lakbima.lk

ඈත ගමක පුංචි කඩයක් කරගෙන හිටපු මාව තරුවක් කළේ දෙරණයි

වයස අවුරුදු 60ට වැඩි ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ටී.වී. දෙරණ නාලිකාව සංවිධානය කළ ''දෙරණ 60 Plus ගායන තරගාවලියේ අවසන් මහා තරගය 02වැනිදා පැවැත්වුණා. එහිදී  තරග වැදුණු තරගකරුවන් තිදෙනා අතරින්  ජී.ඩී. ප්‍රේමරත්න තරගයේ ජයග්‍රාහී කිරුළ හිමිකරගත් අතර චන්ද්‍රා දිසානායකට දෙවැනි ස්ථානයත්, ක්ලෙමන්ට් සිල්වා හට තුන්වැනි ස්ථානයත් හිමි වුණා. ඔවුන් අවසන් වටයට තරග වදින අතරතුරදී මේ තිදෙනාගේ තොරතුරු අපි තුළින් ඔබ වෙත ගෙන ආවා. දෙරණ 60 Plus අවසන් තරගයේදී ජනප්‍රියම තරුව විදියට කිරුළ හිමි කරගත්තේ බෙන්තරගේ ආරියවංශයි. අවසන් දස දෙනා අතරට තේරී පත් වීම සඳහා තරග වදින අතරතුර විනිසුරු මඩුල්‍ලේ තීරණය අනුව 6 වැනි ස්ථානය ලබා තරගයෙන් ඉවත්ව ගිය ඔහු ඉහළම ප්‍රේක්ෂක මනාප ලබමින් ජනප්‍රිය තරුව බවට පත්වීමත් විශේෂත්වයක්.

අද වන විට රටේම ජනප්‍රිය හැටේ පුරවැසියා ඔබයි මේ වෙද්දී ඔබට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?

මම අනුරාධපුරේ කහටගස්දිගිලිය කෝන් වැව මහපතන කියන ප්‍රදේශයේ බොහොම පුංචි කඩයක් කරගෙනයි ඉන්නේ. මම ඒ පළාතට ඇවිල්ලා දැන් අවුරුදු 35ක් විතර වෙනවා. පළාතේ හැමෝම මට පුදුම ආදරයක් තමයි දක්වන්නේ. ඒකට හේතු වුණේ කලාවම ‍නෙවෙයි. ගමේ ‍පොදු වැඩක් මරණයක්, මඟුලක්, පන්ස‍ලේ වැඩක්, තිබුණාම මම අනිවාර්යයෙන් ඊට සහභාගි වෙනවාමයි. මම හැමෝගෙම ආරි අයියා. මට වඩා  වැඩිමල් අය වගේම වයස 20 ළමයිනුත් මට කියන්නේ ආරි අයියා කියලයි. දෙරණ  60 Plus තරගයත් එක්ක ඒ ආදරය සිය දහස් ගුණයකින් වැඩි වුණා. දෙරණ නාලිකාවෙන් මගේ දුරකථන අංකය ඉල්ලගෙන රෑ 12ටත් සමහරු මට කතා කරනවා. ආරි අයියා ''ආරි අංකල්'' වගේම ''සීයා'' කියන අයත් ඒ අතරේ ඉන්නවා. තවත් සමහරු බෙන්තරගේ'' කියනවා. තවත් අය සික්ටි ප්ලස් කියලා මාව අමතනවා.

මීට කලිනුත් මේ වගේ ජයග්‍රහණ ලබලා තියෙනවාද?

කවදාවත් නැහැ. මම පාසල් කාලෙ ඉඳන් සංගීතයට ආසා කළත් ජීවිතේදී ගායනා තරගයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව තමයි මේ.

ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන කතා කළොත්?

