ත” කියන්නේ ‍පොලිටිකල් කොමඩි එකක්. මේක දේශපාලනඥයන් කරන වැරදි වැඩ හාස්‍යයට ලක්කරන චිත්‍රපටයක්. ටෙනිසන් කුරේ තමයි ඇමැති ‍ලේකම් කෙනෙක් විදිහට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. එහි කතාව, දෙබස්, තිරපිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය මගෙයි.

ඔබේ පුතා ඉරාජ් වීරරත්න අද රටේ ජනප්‍රිය සංගීතඥයෙක්. චිත්‍රපටයට ඔහුගේ දායකත්වය ලබාගන්න ඔබ හිතුවේ නැද්ද?

මොකද නැත්තේ? ඉරාජ් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධක්ෂවරයා. ඉරාජ් කලකට පෙර හදපු ගීත තුනක් “තිත්ත ඇත්ත” චිත්‍රපටයට ඇතුළත් කළා. ඒ ගීත තුනම යූ ටියුබ් හරහා මිලියන 3 කට වැඩි පිරිසක් දැනටමත් නරඹලා තියෙන්නේ.

අලුත්ම ගීත නැතුව දැනටමත් ජනප්‍රිය ගීත යොදා ගැනීමෙන් චිත්‍රපටයට වැඩි ආලෝකයක් ලබාගන්නද ඔබ උත්සාහ කරන්නේ?

එහෙම හිතලාම ‍නෙවෙයි ඒ ගීත තෝරා ගත්තේ. ඒ තෝරා ගැනීමට ප්‍රධානම හේතුව තමයි, ගීත තුනම චිත්‍රපටයේ තේමාවට හරියටම ගැළපෙන එක. ඉරාජ් ඔය සින්දු නිර්මාණය කරන කාලෙත් මම ඔහුට කිව්වා ආයෙමත් චිත්‍රපටයක් හදද්දී මම ඒ ගීත ඒකට ගන්නවා කියලා. ගීත තුන තමයි “කාඩරජා”, “විසේකුරුට්ටා” සහ “හිතුවක්කාරී”.

ඇයි මේ චිත්‍රපටයේ දේශපාලකයන්ව හාස්‍යයට ලක් කරන්න හිතුවේ? කලාකරුවෙක් විදිහට ඔබට දේශපාලකයන් එක්ක මොන විදිහේ ගනුදෙනුවක්ද තියෙන්නේ?

ඉස්සර වුණත් මගේ අතින් වැඩිපුරම තිර පිටපත් ලියැවුණේ ඇක්ෂන් කොමඩි චිත්‍රපටවලට. “තිත්ත ඇත්ත” කියන්නෙත් එවැනි චිත්‍රපටයක්ම තමයි. දැන් කා‍ලේ බැලුවොත් බන්දුලා, ටෙනිලාටවත් අපේ දේශපාලකයන්ට තරම් දක්ෂ විදිහට ඇක්ෂන් කොමඩි රඟපාන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි මම නම් කවදාවත් දේශපාලන වේදිකාවලට නැගපු හෝ දේශපාලකයන් එක්ක සබඳතා පවත්වා ගත් සිනමාකරුවෙක් ‍නෙවෙයි.

හැබැයි ඔබේ පුතා ඉරාජ්ට නම් දේශපාලන සබඳතා තිබෙන බව පේනවා?

ඒක ඉරාජ්ගේ ස්වාධීන මතය. මම ඊට බලපෑම් කරන්න යන්නේ නැහැ.

මේ චිත්‍රපටයෙන් පස්සේ ආයෙමත් ඔබ සිනමා ක්ෂේත්‍රයෙන් අතුරුදන් වේවිද දන්නේ නැහැ නේද?

එහෙම වෙන්නේ නෑ. කාලෙකට පස්සේ මම ආයෙමත් සිනමාවට පය තැබුවේ නැවත නිහඬ වෙන්න හිතාගෙන නම් ‍නෙවෙයි. “එදත් දිනුම් අදත් දිනුම්” කියන මගේ අලුත් චිත්‍රපටයේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. ලබන පෙබරවාරි මාසේ මම අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. සිනමාව ගොඩගන්න ඉදිරි කාලයේදී මගේ උපරිම දායකත්වය ලබාදෙන්නයි මම දැන් හිතාගෙන ඉන්නේ.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.