lakbima.lk

අයියලා දෙන්නයි, තාත්තයි මම රඟපානවාට අකමැති වුණා

මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ළමා තාරකාව ලෙස ඔබේ නම කියැවෙද්දී ඔබට මොනවාද හිතුනේ?

මට පුදුමාකාර සතුටක් ඇති වුණා. ඒ සතුට කියාගන්න බැරි තරම්. මගේ රඟපෑමට ලැබුණු මුල්ම සම්මානයත් මේකයි. ඒ නිසා මේ සම්මානය මට ගොඩාක් වටිනවා. හොඳම ළමා තාරකාව ලෙස මගේ නම නිර්දේශ වෙලා කියලා මම කලින් දැනගෙන හිටියා. ඒත් එදා සුමති ළමා තරුව කියන සම්මානේ මට ලැබෙයි කියලා මම හිතුවේම නැහැ. ටෙලි නාට්‍යයක මම රඟපෑ චරිතයකට සම්මානයක් ලැබේවි කියලා මගේ බලා‍පොරොත්තුවක් තිබුණෙත් නැහැ. මොකද මම බලා‍පොරොත්තුවෙන් හිටියේ මම රඟපාපු චිත්‍රපටයකට කවදා හරි සම්මානයක් ලැබේවි කියලයි. මොකද මීට කලිින් මම ගොඩාක් රඟපාලා තිබුණේ චිත්‍රපට. අලි කතාව, පුංචි අන්දරේ, ඇහැළේ‍පොල කුමාරිහාමි, බාඳුරා, සිංහයා, ලෝක වාර්තාවක් තියන්න, ටවුමේ ඉස්කෝලෙ කියන චිත්‍රපට ඒ අතර තියෙනවා. ඒත් පුංචි කා‍ලේ මම රඟපාපු ටෙලි නාට්‍යයකින් හොඳම ළමා තරුව විදියට මාව ඇගයීමකට ලක් කළා. එයින් මට ලැබුණු ධෛර්ය වචනවලින් කියා ගන්න බෑ.

යොහානි හොඳම ළමා තාරකාව වෙන්නේ ජාතික රූපවාහිනිය හරහා විකාශය වූ හිස් අහස යට ටෙලි නාට්‍යයේ ආසි කියන චරිතය නිසයි. මතකද එදා ඒ චරිතය රඟපාපු හැටි?

හිස් අහස යට කියන්නේ රුවන් කුඩලිගම මාමාගේ  අධ්‍යක්ෂණයෙන් නිම වූ ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය ඒ තරම් ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒ වුණාට හිස් අහස යට කියන්නේ මම රඟපාපු අති සාර්ථක නිර්මාණයක්. ආසි කියන පුංචි දැරිය සුදු අප්පුට ගොඩාක් ආදරේ කරනවා. අවසානයේදී ඒ ආදරේ නිසාම ආසිගේ තාත්තා දවසක් සුදු අප්පුව මරන්න යනවා. හැබැයි එහිදී මරණයට පත්වෙන්නේ ආසි. රුවන් කුඩලිගම මාමාගේ උපදෙස් මත තමයි මම ආසිගේ චරිතේ සාර්ථකව රඟපෑවේ. මට මතක විදිහට මම ඒ චරිතේ කළේ පාස‍ලේ තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කා‍ලේ.

අධ්‍යාපන කටයුතු අතරේ ඉස්සරහටත් රඟපාන්නද හිතාගෙන ඉන්නේ?

ඔව්. ඉදිරියටත් මම දිගටම රඟපානවා. හැබැයි හොඳ නිර්මාණ තෝරා බේරාගෙන විතරයි. ලොකු වුණාම මට ඕනේ ජනප්‍රිය තරුව වෙන්න නමෛයි. දක්ෂතම තරුව වෙන්නයි නැත්නම් හොඳම නිළිය වෙන්නයි. දැන් රංගනය පැත්තෙන් මට තියෙන එකම අරමුණත් ඒක තමයි. ඒ හින්දා මම උපරිම උනන්දුවෙන් කැපවීමෙන් ඒ චරිතයකට පණ දෙනවා. ඒ නිසාම මම මේ වෙනකොටත් නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරනවා. රංගනයට වගේම අධ්‍යාපනයටත් මම හැම විටම මුල් තැන දෙනවා. අනාගතයේදී සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක් වෙන්නයි මම හීන දකින්නේ.

ඔබේ පවු‍ලේ විස්තර අපි රටට කියමු?

මම යොහානි හංසිකා හෙට්ටිආරච්චි, මගේ අම්මයි තාත්තයි ඇතුළුව අයියලා දෙන්නයි ඔක්කොම පවු‍ලේ පස්දෙනෙක් ඉන්නවා. මම යන්නේ බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට. පාසලිනුත් මට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා.

මොනවාද ඉදිරියේදී ඔබව දැකගත හැකි නිර්මාණ?

අංගනා, සිනේහා, යාල්දේවි කියන ටෙලි නාට්‍යය කිහිපයක්ම තියෙනවා. ඒ අතර මුලින් නම් කියපු චිත්‍රපට දෙක තුනක්ම තියෙනවා.

සම්මානය ලැබුණාට පස්සේ යොහානිට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

හැම පැත්තෙන්ම හොඳ ප්‍රතිචාර ගලාගෙන එනවා. මුල් දවස්වල මගේ අයියලා දෙන්නා මම රඟපාන්න යනවට කැමති වුණේම නැහැ. ඒ වගේම මා වටේ හිටපු ගොඩාක් දෙනා කැමති වුණෙත් නැහැ. සමහරු මට කිව්වා රඟපාන්න යන්න එපා... රඟපාන අයව කවුරුත් ගණන් ගන්නේ නැහැ'' කියලා. සම්මානයක් නැතුව නිකම් බොරුවට රඟපාලා වැඩකුත් නැහැ කියලා තවත් අය කිව්වා. එහෙම කියනකොට මම හිතාගත්තා මම කවදා හරි අනිවාර්යයෙන්ම සම්මානයක් ගන්නවා කියලා. මගේ හැකියාවන් රටටම පෙන්වනවා කියලා. අද ඒ හීනය සැබෑ වුණා.

අපි මේ කතා බහට යොහානිගේ ආදරණීය අම්මා වන නිලන්ති මංගලිකාවත් එකතු කරගත්තා. ඇය තම පුංචි දියණිය ගැන ආඩම්බරෙන් කතා කළේ සතුටු කඳුළු බිඳු සමගයි.

දෝණිගේ දක්ෂතාව ගැන අම්මාට අද මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩාක් සතුටුයි. කියාගන්න මට වචනත් නැහැ. මගේ චූටි දුවට සුමති සම්මානෙ ලැබුණ දවසේ මගේ දෑස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. මුලදී අයියලා දෙන්නා දුව රඟපාන්න යනවාට අකමැති වුණා. ඒ වගේම තාත්තත් එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් මම ගැන විශ්වාසය තියලා ඒ අය පස්සේ කැමති වුණා. මොකද එයාලා දන්නවා මම මගේ දරුවව හරි පාරේ ගෙනියන්නේ කියලා.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.