මම ඉපදුනේ 1956- මැයි 22 වැනිදා. මගේ ගම නුගේගොඩ. තාත්තා රැකියාව කළේ CGR එකේ. මම කුඩා කාලෙදීම තාත්තා මියගියා. මමයි මල්ලියි නංගිලා හතර දෙන්නයි එක්ක ජීවිතේ ගෙනියද්දී අම්මට ගොඩාක් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. මම ඒ වන විට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලබමින් හිටියේ. පස්සේ මම පාසල් ජීවිතයට සමුදීලා පුංචි පුංචි රැකියාවන් කළා. ඔය අතරේ සුභද්‍රාරාම පිරිවෙනට ගිහින් ඉගෙන ගත්තා. මම චිත්‍රපටවලටයි සංගීතයටයි පිස්සු වැටුණු කෙනෙක්. ඒ හින්දම මම අතුරුගිරියේ කුමාරසිරි වීරක්කොඩි කියන චිත්‍රපට නිෂ්පාදකවරයා යටතේ රැකියාවකුත් කළා.

ඔබ සිනමාවටත් සම්බන්ධ වුණාද?

නැහැ. ඒ මහතා 35mm චිත්‍රපට හදලා රට පුරා පෙන්නුවා. මමයි පියසිරි කියලා යාළුවෙකුයි තමයි ඒ චිත්‍රපට අරගෙන රට වටේ ගියේ. පස්සේ මම විවාහ වෙලා අනුරාධපුරේ ගියා.  පියසිරි තවම ඉන්නේ අතුරුගිරියේ. වසර 35ක් තිස්සේ මගේ හොඳම යාළුවා ඔහුයි. මේ තරගයේදීත් මට මුදලින් වගේම කෑම බිම සහ නවාතැන් පහසුකමුත් දීලා ඔහු මට පුදුම විදියට උදව් උපකාර කළා. අවසාන මහා තරගය දා මම වේදිකාවට කැඳවාගෙන ආවේ ඔහුව තමයි.

ඔබේ බිරිඳ හා දරු මල්ලන් ගැන කතා කළොත්?

මගේ බිරිඳ පද්මිණි රණසිංහ. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. මගේ පුතා සශික අනුරාධ. පුතත් සංගීතයට බොහොම කැමතියි. පුතා තමයි දෙරණ TV එකෙන් විකාශය කරපු 60 Plus තරගය ගැන දැන්වීම් දැකලා මට ඒ ගැන කියලා මාව ඊට යොමු කළේ. දුව චතුරිකා දිලානි ඇය ගුරුවරියක්. පුතයි දුවයි තවම විවාහ වෙලා නැහැ.

දෙරණ 60 Plus හරහා දැන හඳුනාගත් අයත් දැන් ඔබේ හිතවතුන් වෙලා ඇති?

අ‍පොයි ඔව්. දෙරණ ආයතනයේ අය වගේම තරගය තුළදීත් ගොඩාක් දෙනා හඳුනාගන්න මට අවස්ථාව ලැබුණා. කොරියාවේ වැඩ කරන දරුවෙක් දෙරණට කතා කරලා මගේ අංකය ඉල්ලගෙන නිතරම කතා කරනවා. ඒ පුතා මට මුදලින් පවා උදව් උපකාර කළා. ඒ විදියට දැන හඳුනාගත් අය සහ උදව් කළ හුඟක් අය ඉන්නවා.

ඔබේ ජීවිතේ ඊළඟ හීනය මොකක්ද?

මේ ලැබු ජයග්‍රහණයයි, රටෙන්ම ලැබෙන ආදරයයි තවම මට හීනයක් වගෙයි. දැනට දෙරණ හා ඩයලොග් ආයතනය එක්ව සංවිධානය කරන ප්‍රසංගයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. ඒ වගේම මගේම ගීතයක් ගායනා කරන එකත් මට තියෙන ලොකුම හීනයක්. ඒත් ඉතින් එවැනි දෙයකට වැය කරන්න තරම් ආර්ථිකයක් මට නැහැ. කවුරු හරි උදව් කළොත් ගීතයක්  කරනවා. 0776-215256-0252247346 හා 071-7014168 (පියසිරි) අංකවලට කතා කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.