lakbima.lk

කවදා හරි ලංකාවේ හොඳම නිළිය වෙන එක තමයි මගේ හීනය

සතියේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘සකූගේ කතාව‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන පුංචි නිළිය දෙසට මේ දවස්වල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ වයසින් කුඩා වුවත්, කිසිදු ආධුනික බවකින් තොරව සිය රංගන හැකියාව පෙන්නුම් කරන නිසයි. ඇය මීට පෙරත් සිනමා සහ ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් හමුවට ආවා. සකූගේ කතාව නිසා සහේලි මොනතරම් ජනප්‍රියද කියනවා නම් මේ දිනවල යන යන තැන හැමෝම වගේ තමන්ට කතා කරන්නේ ‘සකුනි’ කියන නමින් කියලයි සහේලි කියන්නේ.

සහේලි මේ දවස්වල ගායන තරුවක් වෙන්නත් මහන්සි වෙනවලු නේද?

මම මියුසික්වලට ගොඩක් ආසයිි. හැබැයි මේ දවස්වල නම් මම මියුසික් ඉගෙන ගන්න මහන්සි වෙන්නේ ‘සකූගේ කතාව‘ ටෙලි නාට්‍යයේ මම රඟපාන සකූනි කියන චරිතය වෙනුවෙන්.

සකූගේ කතාවේ සකුනිගේ චරිතය සහේලිට දැනෙන්නේ මොන විදිහටද?

සකුනි කියන්නේ ගොඩක් අහිංසක, හොඳට ඉගෙනගන්න පුළුවන්, සංගීතයට ආදරේ කරන පුංචි ළමයෙක්. එයාගේ අම්මා වාසනා මානසික රෝගයකින් පෙළෙනවා. සකුනිගේ තාත්තා කවුද කියලාවත් එයා දන්නේ නැහැ. පස්සේ සකුනි එයාගේ තාත්තව හොයාගෙන යනවා. සකුනිගේ චරිතය රඟපානකොට මට ඇත්තටම ඇඬෙනවා. ‘අනේ සකුනි පව් නේද” කියලා හිතෙනවා. සකූගේ කතාවේ මගේ අම්මා විදිහට රඟපාන්නේ පබෝධා සංදීපනී නැන්දා. පබෝධා නැන්දා මානසික රෝගියෙක් විදිහට රඟපාන හැටි දකින කොටත් මගේ ඇස්වලට කඳුළු එනවා.

‘සකූගේ කතාව“ පටන්ගත්දා ඉඳලා සහේලිට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැතිලු නේද?

අනේ ඔව්. දැන් හුඟක් අය සකූගේ කතාව බලනවනේ. ඒ අතරින් බොහෝ දෙනා මට කතා කරලා සුබ පතනවා. “දුව හොඳට රඟපානවා. ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා” කියලා. මගේ අම්මටයි තාත්තටයි නම් සමහර වෙලාවට ඇත්තටම ඇඬෙනවලු මම රඟපාන විදිහට. මගේ පාස‍ලේ යාළුවොත් ‘සහේලි ඔයා හොඳට රඟපානවා” කියලා මට සුබ පතනවා. ඒ වගේම එයාලටත් සකූගේ කතාවේ මම රඟපාන හැටි දකිද්දී ඇඬෙනවලු. ඒ විතරක් ‍නෙවෙයි ගෙදරදී පාස‍ලේදී වගේම මම කොහේ ගියත් මේ දවස්වල හැමෝම මට කතාකරන්නේ සකුනි කියලයි.

සහේලි දිගටම රඟපාලා ලොකු වුණාම දක්ෂ නිළියක් වෙන්නද හිතාගෙන ඉන්නේ?

මම නර්තනයටත් හුඟක් කැමතියි. ඒ වගේම රඟපාන්නත් ගොඩක් ආසයි. මට රංගනය ගැන තවත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ලොකු වුණාම කවදාහරි අපේ රටේ හොඳම නිළිය වෙන්නත් මගේ හිතේ ලොකු හීනයක් තිබෙනවා. 

ධනංජි තාරුකා කියන ජනප්‍රිය නිළිය සහේලිගේ ළඟම ඥාතියෙක්. රංගන කටයුතුවලදී ධනංජිගෙන් සහේලිට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

ධනංජි තාරුකා කියන්නේ මගේ පුංචි. “මෙහෙම රඟපාන්න බබා, අතනදී මූණ ටිකක් මේ වගේ වෙනස් කරන්න, මෙතන හරි නැහැ. එතනදී මේ විදිහට හිනා වෙන්න” කියලා ධනංජි පුංචි මට රඟපෑම ගැන ගොඩාක් දේවල් කියලා දෙනවා.

සහේලිගේ පවු‍ලේ තව කවුද ඉන්නේ ?

මගේ අම්මා ඉමාන් කළුආරච්චි, තාත්තා වසන්ත සතරසිංහ, මගේ චූටි නංගි සිතුලි සතරසිංහ ඇතුළුව මාත් එක්ක හතර දෙනෙක් මගේ පවු‍ලේ ඉන්නවා. මම තමයි ලොක්කී. (හිනැහේ)

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.