lakbima.lk

Facebook සටහනක් හින්දා තව ‍පොඩ්ඩෙන් මම මැර ප්‍රහාරයකට ලක් වෙනවා

facebook කියන්නේ අද වෙද්දී ප්‍රබලතම මාධ්‍යයක්. ඒත් අපේ රටේ ඉන්න සමහරුන්ට නම් facebook කියන්නේ දැලි පිහියක්. ඒ විදියේ වඳුරෝ හින්දා තමයි facebook නිසා බොහෝ අයට ගැටලුවලට පවා මුහුණ දෙන්න සිදුවෙන්නේ. මටත් ඒ වගේ අය හින්දා විවිධාකාර අකරතැබ්බවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.

මම කවදාවත් මගේ දේශපාලන මත වපුරන්න facebook භාවිතා කරලා නැහැ. ඒ වගේම ජාතිවාදය වපුරන්නත් facebook යොදාගෙනත් නැහැ. ඒත් මම මගේ නිදහස් අදහස් මගේ facebook පිටුවේ දානවා. ඒවා දිහා බලන අය ඒවාට විවිධ අදහස් පළ කරනවා. ඔය අතරේ හැමදේම දිහා තමන්ගේ දෘෂ්ටියෙන් බලන පිරිස මගේ ප්‍රකාශ වලට දේශපාලන මුහුණුවරක් දීලා ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ දේවල් හින්දා නාඳුනන හතුරෝ ඇති කරගන්නත්, නොයෙක් විදියේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නත් මට සිදුවුණා.

ඔය විදියට මගේ ප්‍රකාශ හින්දා මං ගැන වැරදි මතයක් ගොඩනගාගත්තු අය තමයි පහුගිය කා‍ලේ මම හමුදාවට සම්බන්ධ වෙලා වැටුප් ගත්තු බවට facebook හරහා බොරු ප්‍රචාර අරගෙන ගියේ. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මම සහභාගි වූ ප්‍රසංගවලදී ඔවුන් සමග මම ගත්තු ඡායාරූප යොදාගෙනයි මේ අය මේ කටයුත්ත කළේ. ඒවාට ලැබුණු ප්‍රතිචාර ගොඩාක් දුර ගියා. ඒ හින්දම මටත් විශාල අපහසුතාවකට මුහුණදෙන්න සිදුවුණා. ඔය විදියේ අදහස් ප්‍රචලිත වුණාම මම කරන කියන හැමදේටම දේශපාලනය ඈඳලා විවිධාකාර අදහස් facebook හරහා පළ කරපු අය හිටියා. මගේ ඡායාරූපයක් හෝ video එකක් දැම්මොත් ඒවාට ඒ අය අදහස් පළ කරන්නේ බැණලා. මේ වගේ අය හින්දා මට තවත් භයානක අත්දැකීමකට මුහුණදෙන්න සිදු වුණා.

එක්තරා අවස්ථාවක දුටුගැමුණු රජුට අපහාසයක් සිදු වූ විට මම ඒක වැරදියි කියලා මම video එකක් දැම්මා. ඒ වගේම තමයි ජාතික ගීතය දෙමළ බසට පරිවර්තනය කරන්න හදද්දී එක රටට, එක ජාතික ගීතයක් ඇති කියලා මම ඒ ගැන අදහස් පළ කළා. facebook හරහා මම මේ වගේ අදහස් පළ කළේ දේශපාලන හා ජාතිවාදී හැඟීම් මත ඉඳලා ‍නෙවෙයි. මගේ බිරිඳත් ඉන්දියානු ජාතික කාන්තාවක්. ඒත් ඔය අදහස් හින්දා මට නාඳුනන සතුරන් පිරිසක් ඇති වුණා.

එක දවසක් මම දුර පළාතක සංගීත සංදර්ශනයකට ගියා. ප්‍රසංගය ඉවර වෙලා වේදිකාවෙන් බහිද්දී රසික පිරිස මාව වටකරගත්තා. ඒ වෙලාවේ එතැන හිටපු දෙදෙනෙක් අනිත් අයගෙන් මිදිලා තනියම මට කතා කරන්න උත්සාහ කළා. මම ඒ අයට කතා කරලා ඇයි කියලා ඇහුවා.

අපි ඔයාගේ රසිකයෝ... අපි සෙට්වෙමු....

එහෙම කියලා ඒ අය මාව බලෙන් වාහනේක දාගන්න හැදුවා. නමුත් මට මේ ආරාධනාව ගැන සැක හිතුණා.

සෙට්වෙන්න අරක්කු බෝතලයක් ඕන නෑනේ... අපි සිගරට් එකක් බොමු.....

මම ඒ විදියට උත්තර දීලා ළඟ තිබුණ කඩේට යන්න හැදුවා. නමුත් ඒ වෙලාවේ මේ දෙන්නා බලෙන්ම මාව වාහනේට දාගන්න උත්සාහ කළා. මම ඔවුන් තල්ලු කරලා පැත්තකට වෙද්දී වටාපිටාවේ හිටපු මගේ රසික පිරිස එතැනට ළං වුණා. ඒ වෙලාවේ අර දෙන්නා කඩිමුඩියේ වාහනේට නැගලා පැනලා ගියා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.