lakbima.lk

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සංගීත දිවියට වසර 40 වීම නිමිත්තෙනන් හැමෝටම නොමි‍ලේ තෑග්ගක්

සැප්තැම්බර් 07 වැනිදා සවස 6.00ට මහරගම යොවුන් රඟහලට එන ඕනෑම කෙනෙකුට තමන්ගේ ගීත ගොන්නක්ම නොමි‍ලේ රසවිඳින්නට පුළුවන් කියලා ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පවසනවා. ඒ විධියේ විවෘත ආරාධනාවක් කරන ගමන්ම ප්‍රසංගය ගැන සහ සිය සංගීත දිවියේ පියසටහන් ගැනත් වැඩිදුර විස්තරට කියන්න ඔහු අමතක කළේ නැහැ.

සෙනෙහසේ ගී අසිරිය නමැති මෙම ප්‍රසංගය පවත්වන්න නිමිත්ත වුණේ මොකක්ද..?

මේ විදිහේ ප්‍රසංගයක් සංවිධානය කරන්න මූලිකම හේතුව තමයි මගේ සංගීත ජීවිතයට වසර 40ක් සම්පූර්ණ වීම. ඒ ඇරුණාම කොහොමටත් සෑම වසර 5කටම වතාවක් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම මම දැන් සිරිතක් කරගෙනයි ඉන්නේ. මේක නොමි‍ලේ පවත්වන ප්‍රසංගයක්. මේ නිසා මගේ රසික රසිකාවියන්ටත් කිසිදු වියදමක් නොකර මගේ ගීත සජීවීව රසවිඳලා සතුටු වෙන්න අවස්ථාවක් මේ මාසේ 07 වැනිදා උදාවෙනවා.

ප්‍රසංගයේදී ගීත කීපයක් විතර ගායනා කරන්න බලා‍පොරොත්තු වෙනවාද?

ගීත 20-25 අතර සංඛ්‍යාවක් ගායනා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. චන්ද්‍ර‍ලේඛා පෙරේරා, ශෂිකා නිසංසලා සහ මගේ දුව ලිහිනි හෙට්ටිආරච්චි මට යුග ගීත සඳහා ගායනයෙන් සහය වෙනවා.

අවුරුදු 40ක් කියන්නේ දිගු කාලයක්. මේ අතීතය දිහා ආපහු හැරිලා බලද්දී අද ඔබට මොනවද හිතෙන්නේ..?

ඒ ගැන කල්පනා කරද්දී මට දැනෙන්නේ විශාල සතුටක්. මේ ගෙවීගිය කාලය තුළ මට අතදීපු අය හුඟක් ඉන්නවා. ඒ වගේම රිද්දපු අයත් ඉන්නවා. ඒ හැම දේකින්ම පන්නරය ලබාගෙන මම අද සතුටු වෙන්න පුළුවන් විදිහේ ගමනක් ඇවිත් තියෙනවා.

සංගීත ක්‍ෂේත්‍රය තුළ මේ තරම් සාර්ථක ගමනක් එන්න ලැබේවි කියලා මුල්කාලයේ නම් හිතෙන්නේ නැතුව ඇති නේද..?

කොහෙත්ම නැහැ. ප්‍රසිද්ධ වේදිකාවට එන්න කලින් මම දහම්පාසල්වල භක්ති ගීත ගායනා කළා. සල්පිල්වල ගීත ගායනා කළා. තොරණවලට විරිදු කිව්වා. ජාතික යෞවන සම්මාන උළෙ‍ලේ හොඳම ගායකයා, පදරචකයා සහ සංගීතඥයාට හිමි සම්මාන දිනාගත්තට  පස්සේ තමයි මට ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළත්වෙලා ක්‍රමවත්ව සංගීතය හැදෑරීමේ අවස්ථාව උදා වුණේ.

අවුරුදු 40ක ගමන් මග තුළ ඔබ ගායනා කළ ගීත අතරින්, ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය මොකක්ද..?

අම්මා.. ජීවන උයන් තෙරේ... කියන ගීතය මට බොහොම  සුවිශේෂී එකක්. ඒ ගීතය ගායනා කරන වාරයක් පාසාම මට මගේ අම්මාව මතක් වෙනවා. ඒ ඇරුනාම ''ඈත හමායන මඳ සුළඟේ'' ගීතය ඇතුළු තවත් ගීත කිහිපයක්ම තිබෙනවා.

දැන් ඔබේ දුවත් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණය වෙමිනුයි ඉන්නේ. ඔබට මොනවද හිතෙන්නේ ඒ ගැන..?

ඒ ගැන මට හරිම සතුටුයි. ඇය සංගීතය ගැන නොදන්නා දේවල් මගෙනුත් නිතරම අහලා දැනගන්නවා. දුව ඉදිරිකාලයේදී සංගීතය පැත්තෙන් හොඳ ගමනක් යනවා දකින්න මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.