lakbima.lk

සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී යුගදිවියට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සරෝජා සහ පුංචි සුරංගනාවි යන චිත්‍රපටවල ළමා නිළියක ලෙස රඟපාමින් ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ නිත්‍යාවානි කන්දසාමි පසුගියදා යුග දිවියට ඇතුළත් වුණා. ඇය ඒ සතුට 'රිද්ම' සමග බෙදා හදා ගත්තේ මේ විදිහටයි.

එදා සරෝජා චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයෝ මුලින්ම දැකපු පුංචි කෙල්ල පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ සුන්දර මොහොත ගැන ටිකක් සිහිපත් කරමුනේද?

පසුගිය 04 වැනිදා බම්බලපිටියේදී තමයි මගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුණේ. මගේ නෑදෑයෝ යාළුවෝ හුඟ දෙනෙක් එදා ඇවිත් හිටියා. ඉතින් හරිම සතුටුයි ඒ ගැන.

කාලයක් තිස්සේ දැන හඳුනාගෙන හිටපු කෙනෙක්ම නේද ඔබේ සැමියා බවට පත් වුණේ?

ඔව්. එයාගේ නම ප්‍රියදර්ශන්. පෞද්ගලික බැංකුවකයි ඔහු සේවය කරන්නේ. මම දෙවැනි වතාවේ උසස් පෙළ විභාගයට ලියන කා‍ලේ තමයි එයාව මුලින්ම මුණගැහුණේ. එයා මගේ යාළුවකුගේ යාළුවෙක්. මුලින් අපි යාළුවෝ විදිහටයි ඇසුරු කළේ.

ඒ යාළුකම පෙම් සබඳතාවකට පෙරළුණේ කොහොමද?

එයා තමයි ඒ ගැන මුලින්ම මගෙන් ඇහුවේ. හැබැයි මම එක පාරටම කැමැත්ත දුන්නේ නැහැ. අවුරුදු දෙකක් විතර යාළුවෝ විදිහට තමයි අපි හිටියේ.

සරෝජා චිත්‍රපටයේ ඔබත් එක්ක රඟපාපු ප්‍රමුදි කරුණාරත්නත් කාලෙකට පස්සේ ඔබේ විවාහ මංගලෝත්සවයේදී දැකගන්නට ලැබුණා?

ඔව්. ප්‍රමුදි අක්කව නිතරම මුණ ගැහෙන්නේ නැති වුණත්  අපි දෙන්නා නිතරම වගේ වට්ස් ඇප්වලින් එහෙම මැසේජ් කර ගන්නවා. කාලෙකට පස්සේ තමයි එදා මට ප්‍රමුදි අක්කව මුණගැහුණේ. සෝමේ අන්කලුත් තමයි (සෝමරත්න දිසානායක) රේණුකා ආන්ටිත් (රේණුකා බාලසූරිය) මගේ විවාහයට ආවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ හුඟ දෙනෙක් එදා ඇවිල්ලා හිටියා.

සරෝජා චිත්‍රපටයේ රඟපාන කා‍ලේ ලැබුණු විදිහේ ප්‍රතිචාර නිත්‍යවානිට තවමත් ලැබෙනවාලු නේද?

අනේ ඔව්. මගතොටේදී දකින අය කියනව මට තවමත් ඒ මුහුණු වරම තමයි තියෙන්නේ කියලා.

ඇයි ඔබ දැන් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ?

කලාවෙන් ඈත් වෙලා නෑ. මම දැන් කොතලාවල යුනිවර්සිටි එකේ වෛද්‍ය විද්‍යාව හදාරනවා. අධ්‍යාපන කටයුතු නිසා දීර්ඝ කාලීනව රූගත කිරීම් වලට දායක වෙන්න අමාරු නිසයි මම දැන්  වැඩිය රඟපාන්නේ නැත්තේ. හැබැයි  මම තවමත් නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.

ඉදිරි කාලයේදී සැමියාගෙන් රඟපෑමට තහංචි වැටුණොත්?

එහෙම වෙන්නේ නැහැ. එයා තමයි මට රඟපාන්න කියලා උනන්දු කරන්නේ. මගේ අධ්‍යාපන කටයුතු නිසයි දැන් රඟපෑම ටිකක් මගහැරිලා තියෙන්නේ.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.