lakbima.lk

මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් ඔබ හමුවට එන නළු තාත්තයි නළු පුතයි

මේ දිනවල රාත්‍රී 8.00ට ස්වර්ණවාහිනියෙන් විකාශය වන වෙස් ටෙලි නාට්‍යයේ ඩයස්, එහෙමත් නැත්නම් සාරංග දිසාසේකරගේ බොඩිගාඩ් කියන්නේ මේ වෙද්දී අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. වෙස් ටෙලි නාට්‍යයෙන් ඩයස් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආවත්, සැබෑ ජීවිතයේදී ඔහුගේ නම ශිවන්ත නීල්.

නීල් කොහොමද සාරංගගේ බොඩි ගාඩ් වුණේ ?

හිරු ටී.වී. නාලිකාවෙන් විකාශය වූ හඳයා ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා තමයි ධනුෂ්ක පෙරේරා. මගේ පුතාත් හඳයා ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒ දැනහැඳුනුම්කම් මත ධනුෂ්ක මට දවසක් කිව්වා නීල් අයියේ ඔයාගේ ෆේස් කට් එකට ගැළපෙන මරු චරිතයක් තියෙනවා කියලා. පස්සේ ඔහුගේ මාර්ගයෙන් මට වෙස් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකවත් මුණ ගැහුණා. ධනුෂ්ක රත්නායක තමයි සාරංගගේ බොඩිගාඩ් කියන ජොබ් එකට මාව තෝරා ගත්තේ.

ඩයස් කියන බොඩිගාඩ්ව නීල්ට දැනෙන්නේ කොහොමද?

ඩයස් කියන්නේ ගුප්ත චරිතයක්. හුඟක් වේලාවට ඩයස් ගොඩක් දේවල් එළියට පෙන්නුම් කරන්නේ නැහැ. ඩයස් හැම වේලාවේම රයන්ව (සාරංග දිසාසේකර) හැම දේකින්ම ආරක්ෂා කරනවා. ඒ විදිහට බලද්දී ඩයස් කියන්නේ සුදු සහ කළු චරිත අතරින් ගොඩ නැඟුණු අතරමැදි චරිතයක්.

මේ විදිහේ චරිතයක් රඟපාන එක පහසුද?

අ‍පෝ නැහැ. ඒ චරිතය මට අභියෝගයක් වුණා. මට දෙබස් කියන කොට ‍පොඩ්ඩක් ගොත ගැහෙන නිසා දෙබස් කියන එකත් මට අභියෝගයක් වුණා. නමුත් වෙස් අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකත් ඇතුළු අපේ කණ්ඩායම නීල් අයියේ ඔයා බය වෙන්න එපා. ඔයාට පුළුවන් කියලා හැම වෙලාවේම මාව දිරිමත් කළා.

ඔබේ රංගන ජීවිතයේ ආරම්භය කොතැනද?

ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. මම වෘත්තියෙන් සංගීතඥයෙක්. මටම කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකේ නම ස්පැරෝස්. ඉතිං මගේ සංගීත කණ්ඩායම එක්ක රැඳෙන හැම අවස්ථාවේම මට කලාකරුවෝ මුණගැහෙනවා. ගොඩක් කලාකරුවෝ කැමැතියි සින්දු කියන්න. ඒ විදිහට මාත් එක්ක බොහෝ කලාකරුවෝ මිත්‍රශීලී වෙනවා හරි ඉක්මනට. ඒ විදිහට මුණගැහෙන බොහෝ නළු නිළියෝ මට කියපු දෙයක් තමයි නීල් ඔයාගේ පෙනුම හරියන්නේ නම් නළුවෙක්ට කියලා. ඒ විදිහට මට රංගනයට බොහෝ අවස්ථා ලැබුණා. මුතුකුඩ, මොණරවිල, චක්‍රායුධ, වස්සානයට හිරු ඇවිදින් කියන ටෙලි නාට්‍ය ඒ වගේම කල්පාන්තයේ සිහිනයක්, අයිස්ක්‍රීම් කියන චිත්‍රපටවලටත් මාව නළුවෙක් විදිහට තෝරාගත්තා.

වෙස් ටෙලි නාට්‍යයේ ඩයස් වගේම මිණිගංදෑ‍ලේ ස්ටීවන් කියන්නෙත් මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන චරිතයක්. පිය පුතු දෙපළගේ දක්ෂතාවයන් ගැන එකම කාලවකවානුවක මුළු රටම කතාබහ කරන්න පටන් අරගෙන තිබෙන නිසා ශිවන්ත නීල්ගේ ආදරණීය පුත් විහඟ නදිත් වත් කතාබහට එකතු කරගන්න රිද්ම අපි අමතක කළේ නැහැ.

මේ දිනවල තාත්තා වෙස් හරහා ජනප්‍රිය වෙද්දී ඔබ මිණිගංදෑල හරහා කාගේත් ආදරේ දිනා ගන්නවා?

ඔව්, එකම කාල වකවානුවක තාත්තටයි මටයි රඟපෑමෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න හැකිවීම ගැන ගොඩක් සතුටුයි.

එතකොට විහඟගේ අනාගත බලා‍පොරොත්තුවත් නළුවෙක් විදිහට ඉදිරියට යන එකද?

මම දැනට ක්‍ෂේත්‍රයට ඇවිත් ගත වෙලා තියෙන්නේ ‍පොඩි කාලයයි. ඒ කාලය තුළ මට සාර්ථක ගමනක් යන්න පුළුවන් වුණා. බෝංචි ගෙදර ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතයට ජූරියේ විශේෂ කුසලතා සම්මානයකුත් ටෙලි සම්මාන උළෙලකදී ලැබුණා. දැන් මට තියෙන ලොකුම හීනය තමයි අපේ රටේ ඉන්න දක්ෂතම නළුවෙක් වෙන එක. ඒ සඳහා මට අම්මා, තාත්තා, අක්කා ඒ වගේම සීයා, ආච්චි ඇතුළු පවු‍ලේ හැමෝගෙන්ම වගේම මගේ පාසල වන 'ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසලෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.